මහින්දගේ උගන්ඩා ගුවන් ගමන් බිල විදේශ අමාත්‍යාංශයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Rajapaksa/Facebook
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උගන්ඩා චාරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් ගුවන් ගමන් ගාස්තුව ගෙවා තිබෙන බව බීබීසී සංදේශයට හෙළිදරව් වී තිබේ.
උගන්ඩාවේ ජනාධිපති යෝවේරි මුසවේනි ගේ පස් වෙනි පදවි ප්‍රාප්තිය සඳහා හිටපු ජනාධිපතිවරයා කම්පාලා නුවර බලා පිටත්ව ගියේය.
අදාළ ගුවන් ගමන වෙනුවෙන් රුපියල් හාර ලක්ෂ විසිපන්දහසක මුදලක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් වර්ල්ඩ් එයාර් ගුවන් ප්‍රවේශපත්‍ර ඒජන්සියට ගෙවා තිබෙන බව දැක්වෙන ලිඛිත සාක්ෂි සංදේශයට දැක ගන්නට ලැබිණ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ දින පහක චාරිකාවේ ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් වැය වන මුදල ගෙවන මෙන්ද ඔහුගේ පුද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර විදේශ අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මේ පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසමින් යැවූ ට්විටර් පණිවුඩවලට මෙතෙක් පිළිතුරු නොලැබුන අතර, දුරකථනය මගින් විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසීමට දැරූ උත්සාහයද සාර්ථක නොවීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ විදේශ චාරිකා වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය වියදම් දරන්නේ නම් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ විදේශ චාරිකා සඳහා එවැනි වියදමක් ගෙවා තිබෙන්නේද යන්න ට්විටර් ජාලය ඔස්සේ සංදේශය යොමු කළ තවත් ප්‍රශ්නයක්.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
කෙසේ නමුත් ආණ්ඩුව නියෝජනය කළ අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ විදේශ චාරිකාවල වියදම් රාජ්‍යය විසින් දරා නැති බවයි, ඇයගේ කාර්යාලයේ නිලධාරිනියක් සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.




