ප්‍රධාන දේශපාලන ධාරාවේ මැයි රැළි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ගාල්ලේ සමනළ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉදිරියේ දී ආණ්ඩුවක් තැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රැළිය අමතමින් කියා සිටියේ.

ඒ සඳහා වන මුල් අඩිතාලම මෙම මැයි රැළිය හරහා දමා ඇති බවයි ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතා කියා සිටියේ.

මේ අතරතුර එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මැයි දින රැළිය බොරැල්ල, කැම්බල් පිටියේ දී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි.

රැළිය ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඇතැමුන් ගේ දේශපාලන ප්‍රතිපත්තිය රට දියුණු කිරීම නොව එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ වීම බවයි.

කම්කරු ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා කිහිපයක් ද රැළියට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වුණේ කිරුලපනදී.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ඇරඹි මෙම රැළියට, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකුත් ගාල්ලේ පැවති තම පක්ෂයේ මැයි රැළියට නොගොස් මෙම රැළියට එක්ව සිටියෝය.

රැළිය ඇමතූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම වේදිකාවට එක්වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවෙකු වී ඇති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

මේ අතර පෙර සිදු වූවාට වඩා වෙනස් ආකාරයකින් මීළඟ දේශපාලන පෙරළිය සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පැවති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද විවේචනයට ලක් කරමින් ඔහු ඒ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මැයිරැළිය අමතමිනුයි.

'නව ආර්ථිකයක්, නව සමාජයක් වෙනුවෙන් ජන බලය ගොඩ නගන රතු මැයි රැළිය' මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය සහ රැළිය සංවිධානය කොට තිබිණි.

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ මැයි පෙළපාලිය කොළඹ බීආර්සී ක්‍රීඩාංගණයට පැමිණීමෙන් අනතුරුව මැයි දින රැළිය ආරම්භ විය.

රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ පැවති සහ වත්මන් ආණ්ඩු විසින් රටේ ආර්ථිකය බංකොලොත්භාවයට ගෙන යෑම නිසා ඇති වූ ජීවන පීඩනයට වැඩ කරන ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති බවයි.