ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාවේ ඇතුළත් නිර්දේශ මොනවාද ?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව මගින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 40ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව මගින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 40ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත (ජනවාරි 01) මෙම කමිටු වාර්තාව භාර දෙනු ලැබුවේ කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි විසිනි.

වාර්තාව මගින් අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර මොනවාද?

කැබිනට් අනු කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර 4 ක් යටතේ නිර්දේශ ඉදිරිපත් කළ බව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් එහි සභාපති විදේශ අමාත්‍ය අලී සබ්රි පැවසුවේය.

"අපි නිර්දේශ රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ වාර්තාවේදී කේෂ්ත්‍ර 4ක් යටතේ නිර්දේශ යොමු කරලා තිබෙනවා."

1. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා.

2. ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව.

3. ටෙස්ට් ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මක පද්ධති සමඟ පද්ධති මිණුම් සළකුණු කිරීමේදී විනිවිදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු යහපාලනය සහ යහ භාවිතයන්.

4. කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම.

මේ කියන කොටස් 04 යටතේ එක් කොටසකට අවම වශයෙන් නිර්දේශ 10 බැගින් නිර්දේශ 40 කට ආසන්න ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙනවා." අමාත්‍ය අලී සබ්රි පැවසුවේය.

වාර්තාව සකස් කිරීමට යොදා ගත් අදහස් කාගේද ?

කැබිනට් අනු කමිටුව විසින් සිය වාර්තාව සකස් කිරීම සඳහා පාර්ශව රැසකින් මීට අදාලව කරුණු සොයා බලා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

"එම ක්‍රියාවලියේදී වත්මන් අර්බුදයට පාදක වූ සැබෑ හේතු විශ්ලේෂණය කිරීම සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් (කාන්තා/ පිරිමි) පුහුණුකරුවන්, විනිසුරුවරුන්, ක්‍රිකට් තේරීම් කමිටුව, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, තාක්ෂණ උපදේශක කමිටුව, වනිදු හසරංග ඇතුළු වත්මන් ක්‍රිකට් කණ්ඩා‍යමේ සාමාජිකයින් , ශ්‍රී ලංකා විනිසුරු සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විගණන හා ගණකාධිකරණ ආයතන, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් චිත්‍රසිරි කමිටුව, විගණාකාධිපති ආදි පාර්ශව රැසක අදහස් විමර්ශනය කරමින් මෙම වාර්තාවේ නිර්දේශ සකස් කර ඇත." ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කැබිනට් අනු කමිටුවක් පත් කළ හේතුව

පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් සහ ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දක්ෂතා පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයට සහ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට එරෙහිව දැඩි දෝෂාරෝපණයක් මහජනතාවගෙන් එල්ල විය.

මෙම චෝදනාවන් නිසා එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් ආයතනයේ පරිපාලනයෙන් ඉවත් කොට ඒ වෙනුවට නව අතුරු කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියමයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සහ එහි පරිපාලනයේ ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් කවුද?

ඉකුත් වසරේ නොවැම්බර් 6 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සභාපතීත්වය දරන මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.

එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් කටයුතු කළාය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කර මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වේගවත් ක්‍රියාවලියක් හරහා මෙම වාර්තාව අවසන් කිරීමට හැකි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

'මේක ඉක්මණින් පාර්ලිමේන්තුවට ගේනවා'

මෙම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හරදිමෙන් පසු ඉතා ඉක්මණින් එහි අඩංගු නිර්දේශ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පැවසුවේය.

"ජනාධිපතිතුමා කිව්වා ඉතා කඩිනමින් මේ වාර්තාවේ තියෙන නිර්දේශ පාර්ලිමේන්තුව හමුවට ගෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා."

"අනු කමිටුව විසින් ලබා දුන් මේ වාර්තාව සම්පුර්ණයෙන් පිටු 46 කින් යුක්තයි." අමාත්‍යවරයා පැවසුවේය.