මන්ත්‍රී පදවි කථාව 'සිවිල් සමාජය දියකර හැරීමේ වෑයමක්'

ඡායාරූප මූලාශ්‍රය, Boondi.lk
තමන් ඇතුළු පිරිසකට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දී ආණ්ඩුවට එකතුකර ගැනීමට සැරසෙන බවට පළ වන වාර්තා සිවිල් සමාජය දියකර හැරීමේ උත්සාහයක් බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ගාමිණී වියන්ගොඩ සහ සමන් රත්නප්‍රිය පවසති.
ඔවුන් දෙදෙනා සහ ප්‍රවීණ සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායකට මන්ත්‍රී ධුර පිරිනැමීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා පළවන අතර, ඒ පිළිබඳව කොළඹ පෝස්ටර්ද අලවා තිබුණි.
එහෙත් එය සිවිල් සමාජයෙන් ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන බලපෑම වැළැක්වීමේ අටියෙන් 'සැලසුම් සහගතව' දියත් වූ ක්‍රියාදාමයක් බව දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ සංදේශයට පැවසීය.
"මේකේ අදහස සිවිල් සමාජ ක්‍රියාධරයන් මේ සේරම කරන්නේ යම් යම් දේ බලාපොරොත්තුවෙන් කියල පණිවුඩයක් දීම," ඔහු පැවසීය.

ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් මෙන්ම ඇතැම් ජනමාධ්‍ය පවා මේ ක්‍රියාදාමය පිටුපස සිටිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
තමන්ට එවැනි කිසිදු යෝජනාවක් ලැබී නැති බව අවධාරණය කරන ගාමිණී වියන්ගොඩ, ආරාධනාවක් ලැබුණත් ආණ්ඩුවේ කිසිදු පදවියක් භාරනොගන්නා බව අවධාරණය කළේය.
මාධ්‍ය වාර්තාවල සිය නම සඳහන් වන නමුත් කිසිවෙකුත් තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ පිළිබඳව සංදේශය කළ විමසීමකදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය, තමන් 'ජනතාව සමඟ ගිවිසුමක්' අත්සන් තබා තිබෙන බැවින් එම ගිවිසුම උල්ලංඝනය කිරීමේ කිසිදු අදහසක් නැති බව අවධාරණය කළේය.
තමන්ටත් මෙතෙක් එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බව පවසන සමන් රත්නප්‍රිය, එවැනි තනතුරක් භාරගැනීමේ කිසිදු අභිලාශයක් නැති බවත් අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Nfc
මන්ත්‍රී පදවියක් භාරගැනීම පිළිබඳව මෙතෙක් කිසිවකුත් තමන්ට ආරාධනාවක් කර නැති බව සඳහන් කළ ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, මෙවැනි ප්‍රචාරයක් මතුවීමට තුඩු දුන් පසුබිමද සංදේශයට විස්තර කළේය.
පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පරිහානිය සහ 'පාදඩකරණය' පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පහදා දුන් අවස්ථාවේ, කලාකරුවන් සමඟ රැස්වීමක් සංවිධානය කරන මෙන් ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
එසේ නොමැතිව මෙතෙක් තමන්ට කිසිදු පදවියක් භාරගන්නා මෙන් ආරාධනාවක් ලැබී නැති බවත් හොංකොං සිට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
"මගෙන් මේ රටට සේවයක් විය හැකි නම්, ඒක මගේ ක්ෂේත්‍රය නම් ඒ ගැන කලපනා කරලා බලනවා," යනුවෙන්ද ඔහු පැවසීය.










