ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක්' - විශ්‍රාම යන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සමුදෙමින් කියයි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ තීන්දු ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතු වූ බව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු පවසයි.
සිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ජූලි 25 ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති චාරිත්‍රානුකූල සමුදීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරිය මේ බව කියා සිටියා ය.
මීට වසර 45කට පමණ පෙර තමා නීති ශිෂ්‍යාවක ලෙස අලුත්කඩේ ප්‍රදේශයට පැමිණි බව ත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකණන විනිසුරුවරියක මෙන් ම අග්‍රවිනිශ්චකාර ධූරයට ද පත්වීමට හැකි වූ බව ඇය සඳහන් කළා ය.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48 වන අග විනිසුරුවරු ධූරයට පත්වීමට තමාට හැකි වූ බව ත් අගවිනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බව ත් ඇය අවධාරණය කළා ය.
විනිසුරුවරුන් අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බව ත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.
අගවිනිසුරු ධූරයට
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේ 2024 වසරේ දෙසැම්බර් 2 වන දා ය.
මෙරට අගවිනිසුරු ධූරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු ඉතිහාසයට එක් විය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කෙරිණි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම ජූලි 27 වන දා එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත ය.
අධ්‍යාපනික පසුබිම
මොරටුව ප්‍රදේශයේ උපත ලැබූ මුර්දු ප්‍රනාන්දු, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද කටයුතු කර ඇති ඇය පාසල් විවාද කණ්ඩායමේ හොඳ ම විවාදිකාව සහ විශිෂ්ටතම ශිෂ්‍යාව ලෙස ද අගැයීම් ලබා තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගත් ඇය, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති විභාගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් ශ්‍රීමත් ලලිතා රාජපක්ෂ අනුස්මරණ ත්‍යාගය මෙන් ම ඒ.බී. කුරේ අනුස්මරණ ත්‍යාගය ද ලබා ගැනීමට සමත්ව තිබේ.
පසුව, ඇය ලන්ඩන් කිංග්ස් විද්‍යාලයෙන් නීතිපති උපාධිය හිමි කර ගත්තා ය.
නීතිපති දෙපාර්තුමේන්තුවේ සිට විනිසුරු ධූරය දක්වා
ඇය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර, 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබේ.
2018 වසරේ මාර්තු මාසයේදී මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරන ලදී.
2024 වසරේ ඔක්තෝබර් 10 වන දා ඇය වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරන ලද අතර, නොවැම්බර් 16 වන දා නව අගවිනිසුරුවරිය ලෙස පත් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළේ ය.
කතාබහට ලක්වූ ඇගේ නඩු තීන්දු මොනවා ද?
මෙරට කතාබහට ලක්වූ නඩුකර කිහිපයකදී ම මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබේ.
2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ සිද්ධිය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද ඇය විනිසුරුවරියක ලෙස කටයුතු කළා ය.
එමෙන් ම පාස්කු දින බෝම්බ ප්‍රහාර සම්බන්ධව මූලික අයිතිවාසිකම් කඩ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් පවරා තිබූ පෙත්සම් විභාග කළ සත් පුද්ගල විනිසුරු මණ්ඩලයේ ද ඇය සමාජිකාවකි.
මරණීය දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි හිටපු හමුදා සෙබළෙකු වු සුනිල් රත්නායකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාව ලබා දීමට එරෙහිව ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ඇය පසුව එම නඩු විභාගයෙන් ඉවත් විය.
මරණ දඬුවමට එරෙහිව සුනිල් රත්නායක ගොනු කළ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක ලෙස කටයුතු කළ බැවින් නඩුවෙන් ඉවත් වන බව විනිසුරුවරිය දැනුම් දී තිබිණි.
රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි 2023 වසරේ නොවැම්බර් 14 වන දා තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද මුර්දු ප්‍රනාන්දු සාමාජිකාවක විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා 2024 ජුලි මාසයේ සී.ඩී. ලෙනව ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද ඇය එක් විනිසුරුවරියක් විය.