ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වී වගාව සඳහා පේටන්ට් සහිත 'නව කාබනික පොහොරක්'
පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට දිරි දීමේ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් තමන් නිෂ්පාදනය කළ කාබනික පොහොර වර්ගයකට පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබෙන බව පර්යේෂකයන් පිරිසක් පවසති.
කෘෂිකර්මය මෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තයක් අරමුණු කර ගෙන කටයුතු කරන සිය ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක්ව දියත් කළ පර්යේෂණයකදී එම පොහොර වර්ගය සොයා ගත් බවයි, ඉතාලි -ශ්‍රී ලංකා ඒකාබද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් වන ICEI ආයතනයේ සන්නිවේදන නිලධාරිනී ධනුෂි සේනානායක පවසන්නේ.
කාබනික පොහොර භාවිතය පරිසර හිතකාමී කෘෂිකර්මයෙහි යෙදීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් වන අතරම, විශේෂයෙන්ම ගොවීන් අතර පැතිර යමින් පවතින වකුගඩු රෝගය වැනි සෞඛ්‍ය ප්‍රශ්ණ පිලිබඳ සලකා බැලීමේදී ගොවීන් අතර කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන බවත් ඇය බීබීසී සංදේශයට කියා සිටියාය.
කාබනික පොහොර
ICEI ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමග එක්ව පර්යේෂණ පවත්වන්නේ එවැනි පරිසර හිතකාමී කාබනික පොහොර විශේෂ අලුතින් නිෂ්පාදනය කරගැනීම අරමුණු කරගෙනයි.
දැනට නිෂ්පාදනය කර ඇති නව පොහොර විශේෂය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අදාළ ප්‍රදේශවල ගොවීන් සමග එක්ව අත්හදා බලා සාර්ථක ප්‍රතිපල ලබාගෙන ඇති බව පවසන ධනුෂි සේනානායක, පේටන්ට් බලපත්‍රයක්ද සහිත නව පොහොර වර්ගය භාවිතයෙන් රසායනික පොහොර යොදා ලබාගන්නා අස්වැන්නට සමාන ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව සනාථ වී තිබෙන බවත් සඳහන් කළාය.
නිෂ්පාදනාගාරයක්
එම අත්හදා බැලීමේ ප්‍රතිඵල අනුසාරයෙන් නව පොහොර වර්ගය නිෂ්පාදනය කිරීම පිණිස බුත්තල ප්‍රදේශයේ කම්හලක් පිහිටුවීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් පර්යේෂකයෝ පවසති.
තමන් දන්නා පරිදි වී වගාව සඳහා පේටන්ට් බලපත්‍රයක්ද හිමි මෙවැනි කාබනික පොහොර විශේෂයක් ශ්‍රී ලංකාව තුළ මින් පෙර භාවිතයට ගත් බවට තොරතුරු හමු නොවන බවත් ධනුෂි සේනානායක සංදේශයට පැවසීය.
සිය පොහොර වර්ගය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වාදීම පිණිස ලොවපුරා සිටින පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය සහයෝගය බලාපොරොත්තු වන බවත් පර්යේෂකයෝ පවසති.
අන්තර්ජාලය ඔස්සේ පරිත්‍යාග ලබාගැනීමේ ක්‍රමවේදයක් මාර්ගයෙන් ලැබෙන ආධාර මුදල් නව නිෂ්පාදනය එළිදැක්වීම පිණිස මෙන්ම නව කාබනික පොහොර වර්ග සොයාගැනීම සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන්ද යොදාගනු ඇති බවත් සන්නිවේදන නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළාය.