ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව: බාබඩෝස්හි ජය ලැබූ පළමු ආසියානු ක්‍රිකට් කණ්ඩායම
බාබඩෝස් බ්‍රිජස්ටවුන් 'කෙන්සින්ටන් ඕවල්' ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ පළමු ආසියානු ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් විය.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග පැවති තෙවෙනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක ජයක් ලබා ගැනීමත් සමගය.
එමෙන්ම කඩුලු 17 බිඳ හෙලමින් ශ්‍රී ලංකාවෙන් පිටත පැවති ටෙස්ට් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ වේගපන්දු යවන්නා ලෙස ලහිරු කුමාර වාර්තා පොතට එක්විය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ චමින්ද වාස් ය.
ඒ අනුව ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය 1-1 ක් වශයෙන් ජයපැරදුමෙන් තොරව අවසන් විය.
දෙවෙනි ඉනිමේ පළමු ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී යාමත් සමග උඩපන්දුවක් ලබා ගැනීමට ගොස් දැන්වීම් පුවරුවක ගැටී අනතුරට පත්ව රෝහල් ගත කර සිට යළි පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියේය.
ඔහු සහ දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63 රැස් කළහ.
මෙම තරගය සඳහා දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ දිමුත් කරුණාරත්න ක්‍රීඩා නොකළහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ජයපැරදුමෙන් තොරව අවසන් වූ දෙවෙනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළ බවට නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය.
ජූනි 15 පැවති තරගයේ අවසන් ඉනිමේදී, දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් කිසිවක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුඳු කළ බවට වැරදිකරුවූ අතර ටෙස්ට් තරග තහනමක් සහ තරග මුදලින් 100%ක දඩ මුදලක් ඔහුට පැනවිණි.
ඊට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ බරපතළම චෝදනාව වන්නේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේදී, කණ්ඩායම පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමය.
මේ හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන අතර, එයට ඔවුන් වරදකරුවන් වුවහොත් උපරිම ටෙස්ට් තරග 4ක් හෝ එක්දින තරග 8ක තරග තහනමක් ඔවුන්ට පැනවිය හැකිය.
පාපන්දු පිටියෙන් :