ඔලිම්පික් ක්‍රීඩකයින්ට ගංජා තවමත් අකැප වෙන්නේ මෙහෙමයි

Sha'Carri Richardson won the 100m at the US trials in Oregon in June

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇයගේ ඉසව්ව සඳහා එක්සත් ජනපදයේ මූලික තරග ජයග්‍රහණය කළද ෂාකාරි රිචඩ්සන්ට ගංජා භාවිතය හේතුවන් තරග තහනම් විය

එක්සත් ජනපද කෙටිදුර ධාවන ක්‍රීඩිකා ශකේරි රිචර්ඩ්සන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නොහැකි වූයේ, එක්සත් ජනපද ජවන හා පිටිය තේරීම් තරගවල දී සිදුකළ මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් ඇය ගංජා භාවිතා කරනා බව හෙළිවීම හේතුවෙනි. ලොව ඇතැම් රටවල ගංජා භාවිතාව නීතිවිරෝධී නොවන නමුත්, ක්‍රීඩාවේ දී එය නීතියෙන් තහනම්කර ඇත්තේ ඇයි?

මීටර 100 ධාවනය සඳහා තත්පර 10.72ක විශිෂ්ට කාලයක් වාර්තාකර ඇති ශකේරි රිචර්ඩ්සන්, ලෝක ඉතිහාසයේ සයවැනියට වැඩිම වේගවත් කාන්තාව ලෙස සලකෙන්නිය යි. ඇය ටෝකියෝ ඔලිම්පික් උළලේ දී එම ඉසව්ව සඳහා රන් පදක්කම දිනාගැනීමට සිටි ප්‍රබල තරගකාරියකැ යි බොහෝදෙනා විශ්වාස කළෝ ය.

ඒ කෙසේ නමුත්, පසුගිය ජුලි 30 වන දා කාන්තා 100m මූලික වටයේ තරග පැවැත්වෙද්දී රිචර්ඩ්සන් එහි සිටියේ නැත.

සුදුසුකම් ලැබීමේ තරග අතරවාරයේ දී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සිදුකළ පරීක්ෂණයෙන් ඇය අසමත් වූයේ, ගංජා භාවිත කර ඇතැ යි පෙන්නුම් කරමිනි. මෙනිසා, ශකේරි රිචර්ඩ්සන් ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන්නේයැ යි ජුලි මස මුල දී නිවේදනය කෙරිණි.

රිචර්ඩ්සන්ගේ සිද්ධිය නිසා, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගංජා තහනම ගැන බොහෝ වාද විවාද ඇතිව තිබේ. එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල ගංජා භාවිතාව නීතිවිරෝධී නොවන, ගංජා ක්‍රීඩා කෞශල්‍යය උත්තේජනය කරන බවට පැහැදිලි සාධක නොමැති පසුබිමක, ක්‍රීඩාවේ දී ගංජා ලබාගැනීම තහනම්කර ඇත්තේ මන්දැ යි බොහෝදෙනා ප්‍රශ්න කරති.

Joggers in Colorado run in support of Richardson

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගංජා ක්‍රීඩා හැකියාව "උත්තේජනය කරන" මත්ද්‍රව්‍යයක් ද?

ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයේ (WADA) තහනම් උත්තේජක ලැයිස්තුව එළිදැක්වුණු 2004 වසරේ සිටම, එයට ගංජා ද ඇතුළත්ව තිබුණි. එම ලැයිස්තුවේ සෑම මත්ද්‍රව්‍යයක්ම පහත නිර්ණායකයන්ගෙන් දෙකක් සම්පූර්ණ කළ යුතු ය.

1. මත්ද්‍රව්‍යය ක්‍රීඩකයාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිකරයි.

2. මත්ද්‍රව්‍යය ක්‍රීඩා කෞශල්‍යය උත්තේජනය කරයි.

3. ක්‍රීඩාවේ ජීව ගුණයට විරුද්ධව යයි.

ගංජා සම්බන්ධයෙන් ගත්කල, බොහෝදෙනා සිය විරෝධය පෑමට තෝරාගන්නේ මේ දෙවැනි නිර්ණායකය යි.

