ලෝක කුසලානය 2022: රැයක් ඩොලර් 200කට මිලකර ඇති කටාර්හි ලෝක කුසලාන ගම්මානය

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
- Author, නෙක්ස්ට් මැක්ග්‍රෙගර්
- Role, බීබීසී, ක්‍රීඩා
"ඒක තවමත් හදලා ඉවර නැහැ. දවල්ට මෙතන අපායක් වගේ. කාන්තාරය නිසා ගොඩක් රස්නෙයි."
පුදුමයට කරුණක් නම්, ඉදිරි සති දෙක තුළ ඔහුගේ නිවස වීමට නියමිත ස්ථානයේ දරුණු තත්ත්වය පිළිබඳ විස්තරයක් ෂෝගෝ නකාෂිමා ඉදිරිපත් කළේ සිනාමුසු මුහුණකින් වීම යි. 'හිනා නොවුණොත් මට ඇඬේයි' කියනා මුහුණකි ඒ.
"මට දැන් ඉන්න තැන වෙනස් කරන්න බෑ. ඒ නිසා මට ඒක පිළිගෙන ජපානෙ තරගෙ එනකල් ඉන්න වෙනවා," ඔහු පැවසීය. "මම මෙහේ ඉන්නේ නිදාගන්න විතරයි. මම එළියට ගිහින් නගරෙ ඇවිදිනවා. මට මෙහේ ඉන්න ඕන නැහැ."
ජපානයේ සිට ආ 31-හැවිරිදි ඔහු දෝහාවලට උතුරින් පිහිටි කතීෆාන් දූපතේ රසික ගම්මානය වෙත පැමිණි පළමු පුද්ගලයින්ගෙන් අයෙකි. ගම්මානය විවෘතකර පැය කිහිපයකට පසුව පවා එහි ඇතැම් ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවති ආකාරය දැකිය හැකිවිය.

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
බොහෝ අමුත්තන් එහි පැමිණීමට බොහෝ කලකට පෙර සිටම, ඔවුන් අපේක්ෂිත අත්දැකීම ඉන් නොලැබෙනබවට ඉඟි පළවී තිබුණි.
කඳවුර දෙසට එන වංගු සහිත මාර්ගයේ දීම බර යන්ත්‍රෝපකරණවල දර්ශනය සහ හඬ අසන්නට දකින්නට ලැබේ. අහසට එසැවුණු ඉදිකිරීම් දොඹකර අතරේ කම්කරුවන් පදික වේදිකාවල ගල් ඇල්ලීම, විදුලි බුබුළු සඳහා රැහැන් ඇදීම වැනි කටයුතුවල නිරත වන ආකාරය දකින්නට ලැබේ.
පිවිසුම් දොරටුව ආසන්නයට පැමිණෙද්දී දක්නට හැකි මායිම් වැටෙන් පෙන්වන්නේ, නිල වෙබ් පිටුවේ දක්වා ඇති ආකාරයේ 'සුපිරි රසික කඳවුරක්' යන විශේෂණය එයට නොගැලපෙන බවකි.
මෙහි කූඩාරම් 1800ක් ඇති අතර, ඒවායේ පුද්ගලයින් දෙදෙනෙකු බැගින් නවාතැන්ගත හැකිය.
පේද්‍රෝ සහ ෆාතිමා ජීවත්වන්නේ ස්පාඤ්ඤයේ නමුත් මෙක්සිකෝවට 'චියර්' කිරීමට මෙහි පැමිණ ඇත. ඔවුන් අප්‍රේල් මාසයේ දී විවාහවූ අතර මෙම සංචාරය ඔවුන්ගේ මධුසමයේ කොටසකි.
"එකට රාත්‍රියකට ඩොලර් 200ක් පමණ වියදම් වෙනවා. ඇත්තම කිව්වොත් මේ මම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. [නිල වෙබ් පිටුවේ] පින්තූර දකිද්දි සහ විස්තරය කියවද්දි, මේක FIFA ලෝක කුසලානයක් කියලා හිතද්දි, අපි ගුණාත්මකබවක් බලාපොරොත්තු වෙනවානේ," පේද්‍රෝ පැවසීය.
"මේක අඩු වියදමෙන් ට්‍රිප් යද්දි නවතින ජාතියේ කොලිටි අඩු, පුංචි හොස්ටල් එකක් වගේ.
"හරියට අපි හරිතාගාරයක ඉන්නවා වගේ. ගුවන් ගමන නිසා මහන්සි වෙලා සිටියත් අපට උදේ 9 වෙනකම්ම නිදාගන්න බැරි වුණා," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඝන ප්ලාස්ටික්වලින් සාදන ලද කූඩාරම් තුළ තනි ඇඳන් දෙකක්, තනි විදුලි පංකාවක්, සහ ලාම්පුවක් සහිත කුඩා මේසයක් අඩංගු වේ. බිම ඇති තුනී කාපට් තට්ටුව වැලි සහ බොරළු මත අතුරා ඇති නිසා තැනින් තැනින් රැළි ගැසී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
"කිසිම සංවිධානාතාමක බවක් නැහැ, කවුරුත් මොනවත් දන්නේ නැහැ," ෆාතිමා BBC ස්පෝර්ට් වෙත පැවසීය.
"කඩවල් වහලා, බොන්න වතුර නැහැ, අපි මුදල් ගෙව්වේ මෙහෙම දේකට නෙවෙයි."
අපට එහි සිටි බොහෝ අයගෙන් අසන්නට ලැබුණේ එවැනිම අදහස් ය.
ඇතැමුන් මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹී තිබේ. පැරිසියේ සිට ආ ජමාල්, රසික ගම්මානයේ සති තුනක නවාතැන් ගැනීම සඳහා ඩොලර් 3300ක් පමණ ගෙවා ඇත. නමුත් පැමිණ පැය 24කට අඩු කාලයක් තුළ ඔහු තම බෑග් නැවත අසුරමින් පිටව යන්නට සැරසෙයි.
"මට නම් ඒක හොඳ අත්දැකීමක් නෙවෙයි. ෂවර් ජෙල්, දත් බුරුසු, දන්තාලේප මොනවත් නැහැ," ඔහු පැවසීය.
ජමාල් ඔහුගේ වෙන්කිරීමේ පත්‍රිකාව ද අපහට පෙන්වීය. ඔහු සිතා ඇත්තේ ඔවුන් පැමිණෙන්නේ හෝටලයකට කියා ය.

