MH17 ගුවන් යානය: මාරක ගුවන් අනතුරින් දශකයකට පසු තවමත් පිළිතුරු නොලද ප්‍රශ්න 4ක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ඔල්ගා ඉව්ෂිනා
- Role, බීබීසී පුවත් රුසියානු සේවය
2014 ජූලි 17 වන දින මැලේසියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් රුසියානු මිසයිල ප්‍රහාරයකින් බිම හෙළුවේ එහි සිටි පුද්ගලයින් 300කට ආසන්න පිරිසකට මරු කැඳවමිනි. සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරක් නොලද ප්‍රශ්න අතර ප්‍රධාන ප්‍රශ්න 4ක් පිළිබඳව මෙහි සාකච්ඡා කෙරේ.
MH17 ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලා ලම්පූර් දක්වා පියාසර කරමින් සිටියදී යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයට ඉහළදී මිසයිල ප්‍රහාරයකට ලක් වන්නේ, රුසියානු පාලනය යටතේ පවතින සටන්කාමී කණ්ඩායම් සහ යුක්රේන හමුදාව අතර ගැටුමක් පැවති අවස්ථාවක ය. ඉන් දරුවන් 80 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ඇතුළුව එහි ගමන් ගත් මගීන් 283 දෙනා ම මිය ගියහ.
නෙදර්ලන්ත බලධාරීහු ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ අතර වසර ගණනාවක් පුරා සාක්ෂිකරුවන් විශාල ගණනක් සමග සම්මුඛ සාකච්ඡා කර සාක්ෂි සිය ගණනක් පරීක්ෂා කළහ. අනතුරට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට රුසියාව පැවසූ නමුත් විමර්ශකයෝ ඊට රුසියානු බලධාරීන්ගේ සම්බන්ධයක් ඇතැයි සොයා ගත්හ.
මේ, එම මාරාන්තික සිදුවීම වටා ඇති ප්‍රධාන ප්‍රශ්න වේ.
අනතුර සම්බන්ධයෙන් වරදකරු වූයේ කවුද?
2022දී හේග්හි දිසා අධිකරණය මෙම මගී ගුවන් යානය කඩා වැටීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු වැරදිකරුවන් බව තීන්දු කළේ ය.
ඔවුන් සියල්ලන් ම රුසියානු ආරක්ෂක සේවයේ (FSB) හිටපු නිලධාරීන් වූ අතර, ඔවුහු නැගෙනහිර යුක්රේනයේ පිහිටි රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදී කලාපයක් වන ස්වයං-ප්‍රකාශිත ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ ද කොටස්කරුවන් වූහ.
ඊගෝර් ගර්කින් ඩීපීආර්හි හිටපු "ආරක්ෂක" ඇමතිවරයා වූ අතර සර්ජෙයි ඩබින්ස්කි කලින් එහි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ අතර ලියොනිඩ් ක්‍රෆ්චින්කා ඩබින්ස්කි වෙනුවෙන් සේවය කළේ ය.
සිව්වන පුද්ගලයෙකුට ද චෝදනා එල්ල වූ නමුත් ඔහු වරදකරුවෙකු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඔහුට එරෙහිව නොමැති බව අධිකරණය පසුව තීන්දු කළේ ය.
ඔවුන් කිසිවෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටිය ද වරදකරුවන් වූ තිදෙනාට ම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූහ.
ගර්කින් සහ ඩබින්ස්කි යන දෙදෙනා ම රුසියානු පුරවැසියන් වුව ද, ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් සිදු කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයට මොස්කව් රජය සහයෝගය නොදැක්වීය.
ඊගෝර් ගර්කින්ට රුසියාවේදී සිර දඬුවම් නියම වූ නමුත් ඒ මුළුමනින් ම වෙනස් චෝදනාවලට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම හිටපු එෆ්එස්බී නිලධාරියාට පූර්ණ පරිමාණ ආක්‍රමණයේදී රුසියානු හමුදාවට අකාර්යක්ෂමව නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් සහ 2024 ජනවාරි මාසයේදී අන්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණි. 2022 පෙබරවාරි ආක්‍රමණය ආරම්භ වූ වහා ම රුසියානු හමුදාව විවේචනය කිරීම සාපරාධී වරදක් බවට පත් විය.
