"මම ඉන්නේ සිහින ලෝකයක නෙවෙයි" - ශ්‍රී ලංකා දැල් පන්දු පුහුණුකාරිනිය

www.nwc2019.co.uk

ඡායාරූප මූලාශ්‍රය, www.nwc2019.co.uk

"ලෝකයේ හොඳ ම කණ්ඩායම් දහය අතරට ඇතුළත් වෙන එකයි මගේ අරමුණ," බීබීසී සිංහල සේවය සමග මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය වන තිලකා ජිනදාසය.

පසුගිය සැප්තැම්බරයේදී ආසියානු ශූරතාව දිනා ගැනීමත් සමග ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම, මේවන විට ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වෙන එම තරගාවලියට සූදානම් වෙමින් සිටිති.

පසුගිය ජූනි මාසයේ යාවත්කාලීන කිරීම් අනුව ලෝක දැල් පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ, 26 වන ස්ථානයේය.

එහෙත්, සැප්තැම්බරයේ ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම "ඊට වඩා ඉහළට" යා යුතු බව තිලකා ජිනදාස සඳහන් කළාය.

"මම සිහින ලෝකයක නෙවෙයි ඉන්නේ. ඒ නිසා මම කියන්නෙ නෑ ලෝක ශූරතා තරගාවලියේ පළමු ස්ථානය ගන්නවා කියලා. මීට කලින් ඒ තරගාවලියේ කණ්ඩායම් 16 න් අපි හිමිකර ගත්තේ 14 හෝ 15 වෙනි තැන."

"ඒත් මේ පාර අපි බලාපොරොත්තු වෙනවා හොඳ ම 10 අතරට එන්න," තිලකා ජිනදාස පැවසීය.

මේ ගැනත් දැනගන්න:

Thilaka Jinadasa/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Thilaka Jinadasa/Facebook

හොඳ ම 10ට එන්නේ කොහොම ද?

ලෝකයේ හොඳ ම කණ්ඩායම් 10 අතරට පැමිණීම සඳහා තිලකා ජිනදාස මේ වන විට සැලසුම් රැසක් කෙරෙහි අවධානය යොමු කර සිටී.

"අපි මේ වෙනකොට කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවන් 12 දෙනාට අමතරව ලංකාවෙ ම ක්‍රීඩිකාවන් අතරින් දක්ෂයින් සෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනවා."

"ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක අපිට හිටිය දක්ෂ පරණ ක්‍රීඩිකාවන් අයෙත් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ පළපුරුදු ක්‍රීඩිකාවන් එක්වන එක ලොකු වාසියක්. ඒ වගේ ම ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ කණ්ඩායම් මෙරටට ගෙනල්ලා පුහුණු තරග පවත්වන්න සැලසුම් කරලා තියෙනවා."

තර්ජිණී ශිවලිංගම් විශ්‍රාම ගියා ම විකල්පයක් තියෙනවා ද?

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ජයග්‍රහණවලට විශාල වශයෙන් දායක වූ ක්‍රීඩිකාවක ලෙස පිළිගැනෙන්නේ, තර්ජිණී ශිවලිංගම්ය.

ඇය විශ්‍රාම ගත් විට එම අඩුව පිරවීම සඳහා විකල්ප ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඔවුන් පුහුණු කරවමින් සිටින බව තිලකා ජිනදාස සඳහන් කළාය.

"තර්ජිණීගේ උස නිසා එයාට පහසුයි ප්‍රතිවාදී කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න. ඒත් ලෝකයේ දක්ෂතම කණ්ඩායම්වල ක්‍රීඩිකාවො ඉන්නවා එයාගේ උසට ඉහළට පැනිය හැකි. ඒ නිසා ඔවුන් සමග ක්‍රීඩා කිරීමට මනා පුහුණුවක් අවශ්‍යයි."

තවත් පුවත්:

ලෝකයෙන් 'එක' වෙන්න බැරි ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක දැල් පන්දු කණ්ඩායම් අතර පළමු ස්ථානයට ළඟා වීමට අපහසු වීම සඳහා ගැටලු කිහිපයක් බලපා ඇතැයි තිලකා ජිනදාස පෙන්වා දුන්නාය.

"අපේ කණ්ඩායමට ලැබෙන තරග අවස්ථා අඩුයි. තරග අවස්ථා වැඩි කර ගැනීමට පියවර ගත යුතුයි"

ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හොඳ ම කණ්ඩායම් 10 අතරට පැමිණියහොත් වැඩි තරග අවස්ථා හිමි වනු ඇති බවය.

ඊට අමතරව, විදෙස් කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලි පැවැත්වීමට ද සැලසුම් කරන බව ඇය පැවසුවාය.

Thilaka Jinadasa/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Thilaka Jinadasa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම ඉන්නේ සිහින ලෝකයක නෙවෙයි"

මෙවර ලෝක නෙට්බෝල් ශූරතා තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදුවන්නේ, ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය සමගය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 වන්නේ, නවසීලන්තය, මලාවි, බාබඩෝස්, සිංගප්පූරුව, ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ, ෆීජි, එංගලන්තය, උගන්ඩාව, ස්කොට්ලන්තය, සමෝවා, සිම්බාබ්වේ, ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ ශ්‍රී ලංකාවයි.