අභාවප්‍රාප්ත වූ ප්‍රහසන නළු රොබින් විලියම්ස් වරක්, "ගංජාවලින් ක්‍රීඩා කෞශල්‍යය උත්තේජනය වෙන්නේ තරග අවසානයේ දී මහා විසාල චොකලට් එකෙක් දෙනවා නම් විතර යි" වශයෙන් සරදමක් ද සිදුකළේ ය.

2011 වසරේ දී ස්පෝට්ස් මෙඩ්සින් නම් ජර්නලයේ පළකෙරුණු ලිපියක් මඟින් WADA ගංජා තහනම පිළිබඳ සිය ස්ථාවරය සාධාරණීකරණය කළේ ය. ගංජා භාවිතයෙන් කාංසාව පහත හෙළීම සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයක් උපුටා දක්වමින් WADA සඳහන් කළේ, "තරගයට පෙර සහ තරගය අතරතුරේ ක්‍රීඩකයාට දැනෙන පීඩනය අඩුකිරීම මඟින්, ඉහළ තරගකාරීත්වයක් යටතේ වුව ද වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමට" ගංජා උපකාරී වන බව යි.

Sha'carri Richardson running in Oregon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නමුත් ගංජා උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස නම් කිරීමට එම අධ්‍යයනයේ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවන බව කැනඩාවේ මොන්ට්‍රියෙල්හි පිහිටි කිබෙක් විශ්වවිද්‍යාලයයේ ක්‍රීඩා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අලාන් ස්ටීව් කොම්ටුවා ප්‍රකාශ කරයි.

"අපි සම්පූර්ණ පින්තූරය දිහාම බලන්න ඕනේ," ඔහු BBC සමග ප්‍රකාශ කළේ ය. "(ගංජා භාවිතාවෙන්) කාංසා තත්ත්වය පහළ බහිනවා තමයි, ඒක හරි. නමුත් ඇත්තෙන්ම කායික විද්‍යාත්මක දත්තයන්ගෙන් පෙන්නුම් කරන්නේ ක්‍රීඩා කුශලතාවයත් පහත වැටෙන බව යි."

අධ්‍යක්ෂක කොම්ටුවා, 2021 වසරේ 'ස්පෝට්ස් මෙඩ්සින් ඇන්ඩ් ෆිසිකල් ෆිට්නස්' ජර්නලයේ පළවූ, ක්‍රීඩා කිරීමට පෙර ගංජා භාවිතාව සහ ක්‍රීඩක කෞශල්‍යය ඉහළ නැංවීමට ගංජා සතු හැකියාව සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයන් සම්බන්ධයෙන් ලියැවුණු ශාස්ත්‍රීය විචාරයක සමකතුවරයෙකු වේ.

එම ශාස්ත්‍රීය විචාරයෙන් සොයාගැනුනේ ගංජා රුධිර පීඩනය ඉහළ නංවා, ශරීර ශක්තියත් සමබරතාවත් පහත හෙළා, විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයක් සඳහා අවශ්‍ය කායික ප්‍රතිචාරයන් වළකන්නේයැ යි බොහෝ අධ්‍යයනයන් විසින් පෙන්නුම් කෙරෙන බව යි.

මෙම විචාරය මඟින් ගංජා කාංසා මට්ටම අඩු කිරීම පිළිබඳ අවධානය යොමු නොකෙරෙන නමුත්, එයින් ලැබිය හැකි වාසිය එහි අනෙකුත් අනිටු බලපෑම්වලින් මැකී යන බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ය. එනිසා 'ගංජා මඟින් ක්‍රීඩා කුශලතාවය උත්තේජනය කරන්නේ ය' යන ප්‍රකාශයෙහි හරයක් නොමැති බව ඔහු සඳහන් කළේ ය.

Marijuana enthusiasts run in the third annual 420 Games in San Francisco in 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මත්ද්‍රව්‍ය සහ ක්‍රීඩාවේ ජීව ගුණය

කෙසේ නමුත්, WADAහි නීති ක්‍රීඩා කුසලතාවය උත්තේජනය කරන මත්ද්‍රව්‍ය තහනම් කිරීමෙන් ඔබ්බට යයි.

