'ගෙවල් ඇතුළට යන්න අපි තවමත් බයයි': පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයකින් ජීවිත 60ක් අහිමි වෙයි

පිලිපීන භූ කම්පනයෙන් අවතැන් වූ පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පිලිපීනයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පවසයි.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.9ක් ලෙස සටහන් වී තිබිණි.

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ බෝගෝ ඇතුළු නගර කිහිපයක 'හදිසි ආපදා තත්ත්වයක්' ප්‍රකාශයට පත් කර තිබේ.

පිලිපීනයේ සේබු නගරයේ වෙරළ තීරයක් ආසන්නයේ ඇති වූ මෙම භූ කම්පනය නිසා විදුලි බලය ඇණහිට අතර, අවට ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇත.

කෙසේ වෙතත්, පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ, සුනාමි අවදානමක් නොපවතින බව ය.

බෝගෝහි තුවාල ලැබූවන්ට රෝහල්වලින් පිටත සිට ප්‍රතිකාර කරන අතර, රෝහල්වල දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ.

පසු කම්පනවලින් ආරක්ෂා වීම සඳහා නාගරික වැසියන් වෙනුවෙන් කූඩාරම් ඉදිකර ඇති අතර, වෛද්‍යවරුන් සහ හෙදියන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට යොදවා තිබේ.

නගර වැසියෝ වීදිවල රැය පහන් කරති

නගර වැසියන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සේබු නගරයට භූ කම්පනය බලපෑ අවස්ථාවේ විදුලිය හා ජල සැපයුම් විසන්ධි වූ බව මෙඩ්ලින් නගරයේ ඡායාරූප ශිල්පියෙකු වන ඩූඩ්ස් ඩෙමාපේ පැවසීය.

"අපේ ගෙදර ඊයේ රාත්‍රියේ නටනවා වගේ. අපි බය වෙලා එළියට පැන ගත්තා," ඔහු බීබීසීයට පැවසීය.

"ළමයින් හොඳට ම කම්පනයට පත් වුණා. ඒගොල්ලෝ දිගට ම අඬමින් හිටියේ,"

පළාත් පාලන ආයතන උපදෙස් දී තිබූ පරිදි මෙඩ්ලින් පදිංචිකරුවන් රැය පහන් කළේ, වීදිවල ය.

නගරයේ පාලම් සහ වීදි කිහිපයකට මේ වන විට ප්‍රවේශ විය නොහැකි බව ඩෙමාපේ පැවසීය.

මේ අතර, සේබු නගර වැසියෙකු වන රොබෙල් සොයිකෝ එරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවකට පැවසුවේ, පසු කම්පන ඇති වේයැයි බියෙන් ඔවුන් "ගෙවල් ඇතුළට යන්න තවමත් බය" නිසා "තවමත් එළියට වී සිටින" බව ය.

භූ කම්පනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපතිවරයාගෙන් නිවේදනයක්

ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ආපදා තත්ත්වයන් කෙරෙහි විමසිලිමත්ව සිටින ලෙසත්, පළාත් පාලන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ය.

විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, ප්‍රාදේශීය රෝහල් සඳහා තවත් කාර්ය මණ්ඩල යොදවා ඇති බවත් මාකෝස් පවසයි.

"මගේ හදවත ආදරණීයයන් අහිමි වූ පවුල් පිළිබඳව ශෝක වන අතර, තුවාල ලැබූවන් සහ භූමිකම්පාවෙන් පීඩාවට පත් සියලු දෙනා ගැන මම යාච්ඤා කරනවා," ඔහු පැවසීය.