ලෝක කුසලානය 2022: ඉක්වදෝරයට පරාජය වීමෙන් සිහින බොඳව ගිය සත්කාරක කටාරය

Qatari fans watch their team play Ecuador during the opening match of the FIFA World Cup 2022 at Al Bayt Stadium in Doha, Qatar on November 20, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක කුසලානය ආරම්භවීමට පෙර, ඊට තරග වැදෙන ජාතීන්ට FIFA විසින් දුන් පණිවිඩය වූයේ "Focus on Focus" (පාපන්දු වෙත අවධානය යොමුකරන්න) යන්න යි.

තරගාවලියේ ආරම්භක තරගයේ ප්‍රතිඵලයෙන් පසු, කටාර් හා සම්බන්ධ ඕනෑම අයෙකුට අවම වශයෙන් ඉදිරි සතිය තුළ දී හෝ ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාවේ අවසන් මිනිත්තු 90 අමතකකර සිටීමට අවශ්‍යවනු ඇත.

සමස්ත තරගයේ දීම ඉලක්කයට පහරක් එල්ල කිරීමට අපොහොසත්වූ ෆීලික්ස් සැන්චෙස්ගේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට ඉක්වදෝරය සමත්විය.

තරගාවලි ඉතිහාසය තුළ සිය ආරම්භක තරගයේ දී පරාජයට පත්වූ පළමු සත්කාරක කණ්ඩායමබවට ද කටාර් කණ්ඩායම පත්වේ.

ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය සැබෑවීමත් සමග සුබවාදීව ආරම්භවූ දිනය අවසානයේ ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද බියකරු සිහිනයක් බවට පත්විය.

තරගාරම්භයට පෙර අලංකාරවත් සමාරම්භක උත්සවයක්

මීට වසර 12කට පෙර එකල FIFA සභාපති සෙප් බ්ලැටර් කටාර් රාජ්‍යය තෝරාගෙන ඇතැ යි ලොවට හෙළිකළ විට, ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා කටාරයට ඇති අයිතිය පිළිබඳව පුවත්පත් කොලම රැසක් හා වෙබ්අඩවි ලිපි ප්‍රකාශයට පත්විය.

එරට මානව හිමිකම් පිළිබඳ වාර්තාව සහ LGBT පුද්ගලයින්ට ඔවුන් සලකන ආකාරය පිළිබඳ ගැටළු විසින් තරගාවලි ආරම්භය ගොඩනැගීම යටපත් කළ නමුත්, ඉරිදා තරගයට පැය කිහිපයකට පෙර ක්‍රීඩාංගණයෙන් පිටත උද්යෝගයක් දක්නට හැකිවිණි.

Security on camels

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩාංගනයේ සහ සමාරම්භක උත්සවයේ දී කටාර් සංස්කෘතිය හා බැඳි අංග බොහොමයක් දක්නට හැකිවිය

ඔටුවන් සහ අශ්වයන් පිට නැගුණු ආරක්ෂක කාර්යය මණ්ඩලය ප්‍රවේශය දක්වාවූ බෑවුමේ පෙළගැසී සිටි අතර, ඇතුළුවීමේ දොරටුව අසල තබ්ලා (බෙර) සංගීතයට සාම්ප්‍රදායික අරාබි නැටුම් සිදුකරන ලදී.

කටාර්වාසීන් විශාල උද්යෝගයක් නොදැක්වූව ද, තරගය සඳහා එහි පැමිණ සිටි ඉක්වදෝර ක්‍රීඩාලෝලීහු සිය පාර්ශවය වෙනුවෙන් ගායනා කරමින්, එක්ව හඬ නගමින් සිටියහ.

බෙඩුයින් ගෝත්‍රික කූඩාරමක හැඩයෙන් යුත් අල් බයිට් ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භවීමට පෙර නළු මෝගන් ෆ්‍රීමන් විසින් මෙහෙයවන ලද විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් පැවැත්වුණු අතර, දුර්ලභ කෝඩල් රිග්‍රෙෂන් සින්ඩ්‍රෝමය සහිතව උපත ලැබූ ගානිම් අල් මුෆ්තා කුරාන පාඨයන් කියැවීය.

