තාජුදින් පරීක්ෂණ මුදල් පසුම්බිය දෙසට

මිය ගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්
ඡායාරූප ශීර්ෂ වැකිය, මිය ගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්

මිය ගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මුදල් පසුම්බිය සොයා ගත් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන තවත් පරීක්ෂණයක් පවත්වන බව රජයේ නීතිවේදියා පැවසීය.

අදාළ නඩුව අද (23) කැඳවූ අවස්ථාවේ දී පොලිසිය කියා සිටියේ මෙම සිද්ධියට අදාළ ව සොයා ගෙන ඇති වීඩියෝ දර්ශන පරික්ෂා කිරීම සඳහා කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එහි ප්‍රගතිය අගෝස්තු මස මුල් භාගය වන විට දැන ගැනීමට ලැබෙනු ඇති බව ද රජයේ නීතිවේදියා දන්වා සිටියේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය සිදු කිරීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක කුමන්ත්‍රණය කර තිබේදැ'යි සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද රහස් පොලිසිය පැවසීය.

රෝගී තත්වය

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක කුමන්ත්‍රණය කර තිබේදැ'යි සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ

සැකකාර අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කරුණු දක්වමින් සිය සේවාදායකයා වකුගඩු, ආමාශ සහ හදවත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බැවින් ඔහුට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

ඊට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, සැකකරුවන් දෙදෙනා ජුලි මස හත් වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන මෙන් නියෝග කළේය.