ඔලිම්පික් තරගාවලිවලින් වාර්තා වුණු ප්‍රසිද්ධ තහනම් උත්තේජක සිදුවීම් කීපයක් නිසාවෙන් 1999 වසරේ දී පිහිටුවනු ලැබූ WADA අයතනය, ක්‍රීඩාවේ දී තහනම් උත්තේජක ගැනීම නවතා දැමීමේ ගෝලීය සටනේ මූලිකත්වය ගැනීම අරමුණු කරගෙන සිටියි. ඔවුන්ගේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුව එළිදැක්වුණු 2004 වසරේ ලොව සියලුම රටවල පාහේ ගංජා නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් විය.

WADA 2011 දී පලකළ පර්යේෂණ පත්‍රිකාවෙන්, ගංජා "ක්‍රීඩාවේ ජීව ගුණයට" බලපෑම් කිරීමටත් (තෙවැනි නිර්ණායකය), "ලොව වටා ළාබාල දරුවන් ආදර්ශයට ගන්නා ක්‍රීඩකයින්ට නොගැලපීමටත්" හේතූන් ලෙස දක්වා තිබෙන්නේ ගංජා එවකට නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වීම යි.

මෙම නිර්ණායකය නිසා, අප ඉහත සඳහන් කළ ශකේරි රිචර්ඩ්සන්ට පමණක් නොව තවත් ක්‍රීඩකයින් දුසිම් ගණනකට ක්‍රීඩා තහනම්වලට මුහුණපෑමට සිදුවිය.

2009 දී, ලෝක පිහිනුම් ශූරී මයිකල් ෆෙල්ප්ස්ට මාස තුනක තරග තහනමක් පැනවුණේත්, ඔහු ලැබ සිටි Kellogg's අනුග්‍රාහකත්වය අවලංගු වුණේත්, ෆෙල්ප්ස් ගංජා සුරුට්ටුවක් උරමින් සිටිනු දැක්වෙන පින්තූර කිහිපයක් අන්තර්ජාලයට 'ලීක් වීම' නිසාවෙනි.

Phelps has won 28 Olympic medals

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

WADA සිය තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුව ඉදිරිපත් කිරීමටත් පෙර සමයක, කැනේඩියානු හිම ක්‍රීඩක රොස් රිබග්ලියාටි ගංජා භාවිතාකර ඇති බව මත්ද්‍රව්‍ය පරීක්ෂණයන්ගෙන් හෙළිදරව් වීම හේතුවෙන්, ඔහු දිනූ රන් පදක්කමක් අවලංගු කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උත්සාහ කළේ ය.

නමුත් ගංජා සම්බන්ධ කිසිදු නිල නීතියක් නැතැ යි අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව රන් පදක්කම නැවතත් ක්‍රීඩකයාට ලබාදෙනු ලැබුණි. ඉන් මාස දෙකකට පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් බව ප්‍රකාශ කළේ ය.

නමුත් ගංජා සම්බන්ධ කිසිදු නිල නීතියක් නැතැ යි අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව රන් පදක්කම නැවතත් ක්‍රීඩකයාට ලබාදෙනු ලැබුණි. ඉන් මාස දෙකකට පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් බව ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ගෙවුණු දශකයන් දෙක තුළ ගංජා සම්බන්ධ නීතිමය තත්ත්වයත්, ගංජා පිළිබඳ මහජන මතයත් වෙනස්වීම ඇරඹුනේ ය.

2013 වර්ෂයේ දී උරුගුවේ රාජ්‍යය විනෝදාත්මක භාවිතාව උදෙසා ගංජා විකිණීම සහ මිළට ගැනීම නීතිගත කළ අතර, 2018 දී කැනඩාව ද එයම සිදුකළේ ය.

දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, සහ ස්පාඤ්ඤය ඇතුළු බොහෝ රටවල් ගංජා භාවිතයේ සාපරාධීබව යම්තාක් දුරට තොරකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ගත්කල රාජ්‍යයක් වශයෙන් ගංජා භාවිතය නීතිවිරෝධී වුව ද, ක්‍රීඩිකා ශකේරි රිචඩ්සන් තේරීම් තරග සඳහා ඉදිරිපත් වූ ඔරිගන් ප්‍රාන්තය ද ඇතුළුව එක්සත් ජනපද ප්‍රාන්තයන් 1/3කම ගංජා භාවිතය නීතිගත ය.

