ලෝක කුසලානය 2022: දෝහා නගරයේ වීදි පිරවීම සඳහා මුදලට "ව්‍යාජ" රසිකයින් ගෙන්වා තිබේ ද?

Brazilian national team fans cheered on Corniche in Doha ahead of the 2022 FIFA World Cup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රසිකයන් සාමාන්‍යයෙන් ඕනෑම ලෝක කුසලානයක ප්‍රධාන අංගයකි

ලෝක කුසලානයේ ආරම්භක තරග අතරතුර ආසන දහස් ගණනක් හිස්ව තිබීම මෙන්ම, දෝහා වීදි පිරවීම සඳහා "ව්‍යාජ" රසිකයින් පිරිසක් මුදල් ගෙවා ගෙන්වාගෙන ඇතැ යි වාර්තාවීමත් සමග කටාර් වෙත නැවතත් ලෝකයේ අවධානය යොමුවී තිබේ.

දෝහාහි ව්‍යාජ රසිකයින් මෙන්ම, තරගාවලිය පිළිබඳ ධනාත්මක ප්‍රකාශයන් සමාජ මාධ්‍යවල පළ කිරීම සඳහා ද, සබැඳි පෝස්ට්වලට ලයික්කර ශෙයාර් කිරීම සඳහා ද ගෙවීමක් ලෙස රටවල් ගණනාවක පුද්ගලයන්ට නොමිලේ ගුවන්ගමන් සහ නවාතැන් පහසුකම් ලබා දී ඇතිබවත් BBC විසින් අනාවරණය කරගෙන තිබේ.

විදීබට "ව්‍යාජ" රසිකයන්

India fans in the state of Kerala 2021 in Argentina kits celebrate in the street

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 කෝපා ඇමරිකා තරගාවලියේ දී ආජන්ටිනා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සමරන ඉන්දීය ආජන්ටිනා රසිකයින්

පළමු තරගයට පෙර, ලොව පුරා රටවල කොඩි ඔසවාගත් සිය ගණනක් රසික රසිකාවියන් දෝහා නගරයේ වීදිවල ගී ගයනු දක්නට ලැබිණි.

නමුත් නිල ලෝක කුසලාන සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන ලද එවන් වීඩියෝවලට කමෙන්ට් කළ ඇතැමුන්, මේවායේ මැද පෙරදිග හෝ දකුණු ආසියාතිකයින් වැඩි වශයෙන් සිටින්නේ මන්දැ යි ප්‍රශ්න කරනු දක්නට ලැබුණි.

"වෙන රටක රසිකයෙක් වෙන්න එයාලට සල්ලි ලැබෙනවා ද?" එක් කමෙන්ට් එකක් අසා තිබුණි.

කටාර් වැසියෙකු වන ඒරන් ෆර්නැන්ඩස් සමග BBCය කතාබහ කළේ ය. ඔහු ඉන්දියානු සම්භවයක් ඇති අයෙකි. ඒරන් කියා සිටින්නේ එවැනි කමෙන්ට් මෙම කලාපය පිළිබඳ ඇති වැරදි අවබෝධය පිළිබිඹු කරන බව යි. බොහෝ සංක්‍රමණිකයන් කටාරය ඔවුන්ගේ නිවහන ලෙස පිළිගෙන ඇති හෙයින්, විවිධ ජාත්‍යන්තර කණ්ඩායම්වලට සහාය දක්වන පාපන්දුලෝලීන්ගෙන් එය පිරී ඇතැ යි ඔහු පැවසුවේ ය.

"[පාපන්දු] ක්‍රීඩාවට ආදරය කරන බොහෝ ඉන්දියානු රසිකයින් ඉන්නවා. මේ FIFA ලෝක කුසලානයේ දී ඉන්දියානුවන් පාපන්දු ක්‍රීඩාවට කොතරම් ඇලුම් කරනවා ද කියන එක පෙනීම ගැන මම සතුටු වෙනවා," ඒරන් පැවසීය.

දකුණු ආසියාව ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම නිසා ප්‍රසිද්ධියක් ඉසිලුවත්, කලාපයේ ක්‍රීඩාලෝලීන්ගෙන් අති විශාල පිරිසක් පාපන්දු ක්‍රීඩාවට ද ආදරය කරන බව ඔහු පැවසීය. එසේම, ඉන්දියාව වැනි රටවල් කිසිදිනෙක පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩාකර නොමැති බැවින්, එම ක්‍රීඩාලෝලීන් බොහෝවිට වෙනත් ජාතීන්ට සහයෝගය දැක්වීමට මෙන්ම තරග නැරඹීම සඳහා විදේශගතවීමට ද පෙළඹෙන වග ඔහු පවසයි.

Local Argentinean fans in Qatar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර්හි, ආර්ජන්ටිනාව සඳහා විශාල සහයෝගයක් දක්නට හැකි ය

ඒරන් ක්‍රීඩා සමාජ දෙකක සාමාජිකයෙකි. ඒ, Fifa සහ ලෝක කුසලාන 2022 සංවිධායක කමිටුව විසින් පිහිටුවා මෙහෙයවනු ලබන Fifa Fan Movement සහ Qatar Fan Leader scheme යන දෙකෙහි යි.

Fan Leader scheme හා එක්වීමට යම් ගිවිසුමක් අත්සන් කළ යුතුදැ යි ඇසූ විට, ඒරන් අවිනිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ ය.

"සාමාන්‍යයෙන් වගකීම් නම් තියෙනවා. ඒත් ඒ ඔක්කොම ක්‍රීඩාවට සම්බන්ධ යි. අවුරුදු ගාණක් තිස්සේ මේක කරනවා. ඒක මහ දෙයක් නෙවෙයි."

නොමිලේ ගුවන් ගමන් සහ හෝටල් කාමර

Ecuador score against Qatar in the opening game

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් රසිකයින්ට ලෝක කුසලානයේ ආරම්භක තරගය සඳහා නොමිලේ ගුවන් ගමන්, නවාතැන් පහසුකම් සහ ප්‍රවේශපත් ලබාදී තිබේ

ඒරන්ගේ අපැහැදිලි පිළිතුර කෙසේවතුදු, ගිවිසුමක් අත්සන් කර, තරගාවලි සංවිධායකයින්ගෙන් දිරිදීමනා ලබා ගනිමින් Fan Leader වැඩසටහනේ සාමාජිකත්වය දැරීම සඳහා එක්වූ අය බහුල වග BBC දැනගෙන ඇත.

BBC විසින් නිරීක්ෂණය කරන ලද ලේඛන මෙන්ම විවිධ සංවිධාන නිලධාරීන් කිහිප දෙනෙකුගේ ද සාක්ෂි අනුව, බොහෝ විදේශීය ආධාරකරුවන්ට කටාර් වෙත නොමිලේ ගුවන් ගමන් සහ නවාතැන් පහසුකම් ලබා දී තිබේ‍. සංවිධායකයින් පවසන්නේ "රසික අත්දැකීම වඩාත් හොඳින් හැඩගැස්වීමේ" පියවරක් ලෙස එසේ කළ බව යි.

අදාළ රසිකයන් ආචාර ධර්ම පද්ධතියකට අත්සන් කරමින් උත්තරීතර කමිටුව (Supreme Committee) විසින් සපයන ලද තොරතුරු පළ කිරීමට ද, තෙවන පාර්ශවයන් විසින් පළකරන පෝස්ටු ආදිය නැවත ෂෙයා කිරීමට ද එකඟ වී තිබේ.

මෙහි 'උත්තරීතර කමිටුව' යනු කටාර් 2022 ලෝක කුසලාන උළෙල පිටුපස සිටින සංවිධායක මණ්ඩලය වේ.

ගිවිසුම තුළින් රසිකයින් තමා "කටාර් වෙනුවෙන් ප්‍රකාශකයෙක්" ලෙස හඳුන්වා නොගත යුතුබවත්, "කටාර් උත්තරීතර කමිටුව" හෝ "2022 ලෝක කුසලාන කටාර් 2022" අවමානයට ලක් නොකිරීමටත් එකඟ වේ.

බෙල්ජියමේ පාපන්දු සංගමයේ මාධ්‍ය නිලධාරියෙකු වන පියෑර් කෝර්නස් පවසන්නේ, රසිකයින්ට "පළමු තරගය සහ සමාරම්භක උත්සවය සඳහා එක් ප්‍රවේශපතක් ද නොමිලේ" ලබාදී ඇති බව යි.

මෙම පිරිනැමීම බෙල්ජියම් රසිකයින්ට පමණක් නොව "මෙම ලෝක කුසලානයට ක්‍රීඩා කරන සියලුම රටවලට" ලබාදුන් බව ඔහු පවසයි.

ඊට සහභාගී වූ සියලු රසිකයින් නොව, ඇතැමුන් පමණක් මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඔහු සඳහන් කරයි.

An official document setting out the code of conduct for members of the Fan Leaders group
ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් වෙත යාමට පෙර අත්සන් කරන්නැ යි Fan Leaders කණ්ඩායමේ සාමාජිකයින් වෙත ඉදිරිපත් කරන ලද නීතිරීති සහ කොන්දේසිවල පිටපතක්

කටාර් රාජ්‍යය හා සබැඳිව සේවක අයිතීන් මඳබව, LGBTQ+ අයිතිවාසිකම් සහ භාෂණයේ නිදහස පිළිබඳ ගැටළු තිබිය දී ලෝක කුසලාන සත්කාරකත්වය ඔවුනට පිරිනැමීමට ගත් තීරණය නිරන්තරයෙන් විවේචනයට ලක්විය.

එබැවින් ඇතැම් ස්වාධීන සහ බිම් මට්ටමේ ආධාරක සමාජ විශ්වාස කරන්නේ, කටාර්හි Fan Leader යෝජනා ක්‍රමය හුදෙක් තරගාවලියේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ උත්සාහයක් බව යි.

Fan Supporters Europeහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වන මාර්තා ජෙන්ස්, මෙවැනි ක්‍රමයක් මීට පෙර කිසිම ප්‍රධාන තරගාවලියක දී භාවිතාවූ බවක් තමන් අසා නැතැ යි කියා සිටින්නී ය.

"මේක රසික ව්‍යාපාරයක් නෙවෙයි, රසික වංචාවක්," මාර්තා පවසයි. "ඒක අමුතු යි, සැක සහිත යි, ඒක හරි දෙයක් නෙවෙයි."

කෙසේ නමුත් උත්තරීතර කමිටුව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි:

"මේ වැඩසටහන නිසා විවිධ රටවල් 59ක රසිකයින්ගේ අවශ්‍යතා සහ උත්සාහයන් අවබෝධකර ගන්න උත්තරීතර කමිටුවට හැකි වුණා.

"යම් යම් දේ පෝස්ට් කරන්න හෝ ශෙයාර් කරන්න කියලා බැඳීමක් නැහැ. කටාරයට එන හැම රසිකයෙක්ම ස්වේච්ඡාවෙන්, මුදල් නොලබා ඒ දේ කරනවා."