ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව

ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සිය ඒකායන අපේක්ෂාව වන නමුත් තමා හමුවේ අභියෝග රැසක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පවසයි.

අනුරාධ කුරේ ඒ බව සඳහන් කළේ ඔලිම්පික් මැරතන් තරඟය ආරම්භ වීමට ප්‍රථම රියෝ නුවර සිට බීබීසී සංදේශය සමඟ සංවාදයක යෙදෙමින්.

බ්‍රසීලයේ පවතින අධික උණුසුම හේතුවෙන් දුර ධාවන ලෝක ශූරයන් පවා මෙතෙක් දැක්වූ වේගය විනාඩි කිහිපයකින් අඩු වී ඇති බව සඳහන් කළ ඔහු, බ්‍රසීලයට සමාන කාලගුණයක් යටතේ දිගු කලක් පුහුණුවීමට තමන්ට අවස්තාවක් නොලැබුන බවත් සිහිපත් කළේය.

බ්‍රිතාන්‍යයේ වාසය කරන ඔහුට දින කිහිපයක් කෙන්යාවේ පුහුණුවීමට අවස්තාව ලැබුන නමුත් ලොව දැවැන්තම ක්‍රීඩා උළෙල සඳහා එය ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ.

තුන් වැනි වරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරිදා මැරතන් තරඟයට තරඟවදින 38 හැවිරිදි අනුරාධ සහභාගි වන අවසාන ඔලිම්පික් උළෙල මෙය බව විශ්වාස කෙරේ.

කෙසේ නමුත් දැනට ක්‍රීඩාවෙන් සමුගැනීමේ බලාපොරෝත්තුවක් නැති බව පවසන මැරතන් ක්‍රීඩකයා, ලබන වසරේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක මැරතන් ශූරතාවලියටත් සහභාගි වීම සිය බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැය 2.20.41 කින් තරගය අවසන් කළ අනුරාධ කුරේ 55 වැනි ස්ථානයට පත්විය.

ඉන් අනතුරුව 33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලිය පැය 2යි විනාඩි 17යි තත්පර 53 කින් නිමා කළ ඔහු 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගත්තේය.