ලෝක කුසලානය 2022: ක්‍රීඩා කණ්ඩායම් කමිස මෙතරම් මිල අධික ඇයි?

Brazil supporter Janine Garcia
ඡායාරූප ශීර්ෂ වැකිය, ජැනීන් ගාර්ෂියා ඇගේ 'හොර' බ්‍රසීල කමිසයෙන් සැරසී සිටියි - ඇය පවසන්නේ 'ඔරිජිනල්' නිල කමිසයේ මිළ දැරිය නොහැකි බව යි
    • Author, ෆර්නන්දෝ ඩුවර්තේ
    • Role, බීබීසී ලෝක සේවය

සත්කාරක කටාරය දරන විශාලතම වියදම වන්නේ 2022 ෆිෆා ලෝක කුසලානය යි. ලොව පුරා පාපන්දු රසිකයන් තමා සහාය දක්වන කණ්ඩායම්වල ටී ෂර්ට් මිල දී ගැනීමට කැමැත්තක් දැක්වූව ද, ඒවායේ මිල ඉතාමත්ම අධික ය. එම මුදල, ඇතැම් රටවල අවම වැටුපක් උපයන ජනයාගේ මාසික ආදායමෙන් තුනෙන් එකක් පමණ වේ.

රියෝ ද ජැනයිරෝහි උතුරු පැත්තේ, වීදි වෙළෙන්දන්ගෙන් පිරී ගිය සාන්ස් පෙනා චතුරශ්‍රයේ වූ කුටිය දුටු ජැනීන් ගාර්ෂියා එහි යාමට දෙවරක් සිතුවේ නැත. කහ සහ නිල් පැහැයෙන් කැපී පෙනුණු එහි සෑම අස්සක් මුල්ලක් නෑරම, බ්‍රසීලියානු ජාතික කණ්ඩායමේ වර්ණ සහිත ව්‍යාජ අනුකරණ කමිස සිය ගණනකින් සරසා තිබුණි.

"මට නිල් එකක් ලැබුණා (බ්‍රසීලයේ දෙවන තීරුවේ වර්ණය). ඒක කොච්චර අලංකාර ද කියනවා නම්, ම‍ගේ යාළුවො හුඟදෙනෙක් ඒවා ගේන්න කියලා මගෙන් ඉල්ලුවා," 42 හැවිරිදි ගුරුවරිය සිනාසෙමින් පවසයි.

මෙම ව්‍යාජ කමිසය ගාර්ෂියාට ලැබුණේ ඩොලර් 14කට ය (රු. 5000කට මඳක් වැඩි). එය, එක්සත් ජනපදයේ නයිකි (Nike) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිල කමිස කට්ටලයේ මිලෙන් (ඩොලර් 65/රු.24 000ක්) පහෙන් එකක් පමණ වේ. එම කමිසයේ 'ප්‍රීමියම්' අනුවාදයක් ද වේ. එය 2022 ලෝක කුසලානයේ දී බ්‍රසීලියානු ක්‍රීඩකයින් පැළඳ සිටින කට්ටලයට සමාන නමුත් මිල ඩොලර් 130කි (රු. 48 000ට මඳක් අඩු).

දැනට, බ්‍රසීලයේ මාසික අවම වැටුප ඩොලර් 225ක් (රු. 83 000ක්) පමණ වේ. මිල අඩු නිල කමිසයේ මිල එම අගයෙන් 30%ක් පමණ වන අතර, ප්‍රීමියම් කමිසය ඉන් 58%ක් පමණ වේ.

මිල ඉහළ යාම

"ෆුට්බෝල් ටී ෂර්ට් අපිට සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා," ගාර්ෂියා පවසයි.

ලෝක කුසලානය 2022

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto

සැප්තැම්බර් මාසයේ දී බ්‍රසීලියානු ව්‍යාපාරික සඟරාවක් වන Exame වාර්තා කළේ, වසර හතරකට පෙර පැවති අවසන් තරගාවලියට වඩා මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එළිදැක්වූ බ්‍රසීල කමිසවල ප්‍රමිතිය අඩුවුව ද, මිල 40%කින් ඉහළගොස් ඇති බව යි. 2002 දී අවසන් වරට කුසලානය ලද, පස්වරක් කුසලානය දිනා ඇති ඔවුන්ට, පසුගිය උත්සාහයන් හතරක දී තෙවන වරටත් අර්ධ අවසන් පූර්ව වටය අවසන් කිරීමට නොහැකි විය.

පාපන්දු කමිසවල මිල සම්බන්ධ ගැටළු ඇතිව ඇත්තේ බ්‍රසීලයේ පමණක් නොවේ.

පරම්පරාවක් දුටු විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින එංගලන්තය 2022 ලෝක කුසලාන සිහිවටනවල මිල වැඩි කළ අතර, වර්තමාන එංගලන්ත ටී ෂර්ටය මෙතෙක් නිකුත් කළ මිල අධිකම (ඩොලර් 85 සිට ඉහළට/රු. 31 000ක් පමණ) කමිසය බවට පත්විය. පසුගිය අවස්ථාවල මිල වැඩිකිරීම් හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ඇතුළු දේශපාලනඥයන්ගේ විවේචනවලට ලක්විය.

"ඒක මිල අධික යි. දෙමාපියන් අලුත්ම ඒවා මිලදී ගැනීමට විශාල පීඩනයකට ලක්වෙලා. අපිව පාවිච්චි කරන එක යුතු නැහැ," කැමරන් 2014 දී BBC වෙත පැවසීය.

වත්මන් තරගාවලි ශූරයින්ගේ නව ඇඳුම් කට්ටලය සඳහා ප්‍රංශ රසිකයින්ට ඩොලර් 93ක් පමණ වැය කිරීමට සිදුවෙතැ යි අපේක්ෂා කරන ලදී. කණ්ඩායම් දෙකෙහිම ඇඳුම් කට්ටල සැපයුම්කරු ලෙස කටයුතු කරන්නේ Nike සමාගම යි.

එහෙත් ක්‍රීඩාලෝලීන්ගේ පසුම්බිය මත ඇතිවන බලපෑම මෙම රටවල දී සාපේක්ෂව අඩු ය. එංගලන්තයේ පැයක අවම වැටුප ඩොලර් 11.50ක් පමණ වන අතර එය දළ වශයෙන් මසකට ඩොලර් 1,750ක් පමණ විය හැකි ය. ප්‍රංශයේ අවම මාසික වැටුප ආසන්න වශයෙන් ඩොලර් 1,400ක් පමණ වේ.

A street vendor selling fake Brazil and Argentina shirts in Dhaka, Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිල කමිසවල ඉහළ මිල ගණන්, ව්‍යාජ අනුකරණ විකිණීම සඳහා අවස්ථාවක් ලබාදෙයි

මෙම මිලදී ගැනීමේ හැකියාව ඝානාවේ තත්ත්වයට කිසිසේත්ම සමාන නොවේ. මේ වසර මුල දී එරට ක්‍රීඩාලෝලීන්, ජර්මානු ඇඟලුම් සමාගමක් වන Puma විසින් සාදන ලද "බ්ලැක් ස්ටාර්ස්" ලෝක කුසලාන සිහිවටනවල හඳුන්වාදීමේ මිල ඩොලර් 94ක් (රු. 34 000ක් පමණ) පමණ වීම ගැන සමාජ මාධ්‍යවල කතාබහට ලක්කළේ එබැවිනි.

"‍හොර එක [ටී ෂර්ට්] තාම ඇවිත් නැද්ද?" අයෙකු විමසා තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඝානාවේ රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයට අනුව එරට අවම නීත්‍යානුකූල වැටුප පැයකට ඩොලර් 0.95කි. එය මසකට ඩොලර් 145ක් පමණ විය හැකි ය.

වත්මන් අප්‍රිකානු පාපන්දු ශූරයන් වන සෙනගාල කණ්ඩායමේ ව්‍යාජ කමිස, එරට ඩකාර් අගනුවර විදී පුරා දකින්නට ලැබෙයි. නමුත්, "ජාතික කණ්ඩායමට සහායවීම සඳහා" Puma සමාගම නිර්මාණය කරන ලද නිල කමිසය මිලදී ගන්නැ යි රටේ පාපන්දු පාලක මණ්ඩලය විසින් රසිකයින්ට ආයාචනා කර තිබුණි.

එරට කම්කරු අමාත්‍යාංශයට අනුව, නොවැම්බර් 14 දා වන විට නිල මාදිලිය ඩොලර් 71කට පමණ අලෙවිවෙමින් පැවති අතර, එය සෙනෙගාලයේ මාසික අවම වැටුප වන පැයකට ඩොලර් 0.52න් (මාසයට $79) 75%කට වැඩි ප්‍රමාණයකට සම වේ.

"ඔරිජිනල් ෂර්ට් එකේ මිල වැඩියි. ඒක ලස්සන යි. ඒත් මෙහේ මිනිස්සුන්ට සල්ලි නැහැ," සෙනගාලයේ වීදි වෙළෙන්දෙකු වන මලික් Radio France International වෙත පැවසීය.

"මට වැඩි වැඩියෙන් ගනුදෙනුකරුවන් ලැබෙනවා," වෙළෙන්දා පැවසුවේ ය. සෙනගාල කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා සුදුසුකම් ලබතැ යි ද ඔහු ප්‍රාර්ථනා කළේ, එවිට ඔහුගේ කමිස මිල ඉහළ දැමීමට ඔහුට ඉඩ සැලසෙන නිසාවෙනි.

ෂර්ට් ආර්ථිකය

පාපන්දු කමිසය යනු මිල අධික නිෂ්පාදනයක් නොවේ. බාසිලෝනාහි ජොහාන් කෘයීෆ් ක්‍රීඩා කළමනාකරණ ආයතනයේ කථිකාචාර්ය රිචඩ් ඩෙන්ටන් ඇස්තමේන්තු කරන්නේ ඒවා නිෂ්පාදනය සඳහා වැයවෙන්නේ එකකට ඩොලර් 10කට වඩා අඩු මුදලක් බවයි.

A Germany shirt being customised in an Adidas factory

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අනුව, පාපන්දු කමිසයක අවසාන මිලට බොහෝ සාධකයන් බලපාන අතර, කොවිඩ්-19 වසංගතය සහ යුක්රේනයේ යුද්ධයෙන් පසු ඒවායේ පිරිවැය ඉහළගොස් ඇත

"මේ නිසා අවසාන මිල කොහෙත්ම ගැලපෙන්නෙ නැතිබව පේනවා වගේම, කෙනෙක්ට කියන්න පුළුවන් ඒක අසාධාරණ බව," ඩෙන්ටන් කියයි.

"නමුත් අවසාන මිලට බලපාන වෙනත් වියදම් සහ ආයෝජන තියෙනවා. එක් පුද්ගලයෙකුට අසාධාරණ මිල තවත් කෙනෙකුට සාධාරණ මිලක් වෙන්න පුළුවන්."

පාපන්දු ව්‍යාපාරයේ විශේෂඥයෙකු වන සීසර් ග්‍රැෆියෙට්ටි පැහැදිලි කරන පරිදි, පාපන්දු කමිසයක අවසාන මිල අර්ථ දැක්වෙන්නේ මූලික වශයෙන් නිෂ්පාදන පිරිවැය මඟින් නොවේ. බදු සහ ප්‍රවාහනය ඇතුළු සැපයුම් වියදම් ඊට විශාලතම බලපෑමක් ඇති කරයි.

කොරෝනාවෛරස වසංගතය නිසා සැපයුම් දාම අවහිරවීම හේතුවෙන් ප්‍රවාහන වියදම් ඉහළගොස් ඇති අතර, යුක්රේනයේ යුද්ධය නිසා ගෝලීය ඉන්ධන පිරිවැය වැඩි වී තිබේ.

"ඇඟළුම් සමාගම් ඇත්ත වශයෙන්ම ඇඳුම් කට්ටල අලෙවියෙන් විශාල මුදලක් උපයන්නේ නැහැ. මොකද ඔවුන්ට නිෂ්පාදන අයිතිවාසිකම් ගන්න ක්‍රීඩා සමාජ සහ ජාතික පාපන්දු සම්මේලනවලට ලොකු මුදලක් ගෙවන්න සිදු වෙනවා," ග්‍රැෆියෙටි වැඩිදුරටත් පවසයි.

දැවැන්තයින් අතර තරගයක්

නයිකි සහ එහි ජර්මානු විරුද්ධවාදියා වන අඩිඩාස් වැනි දැවැන්තයින්, කීර්තිමත් කණ්ඩායම් සිය නිෂ්පාදන අඳිනබවට වගබලා ගැනීමට විශාල වෙහෙසක් දරයි.