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
මෙහි එක් කුඩා යහපත් කරුණක් වන්නේ කාර්ය මණ්ඩලය උද්යෝගිමත්, උපකාරශීලී සහ සැමවිටම සිනහවකින් සැරසී සිටින්නන් වීම යි. එනමුත් ඇතැම් අවස්ථාවල දී ඔවුන් ජලය මිලදී ගත හැක්කේ කොතැන ද සහ කවදා ද වැනි දෑ ගැනත්, ඒවා මිලදී ගැනීමට අතේ නිල පළඳනාවක් ද තිබිය යුතුබවත් පරස්පර තොරතුරු ලබා දෙයි.
රසික ගම්මානයේ සිට කෙටි දුරක් ඇවිද ගිය පසු බීච් ක්ලබ් රසික උද්‍යානය හමුවේ. එහි විශාල තිරයක් ඇති අතර එය තරග කාලසටහන සහ මත්පැන් විකිණීමට ඇති ස්ථාන පෙන්වයි. මෑතදී කළ නිවේදනයට අනුව, ක්‍රීඩාංගණය තුළ මත්පැන් තහනම් කර තිබේ.
බීච් ක්ලබ් එක ද නියමිත වේලාවට සම්පූර්ණයෙන් ඉදිකර අවසන් නොමැති බවට ලකුණු පෙන්වයි. ඉදිකිරීම් ද්‍රව්‍ය අඩවිය වටා විසිරී ඇති අතර, වාහනවල සහ ලෝහවල ශබ්ද නිරන්තරයෙන් ඇසේ.

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport
මෙහි කාර්ය මණ්ඩලය පැහැදිලිවම ශුභවාදී පිරිසක් වන අතර, ඔවුන් රසික උද්‍යානය ඉක්මනින් වැඩ අවසන් වනු ඇතැ යි නිහඬව විශ්වාස කරයි. ලෝක කුසලානය සඳහා කටාරය ඩොලර් බිලියන 220ක් වියදම් කර ඇති හෙයින්, ඇතැම් විට ඔවුන්ගේ අභිලාෂකාමී සැලසුම් ප්‍රශ්න කළ නොහැක. එහෙත් ඒවා ක්‍රියාත්මක කළ ආකාරය ප්‍රශ්න කළ හැකිය.
කෙසේ වෙතත්, එරටට පාපන්දු ක්‍රීඩාවේ විශාලතම තරගය 2010 දී ප්‍රදානය කර තිබියදීත් මෙලෙස අවසන් මොහොතේත් ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ලොව අනෙක් කෙළවර සිට දහස් ගණනක් වියදම් කර එහි පැමිණි රසිකයන්ට සුබදායක දසුනක් නොවේ.