මිසයිලය නිකුත් කළේ කවුද?
නෙදර්ලන්තය ප්‍රමුඛ විමර්ශකයින් විසින් වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි අධ්‍යයනය කළ අතර දුරකතන සංවාද (intercepted calls) සිය ගණනක් ද පරීක්ෂා කරන ලදහ. ‘ඩීපීආර්’ බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද භූමියේ සිට බූක් ගුවන් යානා නාශක යන්ත්‍රයකින් (Buk anti-aircraft launcher) නිකුත් කරන ලද මිසයිලයකින් යානය බිම හෙළා ඇති බව ඔප්පු කිරීමට මෙම සාක්ෂි ඔවුන්ට උපකාරී විය. බූක් ලෝන්චරය සපයා තිබුණේ රුසියාවෙනි.
එම කාල වකවානුවේ ම අධිකරණය ප්‍රකාශ කළේ, වරදකරුවන් වූ තිදෙනාගෙන් කිසිවෙකු හෝ මිසයිලය නිකුත් කිරීමේ බොත්තම ඔබා නැති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අදාළ බූක් ලෝන්චරය රුසියාවේ 53 වන ගුවන් ආරක්ෂක බළකායේ තුන්වන බලඇණියට අයත් බව ‘Bellingcat’ නම් විමර්ශනාත්මක වෙබ් අඩවිය තහවුරු කළේ ය. එමගින් මෙයට සම්බන්ධ විය හැකි වරදකරුවන් ගණන 30 දක්වා පහත වැටිණි. ඔවුන්ගෙන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු 2014 ජූලි 17 වන දින බූක් ලෝන්චරය ක්‍රියා කරවන්නට ඇත.
නෙදර්ලන්ත විමර්ශකයින් රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, මෙම බලසේනාවේ අණදෙන නිලධාරී කර්නල් සර්ජෙයි මච්කෆ්ගෙන් ප්‍රශ්න කරන ලෙස ය. විමර්ශනයේ තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් මොස්කව් රජය චෝදනා කළ ද මෙම ඉල්ලීම්වලට ඔවුහු ප්‍රතිචාර නොදැක්වූහ.
දුරකතන සංවාදවල (intercepted phone calls) සඳහන් වුණු තවත් පුද්ගලයෙකු වූයේ, රුසියානු එෆ්එස්බී කර්නල්-ජෙනරල් ඇන්ද්‍රි බුර්ලකා ය. ඇමතුම්වලින් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ, බුර්ලකා රුසියාවේ සිට යුක්රේනයේ නැගෙනහිර දෙසට බූක් පද්ධතිය ගෙන යාමට සම්බන්ධ විය හැකි බව ය.
2014-2015 යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවති සන්නද්ධ ගැටුමේ සක්‍රීය අවධියේදී ජෙනරල් බුර්ලකා රුසියාවේ ඉහළ ම සම්මානය වන "රුසියාවේ වීරයා" යන සම්මානයෙන් පිදුම් ලබා ඇති බව බීබීසීය විසින් සොයා ගන්නා ලදී.
පූටින්ගේ භූමිකාව කුමක් ද?
2023 පෙබරවාරියේදී, වැරදිකරුවන් තිදෙනාට දඬුවම් නියම කිරීමෙන් මාස කිහිපයකට පසු, විමර්ශකයින් ප්‍රකාශ කළේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ගැටුමට සහ ගුවන් යානය බිම හෙළීමට ඍජුව ම සම්බන්ධ වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාක්ෂියක් ලෙස, ඔවුහු දුරකතන සංවාද දෙකක් (intercepted phone calls) ගෙන හැර දැක්වූ අතර, එම සංවාද දෙක ම බූක් ගුවන් ආරක්ෂක මිසයිල විදිනය යුක්රේනයට ගෙන ඒමේ තීරණය "ඉතා ඉහළ ම පුද්ගලයා", එනම් ජනාධිපති පූටින් විසින් ගන්නා ලද තීරණයක් විය හැකි යි යන කාරණයට සම්බන්ධ කළහ.