වත්මන් ලෝක කුසලානයේ කණ්ඩායම් 32න් 13ක් සඳහා සැපයුම්කරු Nike වන අතර, Adidas සිව්වරක් ශූරයන් වූ ජර්මනිය, දෙවරක් ශූරයන් වූ ආර්ජන්ටිනාව සහ තවත් ජනප්‍රිය කණ්ඩායමක් වන ස්පාඤ්ඤය ඇතුළුව කණ්ඩායම් හතකට හිමිකම් කියයි.

ක්‍රීඩා ව්‍යාපාරික වෙබ් අඩවියක් වන SportsPro Media දක්වන්නේ, මෙම ඉහළම නිෂ්පාදකයින් එක්ව ක්‍රීඩාවේ බලකණු බඳු ආර්ජන්ටිනාව, බ්‍රසීලය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය සඳහා සාමූහිකව සිහිවටන සපයන අතර, එම වරප්‍රසාදය ලබාගැනීම සඳහා එම රටවල ජාතික සම්මේලනයන් වෙත වසරකට ඩොලර් මිලියන 275ක අතිවිශාල මුදලක් ගෙවන බවයි.

The French national men's football team

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩා ඇඳුම් සමාගම්, ප්‍රංශය වැනි බලවත් පාපන්දු කණ්ඩායම්වලට නිල ඇඳුම් කට්ටල සැපයීමේ අයිතිය සඳහා මිලක් ගෙවයි

"Adidas හෝ Nike පාපන්දු කණ්ඩායම්වලට කරන ආයෝජනයන් ආපසු උපයා නොගත්තොත්, එයාලගේ කොටස්හිමියො ඒ ගැන සතුටු වෙන එකක් නැහැ," ඩෙන්ටන් පෙන්වා දෙයි.

"හැබැයි කමිසය මිල අධික ද නැද්ද යන්න අප විසින්ම තීරණය කළ යුතු යි. සමහර අය මිල අඩු වයින් බොද්දි, තවත් අය මිල අධික වයින් බොන්නේ ඒක යි."

අදහස් දැක්වීම සඳහා බීබීසී Adidas, Puma සහ Nike සම්බන්ධ කරගති. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට පිළිතුරු දී ඇත්තේ Adidas පමණි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ කමිස සඳහා භාවිතා කරන රෙදිවල ගුණාත්මකභාවය සහ එහි තිරසරබව එහි අවසන් මිල මඟින් පිළිබිඹු වන බව යි.

"අපගේ කමිස, ක්‍රීඩකයන් පැළඳ සිටින ඇඳුම්වල ගුණාත්මකභාවයම පවතින ආකාරයට නිර්මාණයකර නිෂ්පාදනයකර තිබේ. එබැවින් රසිකයින්ට ඉදිරි වසර ගණනාව පුරාම එය ආඩම්බරයෙන් ඇඳිය හැකි ය. එහි මිල, තිරසාරත්වය, කාර්ය සාධනය, සහ නවෝත්පාදනයේ මට්ටම පිළිබිඹු කරයි."

උණු කැවුම් සේ විකිණේ

ජෙනීන් ගාර්ෂියා සහ ඇගේ මිතුරන් නිල කමිස මිල දී නොගත්ත ද, බොහෝදෙනෙකු ඉහළ මිල ගණන් නිසා පසුබට වන බවක් නොපෙනේ. බ්‍රසීලයේ කමිසයක මිල 40%කින් ඉහළ නැගීම වාර්තා කළ Exame සඟරාවේ එම ලිපිය තුළම Nike නියෝජිතයන් පවසා ඇත්තේ මෙම වසරේ කටාර කමිසය, සමාගම සහ බ්‍රසීල පාපන්දු පාලක මණ්ඩලය (CBF) අතර පැවති වසර 26ක හවුල්කාරිත්වය තුළ වැඩියෙන්ම අලෙවි වූ කමිසය බව යි.

ගාර්සියා එම ප්‍රකාශය පිළි නොගනියි.

"ඒවා මිල දී ගන්නේ කවුද කියලා මම දැන ගන්න කැමතියි. සල්ලි තියෙන ගොඩක් දෙනෙක් පිරිවැය-ප්‍රතිලාභ ප්‍රශ්නය නිසා හොර ඒවා ගත්තු බව මම දන්නවා," ඇය පවසන්නීය.

"ඒවා නිතර අඳින්න ගන්න මිළ අධික ඇඳුම්, බෑග් වගේ නෙවෙයිනේ."