ගෝලීය සුපිරි තරුවක් වන BTSහි ජුන් කුක් ඔවුන් විසින් නිකුත් කෙරුණු නව ගීතයක් කටාර් ගායක ෆහාඩ් අල් කුබේසි සමග ගායනා කළේ ය.

ඔවුන්ගේ දිනය අවසානයේ දී පැමිණියෙන්, දෝහාහි පැවති රසික සැණකෙළියේ දී විශාල තිරයක තරගය නැරඹීමට ප්‍රේක්ෂකයෝ රැස්ව සිටියහ. මීට කොපමණ රසිකයින් පිරිසක් පැමිණියේ ද යත්, තරගාරම්භයට පැයකට පෙර දී රසිකයන් ආපසු හරවා යවනු ලැබුණි.

එනමුත් තව තවත් රසිකයින් දිගින් දිගටම මෙට්‍රෝ දුම්රිය ස්ථානයන්ගෙන් පිටතට "ගලා එමින්" සිටි අතර, ඔවුන් ද රසික උත්සවයෙන් ඉවතක පිහිටි වෙනත් විශාල තිරයක් වෙත හරවා යැවිණි.

කටාර් රාජ්‍යය ආසියානු ශූරයන්ව සිටින වගටත්, ජාත්‍යන්තර තරග 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක තරග වැදුණු ක්‍රීඩකයින් පස්දෙනෙකුගෙන් යුත් පළපුරුදු සංචිතයක් ඇති අයුරුත් පිළිබඳව මින්පෙර ලියැවී ඇත්තේ අල්ප වශයෙනි.

එසේ කිරීම යහපත්විය හැක්කේ ඔවුන් ද මහත් කම්පනයක් ලැබූ නිසා ය.

"පැහැදිලිවම අපි බලාපොරොත්තු වුණේ මේක නෙවෙයි," සැන්චෙස් පසුව පැවසීය. "දැන් මේ තරගය විශ්ලේෂණයකර, අවධානය දැඩිකර, අද දිනය අමතක කිරීමට උත්සාහ කිරීමට අපේ වාරය එළැඹිලා.

"මේකට කිසිම නිදහසට කරුණක් නැහැ. ජයග්‍රහණය ලැබීමට සුදුසුව සිටි ඉක්වදෝරයට සුබපැතුම්. [අපට] දියුණුවෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා. අපි අපේ හොඳම මට්ටමින් ක්‍රීඩාකළේ නැහැ. සමහර විට වගකීම හෝ නොසන්සුන්බව නිසා අපට එහෙම වෙන්න ඇති.

"මේක භයානක ආරම්භයක්, තරගයේ ඉතිරි කොටස තීරණය වෙන්නේ මේකෙන්. අපි පීඩනය ගැන අමතක කළයුතු යි."

කටාර් රසිකයන් විශාල පිරිසක් තරගාවසානයට පෙර පිටත්ව යයි

Qatar fans

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිපුරම ඝෝෂා කළේ මෙරූන් ටී ෂර්ට් හැඳ ගෝල පෝස්ටුවට පිටුපසින් අසුන්ගෙන සිටි කටාර් රසිකයන් ය

ඉක්වදෝර් ක්‍රීඩක එනර් වැලෙන්සියා ආසන්නයේ සිට එල්ලකළ පහරක් හරහා කටාරයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ගෝලය ලබාගත හැකිව තිබුණ ද, වීඩියෝ සහකාර විනිසුරු විසින් එය ඕෆ්සයිඩ් පහරක් ලෙස නිරීක්ෂණය කරන ලදුව ඔවුන්ට දඬුවම් පහරක් ලබාදෙන ලදී.

හිටපු වෙස්ට් හැම් ඉදිරිපෙළ ක්‍රීඩක වැලෙන්සියා දඬුවම් පහරින් ගෝලයක් ලබාගත් අතර තරගයේ විවේක කාලයට පෙර ගෝල තත්ත්වය 2-0ක් කරමින් තවත් ගෝලයක් ලබාගත් හෙයින් කටාරයේ තත්ත්වය යහපත් නොවීය.

ඉක්වදෝරියානුවන් ඔවුන්ගේ දවස සතුටින් ගත කරන අතරතුර, සාම්ප්‍රදායික හිස්වැසුම් සහ අබායාවලින් සැරසුණු කටාර් ආධාරකරුවන් බොහෝදුරට නිශ්ශබ්දව අසුන්ගෙන සිටියේ ය. එනමුත් ගෝල් පෝස්ටුව පිටුපස මෙරූන් පැහැ කමිසවලින් සැරසුණු රසිකයින් කුඩා පිරිසක් සිටිනු දක්නට ලැබිණි.

තරගයේ විවේක කාලයට පෙර තම අසුන්වලින් ඉවත්ව ගිය බොහෝදෙනා නැවත නොපැමිණි අතර, තරගයේ දෙවන අර්ධය අතරතුරේ වැඩි කාලයක් ක්‍රීඩාංගනය අඩකින් පමණම හිස්ව තිබුණි.

එනිසා ක්‍රීඩාංගනය තුළ උද්යෝගරහිත වාතාවරණයක් උද්ගතවූ අතර, දෙවන අර්ධයේ දී ඉලක්කය වෙත එක් පහරක් පමණක් එල්ලවීමට ද දායකවිය.

හිස් ආසන විශාල ප්‍රමාණයක් තිබීම ගැන විමසූවිට සැන්චෙස් මෙසේ පැවසීය: "ඇත්තම කියනවා නම්, මේ තරගෙ ඇතුළේ දී ඒක බලනවාට වඩා මට සෑහෙන වැඩ තිබුණා.

"ඔව්, අපට අපේ ක්‍රීඩාලෝලීන්ගේ සහාය දැනුනා. ඊළඟ වතාවේ දී ඔවුන්ට මීට වඩා ආඩම්බරයක් දැනේයැ යි මම බලාපොරොත්තු වෙනවා. මේ ජාතික කණ්ඩායමට මීට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකියි. තරගාවලිය අවසන් වනතෙක් ඔවුන් අපට සහාය දක්වනවා කියලා මට විශ්වාස යි.

"එය අපගේ හොඳම දක්‍ෂතාවයෙන් බොහෝ දුරස්. මේ තරගාවලිය කෙටියි, ඉතින් අපි මීළඟ තරගය සඳහා යථා තත්ත්වයට පත්විය යුතු යි. අපට වඩා හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

නමුත් එය මීට වඩා පහසුවනු නැත.

අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන ශූරයන් වන සෙනගාලය ලබන සිකුරාදා ඔවුන් හා තරග වදින අතර, නොවැම්බර් 29 වන දා නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් පසු A කාණ්ඩය අවසන් වේ.

2010 දී දකුණු අප්‍රිකාවෙන් අනතුරුව මූලික තරග වටයෙන් ඉදිරියට යෑමට අසමත්වූ දෙවන සත්කාරක රටබවට පත්වීමේ අපකීර්තිය වළක්වාගැනීමට නම්, තමාගේ ක්‍රීඩා රටාව ඉක්මනින් හා හොඳින් සැලසුම්කර ගැනීමට කටාර් කණ්ඩායමට සිදුවනු ඇත.

තණතීරුවෙන් පිටත දී, ලෝක කුසලානය දක්වා සමයේ දී ඔවුන්ගේ මව්බිම උපහාසයට ලක්වූ අතර, තණතිල්ලේ දී ද එයම විඳවීමට ජාතික කණ්ඩායමට අවශ්‍ය නොවනු ඇත.