පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Police
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බවයි, බීබීසී සංදේශයට වාර්තා වෙන්නේ.
සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි.
ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සහ නිවැසියන් අතර හටගත් ගැටුමකින් අනතුරුව තරුණයකු මියයාම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ මතභේදයට ලක්වීමත් සමඟ ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීමෙන් වලකින මෙන් හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් ඔහුට නියෝග කර තිබුණි.
මේ අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් පසුගිය මාර්තු මාසයේ අග සතියේ චාවකච්චේරිය ප්‍රදේශයේදී සොයා ගනු ලැබිණ.
ඒ පිළිබඳව අවශ්‍යව සිටින සැකකරුවන් පිරිසක් ඉන්දියාවට පැන ගොස් ඇතැයි පොලිස් ප්‍රකාශකවරයා අයිලන්ඩ් පුවත්පතට කරන ලද ප්‍රකාශයක්, පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු අත්හිටුවීමට ආසන්නතම හේතුව බවයි, විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට සැලවෙන්නේ.





