ප්‍රසන්න රණතුංගට එල්ලවී ඇති නව දූෂණ චෝදනා සහ පෙර වැරදි

    • Author, බීබීසී සිංහල

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (නොවැම්බර් 12 වැනිදා) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (නොවැම්බර් 12 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය කුමක් ද?

2021 වර්ෂයේදී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය යන ආයතන හතරේ සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුවම ගැනීමට හැකියාව තිබී ඇත.

එහෙත් මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නැමති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රුපියල් 4,750,828.72ක මුදලක් (රුපියල් හතළිස් හත් ලක්ෂ පනස් දහස් අටිසිය විසි අටයි ශත හැත්තෑ දෙකක) මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා තිබේ.

එමගින් අදාළ තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදුකිරීම සහ එයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක පාඩුවක් කළ බවට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පෙර වැරදි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට 2022 වසරේ ජුනි 6 වැනිදා කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම් හා මිලියන 25ක දඩයක් නියම කළේය.

ඒ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගත්තේ යැයි පැවසෙන චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කරමින් අමාත්‍යවරයාට එලෙස දඬුවම් නියම කෙරිණි.

2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා සිට ජුනි 02 වැනිදා දක්වා කාලය තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පදංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරිමට අවශ්‍ය කටයුතු ඉටු කර දීමට ජෙරාජ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට ප්‍රසන්න රණතුංගට එරෙහිව චෝදනා එල්ලවිය.

විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 15 ක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.

වසර 04 ක කාලයක් දීර්ඝ ලෙස විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පිටු 52කි.

එවකට කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම සිර දඬුවම වසර 5කට අත්හිටවනු ලැබීය.

විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් තවත් මාස 9 ක සිර දඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.

සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් වන්දිය ගෙවීම පැහැර හැරියහොත් අමතර මාස 3 ක සිර දඬුවමක් ද නියම කෙරුණි.

අදාළ ව්‍යාපාරිකයාට තර්ජනය කර පොරොන්දු නෝට්ටු 05 ක් අත්සන් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වැනි වගන්තිය උල්ලංඝනය කර දඩුවම් ලැබිය හැකි වරදක් කළ බවට විත්තිකාර ප්‍රසන්න රණතුංග වරදකරු කෙරිණි.

නඩුව පසුගිය යහපාලන සමයේ පිහිටවූ දුෂණ මර්දන කමිටුවට කළ පැමිණිල්ලක් අනුව කර ඇති බවට විත්තිය ඉදිරිපත් කළ තර්කය ඉවත දැමූ විනිසුරුවරයා එය නීත්‍යානුකූල බව සඳහන් කර සිටියේය.