ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළ බවට පැමිණිල්ලක්: නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක්
- Author, බීබීසී සිංහල
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා කළ ප්‍රකාශයකින් "අධිකරණයට අපහාසයක් සිදුවූ" බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අද දින (ඔක්: 21) නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරී ජයසිංහ නමැත්තෙක්, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කළ බව ය.
ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ කුමක් ද?
තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ අදහස් පළ කළා ය.
එහිදී ඇය පැවසුවේ, "එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?" යනුවෙනි.
කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.
"නෑ මෙහෙමයි, අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒකෙ ප්‍රොසීඩ් එක පිළිබඳව අපි මැදිහත් වෙන්නෙ නෑ."
ඔහු ප්‍රකාශ කළේ, "අධිකරණ තීන්දුවට නිසි ගෞරවය ලබා දෙන" අතර, අදාළ පවුල්වලට රජයේ ප්‍රතිපත්තිය අනුව මහල් නිවාස ලබා දෙන තුරු "අදාළ නිවෙස්වල රැඳී සිටීමට අවස්ථාවක් ලබා දිය හැකි නම් එය සලකා බලන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන" ලෙස ය.
පැමිණිලිකරුවන් කියන්නේ කුමක්ද?
අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කළේ, "පහුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති," බව යි.
"මේ මාලිමා ආණ්ඩුව උත්සහ කරනවා දැන් ඒක සාධාරණිකරණය කරන්න ඒක පරිපාලනමය කටයුත්තක් කියලා."
"රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියන්නෙ, ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කරල නෑ, එතන වෙලා තියෙන්නේ පරිපාලනමය සාකච්ඡාවක් විතර යි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වන විට දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකිරීම කියලා. ලක්මාලි මන්ත්‍රිතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතර යි ද කියලා."
"අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රට ම බලා සිටින බවත්, ලක්මාලි හේමචන්ද්‍ර වහා ම අත්අඩංගුවට ගෙන ඇයගේ නීතිඥභාවය අහෝසි කිරීමට පියවර ගත යුතු බවත්, ඇයට එරෙහිව නඩු පැවරීමට තමන් බලාපොරොත්තු වන" බවත් නව ජනතා පෙරමුණ පවසයි.
මීට පෙර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ට සිර දඬුවම් විඳීමට සිදුවිය.