Tourists browse a marijuana shop in Los Angeles

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Tourists browse a marijuana shop in Los Angeles

ඖෂධයක් ලෙස ගංජා නිෂ්පාදන භාවිතා කිරීම සඳහා ඇති පිළිගැනීම ද වර්ධනය වෙමින් පවතින අතර, එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල් ඖෂධමය මැරුවානා පරිභෝජනය සඳහා අවසරය සලසා තිබේ.

ඇත්තෙන්ම WADA පවා ගංජාහි ඇති සංයෝගයක් වන කැනබිඩියෝල් (CBD) සිය තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කළේ ය. කෙසේ නමුත් ඇතැම් රටවල තවමත් මෙම සංයෝගය නීතිවිරෝධී වන අතර, මෙවර ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ජපානය ද එවැන්නකි.

ක්‍රීඩිකා රිචර්ඩ්සන් ජනතා අනුකම්පාව නොමඳව ලබමින් සිටින මේ මොහොතේ, WADA ආයතනය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදෙමින් සිටියි. "යම් ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ නීතිරීති සම්බන්ධයෙන් නම්, සුදුසු අවස්ථාවක් පැමිණියා කියලා යම් නීතියක් අහෝසි කරන්න ඔබට බැහැ," ටෙක්සස්-ඕස්ටින් විශ්වවිද්‍යාලයයේ සංස්කෘතික ඉතිහාසඥයෙකු ද උත්තේජක මර්දනයේ ඉතිහාසය පිළිබඳ පර්යේෂකයෙකු ද වන ජෝන් හොබර්මන් පවසයි.

පොතේ නීතියට අනුව ගංජා භාවිතාව තහනම් නිසා, ශකේරි රිචර්ඩ්සන් අලලා එම තහනම පහසුවෙන් නොසලකා හරින්නට නොහැකි විය.

"මේ තරුණ කාන්තාව කරදරේ වැටුණේ මේ නීතිය නිසා," ඉතිහාසඥ හොබර්මන් පවසා සිටියේ ය.

තහනම ඉවත් කෙරෙයි ද?

ගංජා භාවිතාවට පනවා ඇති තහනම ඉවත්කිරීම WADA විසින් සලකා බැලෙනු ඇත් ද, එසේ නම් ඒ කවදාදැ යි තවමත් අපැහැදිලි මුත්, එසේ සිදුකරන්නැ යි WADA වෙත පීඩනය එල්ලවෙමින් ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, Cannabis boom: Why Oklahoma is a 'wild wild west'

ක්‍රීඩිකා රිචර්ඩ්සන් මුහුණ පෑ ක්‍රීඩා තහනම, ගංජා සම්බන්ධ වර්තමාන නීතිය ප්‍රශ්න කරන්නට එක්සත් ජනපද ජනපති බයිඩන් පෙළඹවීය. "නීති කියන්නේ නීතිවලට. ක්‍රීඩාවට සම්බන්ධ වෙන හැමෝම නීති දන්නවා," බයිඩන් වරක් මේ සම්බන්ධයෙන් සඳහන්කර තිබුණි. "තත්ත්වය මේ විදියටම පැවතිය යුතු ද, මෙය තව දුරටත් නීතියක් ලෙස පැවතිය යුතු ද කියන එක වෙනම කාරණයක්."

WADA ආයතනයේ නීති ක්‍රියාත්මක කරන ඇමරිකානු ආයතනය වන එක්සත් ජනපද උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනය පවා, "මේ මෙම ගැටලුව නැවතත් සලකා බැලිය යුතු කාලය යි," යනුවෙන් ප්‍රකාශයක් නිකුත්කර ඇත.

එසේ සලකා බලෙන තෙක්, ශකේරි රිචර්ඩ්සන් හා අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක්කෝ ගංජා භාවිතයෙන් වැලකී සිටින්නට හෝ, නැති නම් ක්‍රීඩාවෙන් ඈත්ව සිටින්නට සිදුවනු ඇත.

කියවන්න: