ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන්ජන් රාමනායකට, ප්‍රසන්න රණතුංගට හා විරෝධතා කරුවෙකුට ලබාදුන් නඩු තීන්දු ගැන ඔබ දන්නවාද?
අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රන්ජන් රාමනායකට අද (ජුනි 07) නැවත වතාවක් බරපතල වැඩ සහිත වසර 02ක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය පස් වසරකට අත්හිටවනු ලැබීය.
රූපවාහිනී නාලිකාවක් ඔස්සේ කළ ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රන්ජන් රාමනායකට විරුද්ධව නීතිපතිවරයා මෙම දෙවන නඩුව ගොණුකර තිබුණි.
බන්ධනාගාරය මඟින් අද රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි.
තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි.
තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ කියා සිටියේ, වරද පිළිගැනීම සහ ඉදිරිපත් කළ සානුකම්පිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට අත්හිටුවූ සිර දඬුවම් නියම කිරීමට තීරණය කළ බවයි.
අත්හිටුවූ වසර පහක කාලය තුළ යම් වරදකට වරදකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇත.
එම කාලය තුළ කිසියම් හෝ වරදකට වරදකරු නොවුයේ නම් වසර පහක කාලය අවසන් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි දඬුවමක් නියම නොකළ සේ සලකන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ රන්ජන් රාමනායක වෙත අවධාරණය කර සිටියේය.
පසුගිය නඩු දිනයේදී රන්ජන් රාමනායක අදාළ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.
එහිදී ඔහු කියා සිටියේ තම ප්‍රකාශය මඟින් යම් අපහාසයක්, නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමක් සිදු වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ නම් ඒ සම්බන්ධව තමා කොන්දේසි විරහිතව කණගාටු වන බවයි.
තමන් කළ ප්‍රකාශය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක් කිරීමට තමා කිසිදු ආකාරයකින් අදහස් නොකළ බව රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය නඩු දිනයේ ප්‍රකාශ කර තිබුණේ ඊට පෙර තමන් නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ලබාදුන් විත්තිවාචකය ඉල්ලා අස් කර ගනිමින්ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී රන්ජන් රාමනායක දැනටමත් සිර දඬුවම් විදමින් සිටියි.
2023 වසරේ මැයි මාසය දක්වා එම ඔහු සිරඬුවම ගෙවිය යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2021 ජනවාරි 12 වැනිදා වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි.
එම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
2017 අගෝස්තු 21 වන දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට එම දඬුවම නියම කෙරිණ.
මේ අතර ජුනි 6 වැනිදා කොළඹ මහාධිකරණ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බරපතල වැඩ සහිත අත්හිටවූ සිර දඬුවමක් නියම කෙරිණි.
ප්‍රසන්න රණතුංග වරදකරු වූයේ ඇයි?
වත්මන් ආණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න බරපතල වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම් හා මිලියන 25ක දඩයක් නියම කළේය.
මෙවැනි පසුබිමක් තුළ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට තවදුරටත් කැබිනට් අමාත්‍ය ධුරය දැරීමට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න පිළිබඳව විවිධ පාර්ශව සැක මතු කරති.
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගත්තේ යැයි පැවසෙන චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කරමින් අමාත්‍යවරයාට දඬුවම් නියම කෙරිණි.
2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා සිට ජුනි 02 වැනිදා දක්වා කාලය තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පදංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරිමට අවශ්‍ය කටයුතු ඉටු කර දීමට ජෙරාජ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට ප්‍රසන්න රණතුංගට එරෙහිව චෝදනා එල්ලවිය.
විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 15 ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.
වසර 04 ක කාලයක් දීර්ඝ ලෙස විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පිටු 52කි.
ප්‍රසන්න රණතුංග මහතාගේ දඬුවම ලිහිල් කිරීම සම්බන්ධයෙන්, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය.
" ස්වාමීනි මාගේ සේවාදායකයා 2022 මාර්තු 20 ශල්‍යකර්මයකට භාජනය කළා. ඒ වගේම මෑතකදී ඇතිවූ ගෝල්ෆේස් සිදුවීමත් සමඟ උඩුගම්පල පිහිටි ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ වගේ මේ සිදුවීම හේතුවෙන් ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යයයත් කල්ගියා. එම දියණිය මානසික පීඩනයකින් ඉන්නේ. ඒ වගේම මේ වෙද්දි යම් අධිකරණ නියෝගයක් හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම අඩුවෙලා, ලෝකය ඉදිරියේ රට පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මැවී තිබෙනවා."
"මාගේ සේවා දායකයා කැබිනට් අමාත්‍යවරයෙක්. ඔහුට එරෙහිව දැඩි දණ්ඩනය ලබා දුන්නහොත් කැබිනට් මණ්ඩලයක් ස්ථාවරව පවත්වා ගෙන යා නොහැකි යැයි මතයක් ලෝකයා ඉදිරියට යන්න පුළුවන්. එබැවින් මා ඉල්ලා සිටිනවා ඔහුට එරෙහි චෝදනාවට ලබා දෙන දණ්ඩනය ලිහිල් කරන්න කියලා."
කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම සිර දඬුවම වසර 5කට අත්හිටවනු ලැබීය.
විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් තවත් මාස 9 ක සිර දඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.
සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් වන්දිය ගෙවීම පැහැර හැරියහොත් අමතර මාස 3 ක සිර දඬුවමක් ද නියම කෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංගට සහ ඇගේ ඥාතියෙකු බව කියන නරේෂ් ෆාරික් නැමැත්තා නඩුවේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
අදාල ව්‍යාපාරිකයාට තර්ජනය කර පොරොන්දු නෝට්ටු 05 ක් අත්සන් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වැනි වගන්තිය උල්ලංඝණය කර දඩුවම් ලැබිය හැකි වරදක් කළ බවට විත්තිකාර ප්‍රසන්න රණතුංග වරදකරු කෙරිණි.
නඩුව පසුගිය යහපාලන සමයේ පිහිටවූ දුෂණ මර්දන කමිටුවට කළ පැමිණිල්ලක් අනුව කර ඇති බවට විත්තිය ඉදිරිපත් කළ තර්කය ඉවත දැමූ විනිසුරුවරයා එය නීත්‍යානුකූල බව සඳහන් කර සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි මෙහෙය වූ අතර විත්තිය වෙනුවෙන් විත්තිකාර ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
ඒවා හුදු ප්‍රකාශ බවට පෙන්වා දුන් විනිසුරුවරයා ඒවා ඉවත දමන බව සඳහන් කර සිටියේය.
නිල බලය යොදා ගනිමින් කටයුතු කරන දේශපාලනඥයින්ට මෙය හොඳ නඩු තීන්දුවක් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් දීර්ඝ ලෙස කරුණු දක්වමින් පැවසීය.
විරෝධතාකරුවෙකුට වසර තුනහාමාරක සිරදඬුවමක් නියම කළේ ඇයි?
ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා දක්වන ලද පුද්ගලයෙකුට මාතර මහේස්ත්‍රාත් අධිකරණය (ජුනි 06 වැනිදා) බරපතල වැඩ සහිත සිර දඬුවම් දඩ නියම කරනු ලැබීය.
2022 අප්‍රේල් 19 දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිල්වලා ගඟ මහානාම පාලම මත මාර්ගය හරස් කරමින් ඉන්ධන ඉල්ලා පුද්ගලයින් පිරිසක් විරෝධතාවක් පවත්වනු ලැබීය. එම විරෝධතාව අතරතුර පොලිසියට අයත් WP ABY 1706 ත්‍රිරෝධ රථයට පහරදී අලාභ හානී කිරීමේ චෝදනාවට වරදකරු වු අයෙකුට මෙලෙස දඬුවම් නියම කෙරිණ.
මෙලෙස දඬුවම් නියම වුයේ මාතර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුටය.
චෝදනා 04කට සිර දඬුවම් සහ දඩ
- අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම - බරපතළ වැඩ ