අයිපීඑල්: ලාංකීය ක්‍රීඩකයන්ට 'ඉල්ලුමක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, PTI
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස බැංගලෝර් නුවර පැවැත්වුණ වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙන්දේසි නොවීමට හේතුව ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
වෙන්දේසියට ඉදිරිපත් කෙරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දහ තුනක් අතරින් වෙන්දේසියේ විකිණුනේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයන් තිදෙනා පමණයි.
මුරලිදරන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගෙන සිටින අතර, ලසිත් මාලිංග ටෙස්ට් පිටියට සමු දුන් ක්‍රීඩකයෙක්.
විස්සයි විස්ස ක්ෂේත්‍රයේ පෙළහර පාන තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන මෙන්ම වත්මන් නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දස දෙනකුම වෙන්දේසියේ දී අලෙවි වූයේ නැත.
මහේල, ඩිල්ශාන්, ඇන්ජලෝ
පසුගිය වසරේ වෙන්දේසියේදී ඉහල ඉල්ලුමක් තිබූ අජන්ත මෙන්ඩිස්ද අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර සිටී.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අයිපීඑල් තරඟාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාරය යෙදී තිබීම හේතුවෙන් සමස්ත තරඟාවලිය පුරාම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ලාංකීය ක්‍රීඩකයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ක්‍රීඩා සමාජ හිමිකරුවන් මැලිකමක් දක්වා ඇති හැඩක් පෙනී යන බවයි, සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.
ඒ අතරම පසුගියදා අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ පරිපාලනය හා සම්බන්ධ සංශෝධන පිළිබඳ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම තවත් හේතුවක් විය හැකි බවට මතයක් දිවයිනේ පැතිර යමින් පවතින බවද චම්පික ප්‍රනාන්දු පවසයි.
කෙසේ නමුත් බදාදා වෙන්දේසි නොවූ ඇතැම් ලාංකීය ක්‍රීඩකයන් බ්‍රහස්පතින්දා වෙන්දේසියේදී අලෙවි විය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගියදා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද කෙවින් පීටර්සන් දිල්ලි ඩේයාඩේවල්ස් කණ්ඩායම විසින් බ්‍රිතාන්‍ය පවුම් අට අක්ෂ අසූ දහසකට මිලදී ගැනීම බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රබල අවධානයට ලක් වී තිබේ.
තවත් එංගලන්ත ක්‍රීඩකයන් අට දෙනකුද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණත් ඔවුන්ද අලෙවි වී නැහැ.
පවුම් දහ තුන් ලක්ෂ හැත්තෑ දහසකට අලෙවි වූ ඉන්දීය පිලේ යුවරාජ් සිං බදාදා වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයායි.








