ඇමති ෆයිසර් සහ ක්‍රිකට් ආසන: ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගනු ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට සමාජ ජාල සහ දේශපාලන වේදිකාවේ චෝදනා එල්ල වේ.
අගෝස්තු 14 වෙනිදා සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය නැරඹීම සඳහා පැමිණි සිය ආධාරකරුවන් වෙනුවෙන් 'ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්' ප්‍රවේශ පත්‍ර 800 ක් ඇමතිවරයා විසින් වෙන් කරනු ලැබ ඇති බව එම චෝදනාවලින් කියැවිණි.
අදාළ චෝදනාව සඳහන් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලය තුළ දහස් ගණනින් හුවමාරු (Share) වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මේ අතර "ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන්" ඉහත කී ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසා තිබුණේ බ්‍රහස්පතින්දා (අගෝස්තු 16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ප්‍රවේශ පත්‍රවලින් කොටසක් "රණවිරුවන්ට" ලබා දී ඇතත් ඉන් 85% ක්ම ලබා දී ඇත්තේ මුස්තාෆා ඇමතිවරයාගේ "දේශපාලන හිතවතුන්ට සහ ආධාරකරුවන්ට" බව ඔහු එහිදී කියා සිටියේය.
"මේකේ ප්‍රධාන ඉලක්කය ඉදිරියේදී එන්න පුළුවන් මැතිවරණ කියන දේ ඉතාම පැහැදිලියි. මෙහි පාඩුව රුපියල් ලක්ෂ හතළිහයි. මෙයත් රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් නෙමෙයිද කියා අපි ෆයිසර් මුස්තාෆා ඇමතිතුමන්ගෙන් අහනවා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සේමසිංහ එහිදී ප්‍රශ්න කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
අදාළ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රවේශ පත්‍ර අටසීයක් වෙන් කර ගනු ලැබ ඇති බවට එල්ල වන චෝදනා "පදනම් විරහිත" බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමතිවරයා සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරනු ලැබුවේ ජාත්‍යන්තර තරග නැරඹීම සඳහා ඇමතිවරයා වෙනුවෙන් වෙන්කරන ලද කුටිය සඳහා පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේනමුත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා බීබීසී සිංහල සේවය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාය සාර්ථක නොවීය.








