පන්දුව පළුඳු කිරීම: ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් පිලට දැඩි 'අවවාද'

පන්දුව පළුඳු කිරීම: ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් පිලට දැඩි අවවාද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර එල්ලවූ පන්දුව පළුඳු කිරීමේ චෝදනාව හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රමාද කිරීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි විනය කඩකිරීමක් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් සෙනසුරාදා (ජුනි 30) දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ලෙස අවවාද කළ බව කී ක්‍රීඩා අමාත්‍යවරයා මින්පසු එවන් සිදුවීමක් ඇති නොවීමට වගබලාගත යුතු බව එහිදී අවධාරණය කළේ යයි සඳහන් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා උදෑසන දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

එහිදී අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් කියා සිටියේ තමන් කිසිසේත්ම පන්දු පළුඳු කිරීමක් සිදු නොකළ බවය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් අවසන් තීන්දුව තමන් පිළිගන්නා බව දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

"පන්දුව පළුඳු කිරීමේ අරමුණින් මම කිසිදෙයක් කළේ නැහැ. ඒක නිසයි මම ඒ තීරණයට අභියෝග කළේ. මම දන්නවා, කණ්ඩායම දන්නවා, අපි හිතට එකඟව වරදක් කළේ නැහැ කියලා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දුවක් අරන් තියෙනවා මට දඬුවම් කරන්න අපි ඒ නීතියට අවනත වෙනවා" යනුවෙන් චන්දිමාල් කියා සිටියේය.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරග තහනමක් පැනවුනු අතර ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග අවසන් ටෙස්ට් තරගයට ඔහුට සහභාගිවීමට නොහැකි විය.

BBC

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතලම චෝදනාව වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අයිසීසී ජගත් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිවූ බවට නැගු චෝදනාවය.

ශ්‍රී ලංකා නායකයා, පුහුණුකරු සහ කළමනාකරු එම චෝදනාවට වරද පිළිගෙන තිබෙන අතර ඒ අනුව ඔවුන්ට දඬුවම් පැනවීම ලබන ජුලි මස 10 වෙනිදා සිදු කිරීමට නියමිතය. ‍

එහිදී ඔවුන්ට ටෙස්ට් තරග 2 සිට 4 දක්වා තහනමක් පැනවිය හැකිය.

"නීතිරීති නොදැන නෙවෙයි, ඒක ඒ වෙලාවේ වෙච්ච දෙයක් හැඟීම්බරව, ඒකයි අපි වරද පිළිගත්තේ" යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා නායකයා අර්බුධයක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා නායකයා අර්බුධයක

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට්ක්‍ කවුන්සිලය ඒ ගැන තීරණයක් ගැනීමේදී ක්‍රීඩකයන් ඒ අවස්ථාවේ සිටි මානසික තත්ත්වය ගැනද සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවය.

"චන්දිමාල්ට තිබුණු ආදරය නිසා කණ්ඩායම ආවේගශීලිව හැසිරිලා තිබුණා. හැබැයි කිසිසේත්ම ඒක හරියි කියලා පිළිගන්න බැහැ, නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් මට පැහැදිලි කළා ඒ අවස්ථාවේ ඒගොල්ලන්ගේ මානසිකත්වය, වැරදියි කියන ගමන්ම ඒගොල්ලන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕනේ" ඇමතිවරයා පැවසුවේය.

අනාගතයේ මෙවන් සිදුවීමක් යළි ඇතිවුවහොත් දැඩි විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම සිදුවීම වන අවස්ථාවේ දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ කර ගත්තේ කවුරුන්දැයි කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහගෙන් මාධ්‍යවේදීන් විමසු අතර එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තමන් එලෙස දුරකථනයෙන් සම්බන්ධ කර ගත් බවය.

ඉදිරියේ මෙවැනි අවස්ථාවක් ඇතිවුවහොත්, ක්‍රිකට් නීතිපොත හොඳින්ම දන්නා ජාත්‍යන්තර තරග තීරකයන් ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ල, තිරකයකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාමගෙන් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු වන මහේල ජයවර්ධනගෙන් උපදෙස් ලබාගනිමේ ක්‍රමවේදයක් සකස්කිරීම සුදුසු නේදැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ගෙන්ද මෙම සිදුවීමට උපදෙස් ලබාගත් බවය.

"ඒ හින්දයි මම ක්‍රීඩා ඇමති වුනාම ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදෙස් ගන්න ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කළේ, යම් යම් හේතු නිසා ඔවුන් ප්‍රතික්ෂේප ඒක කළා" යනුවෙන් ඇමතිවරයා පැවසීය.