ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතුරුදහන් කරවීම 'සාපරාධී ක්‍රියාවක් විය යුතුයි'
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම මානව වර්ගයාට එරෙහිව කෙරෙන සාපරාධී ක්‍රියාවක් ලෙසින් ප්‍රකාශයට පත්කර, අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු කරන මෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
අතුරුදහන්වීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය පිළිගනිමින්, පුද්ගලයන් අතුරුදහන් කරවීමට වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඒ බව පවසන්නේ, සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 32 වැනි සැසිවාරය නිමිති කරගෙන "ශ්‍රී ලංකාව: ඇත්ත දැනගැනීමට, යුක්තිය ඉටුකරවා ගැනීමට, සිදුවූ හානිවලට වන්දි ලබාගැනීමට, සිද්ධීන් නැවත සිදුවීම වලක්වා ගැනීමට තිබෙන අයිතිය" මැයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
පසුගිය දශක කිහිපය තුල සිදු වූ ආකාරයේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් අනාගතයේදී සිදුවීම වලක්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම සංශෝධන හඳුන්වාදීම කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පරිපාලනයේ ප්‍රමුඛත්වය හිමි වී ඇති බව පවසන ඇම්නෙස්ටිය, කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා වින්දිතයන්ට යුක්තිය ඉටුවීමත් අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කරයි.
අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස විනිවිදභාවයෙන් යුක්ත කාර්යාලයක් පිහිටවිය යුතු බවත් එහි සඳහන්.
අතුරුදහන්වූවන්ගේ ඉරණම පිළිබඳව පසුගියදා ඇම්නෙස්ටිය විසින් දියත් කළ කාව්‍ය රචනා තරඟයේ ජයග්‍රාහකයන්ගේ නිර්මාණ ඇතුලත් ග්‍රන්ථයක්ද ළඟදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
දශක ගණනාවක යුද ගැටුම් සමයේ මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට සාධාරණය ඉටුකිරීම පිණිස ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පිළිගන්නා අතරම, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් සකස් කිරීම් වස් මහජන අදහස් ලබාගැනීම, මානව අයිතීන් විභාග කිරීම කාර්යසාධක වැඩසහනක් සකස් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කිරීම ඇතුළු අංශවල ඉක්මන් ප්‍රගතියක් දැක්වීමේ අවශ්‍යතාවයද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.
"යෝජිත සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමේ යාන්ත්‍රණය අරභයා ප්‍රාදේශීය වශයෙන් උපදේශන ලබාගැනීමේ ක්‍රියාවලිය 2016 ජුනි මාසය වනතුරුම ආරම්භ කර තිබුණේ නැති," බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
"එම බලකාය විසින් මාර්තු මාසයේදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි වෙබ් අඩවි ආරම්භ කර තිබුණත් අන්තර්ජාල පහසුකම් නැති අයට එයට ප්‍රවේශවිය නොහැකිය."
එම කාර්යසාධක බලකායට අවශ්‍ය පරිදි සම්පත් සහ කාලය ලබා දී, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණද වහාම ක්‍රියාවට නැගිය යුතු බව මානව හිමිකම් සංවිධානයේ නිර්දේශයයි.
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධ සහ වද බන්ධනයට එරෙහි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගේ නිර්දේශ ක්‍රියාවට නගන මන්ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.