මාධ්‍ය හමුවකදී නෙදර්ලන්ත ප්‍රමුඛ ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමේ (JIT) විමර්ශකයෝ මෙසේ පැවසූහ: "බූක් සම්බන්ධ තීරණවලට පූටින් ඍජුව ම සම්බන්ධ වූ බවට වන ප්‍රබල ඇඟවීම් තිබෙනවා. නමුත් මෙම සාක්ෂි ඒ බව සැකයකින් තොරව ඔප්පු කරන්න තරම් ප්‍රමාණවත් නැහැ."
නෙදර්ලන්ත නීතිය යටතේ රුසියානු රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති පූටින්ට දණ්ඩ මුක්තිය ලැබෙන අතර ඔහු ධූරයේ රැඳී සිටින තුරු ජාතික අධිකරණයකදී ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ද ඔවුහු පැවසූහ.
පූටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් එම කාල වකවානුවේ ම අදහස් දක්වමින් පැවසුවේ, රුසියාවට විමර්ශනයට සහභාගී වීමට ඉඩ නොදුන් බව ත් මෙය "එහි වාස්තවිකතාවට දායක නොවූ" බව ත් ය.
වින්දිතයන්ගේ වන්දි සඳහා ඊළඟට සිදුවන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2020දී, නෙදර්ලන්ත රජය මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින්, MH17 ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 298 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු බව ත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම ප්‍රතික්ෂේප කළ බව ත් පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. මෙම නඩුව තවමත් විභාග වෙමින් පවතී.
නෙදර්ලන්ත රජය තර්ක කරන්නේ, රුසියාව මෙම ව්‍යසනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බව ත් ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය ගෙන යන වැරදි තොරතුරු ව්‍යාපාරය වින්දිතයින්ගේ ඥාතීන්ගේ සිවිල් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බව ත් ය.
මොස්කව් රජය තමන්ට එරෙහිව එල්ල වන සියලු ම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර MH17 සිදුවීම සිය ප්‍රචාරණ කටයුතුවලදී සක්‍රීයව භාවිත කරයි. ගුවන් යානය යුක්රේන හමුදාව විසින් වෙඩි තබා බිම හෙළන ලද බව හෝ යානයේ සිටි මගීන් ද යානය බිම පතිත වීමට ත් පෙර මිය ගොස් සිටි බවට ඔවුහු පවසති.
රුසියාව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ ක්‍රියාත්මක නඩුවෙන් පරදින්නේ නම්, වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස අධිකරණය රුසියාවට නියෝග කරනු ඇත. ප්‍රායෝගිකව ගත් කල, එවැනි තීරණයක් සංකේතාත්මකව පවතිනු ඇත.
යුක්රේනයේ පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ වී කෙටි කලකට පසු, රුසියානු පාර්ලිමේන්තුව "මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ තීරණ ක්‍රියාත්මක නොකිරීම" පිළිබඳ නීතියක් සම්මත කර ගත්තේ ය. එය 2022 මාර්තු 15 දින සිට බලාත්මක විය.
ඒ අතර ම, MH17 අනතුරට ගොදුරු වූවන්ට වන්දි සඳහා ඉල්ලීම් කළ හැකි කාල සීමාවක් නොමැත. අනාගතයේ යම් අවස්ථාවක රුසියාවේ වෙනත් රජයක් එවැනි විසඳුමක් සඳහා දේශපාලන තීරණයක් ගැනීමට ඉඩක් ද පවතී.












