ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියාවේ හදිසි සංචාරයක

ඡායාරූප මූලාශ්‍රය, AFP

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මුල සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට එකඟ වී ඇති බව බීබීසී සංදේශයට අනාවරණය වේ.

ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් මත බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ ඉන්දීය සංචාරය හදිසියේම නවතා දැමීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවස්ථාව හිමි වී තිබෙන්නේ.

නොවැම්බර් පළමු වැනි දින සිට පහලොස් වැනි දින දක්වා පැවැත්වීමට යෝජිත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟ පහකට සහභාගි වීමට නියමිතව තිබේ.

හදිසියේම ඉන්දීය සංචාරයක නිරත වීම පිළිබඳව සංදේශය සමඟ අදහස් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්: "ඒක නියමයි. අපි දැන් සති හතක් තිස්සේ බෝලයක් ඇල්ලුවේ නෑ. ඒක අපිට හොඳ විනෝදාත්මක සංචාරයක් වේවි," යනුවෙන් පැවසීය.

බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයන් අතර ටික කලක් මුළුල්ලේ දිග ඇදෙමින් පවතින ක්‍රීඩකයන්ගේ වේතන පිළිබඳ ගැටලුව හේතුවෙන් ඉන්දීය සංචාරය අතරමඟ නවතා දමා ඇති බව <link type="page"><caption> ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය</caption><url href="http://www.espncricinfo.com/india-v-west-indies-2014-15/content/story/789919.html" platform="highweb"/></link> වාර්තා කරයි.

බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් ප්ලාක මණ්ඩලය ගත් හදිසි තීන්දුව පිළිබඳව මහත් කම්පණයට සහ කනගාටුවට පත් වූ බවයි ඉන්දීය පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.