ඔළු දෙකේ පාලනයක් ආවොත් දොස්තර වර්ජනයක්?

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ තීරණයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
හිස් දෙකක් පවතිද්දී කඳ හරි හැටි වැඩ නොකරන තත්වයකට පත් වන බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ.
'ඔළු දෙකක් තියෙන කොට කඳ නිසි සමායෝජනයකින් කටයුතු කරයි කියල හිතන්න අමාරුයි. කොයි ඔළුව කියන විදියට වැඩ කරන්නද කියන ගැටලුව කඳට එනවා. අවුලකට මුල තමයි මේ ප්‍රධානියෝ කීප දෙනෙක් පත් කරන එක.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Dr Nalinda Herath
රජය ගෙන ඇති මෙම පියවර නිසා වෛද්‍යවරුන් නොසන්සුන් වී සිටින බවත් තවත් කරුණු කිහිපයක් නිසා එම පීඩනය ඉහල ගොස් ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම ගැටළු අතර තීරුබදු රහිත වාහන බලපත්‍රය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, එට්කා ගිවිසුම සහ ඉන්දීය ගිලන් රථ සේවය ද පවතින බව සිහිපත් කළේය.
අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එහි විධායක සභාවට බලය පවරා ඇති බව වෛද්‍ය නලින්ද හේරත් බීබීසීයට පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමේ දී රජය අත්තනෝමතික ලෙස ක්‍රියා කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යන බවයි ඔහු කියා සිටියේ.








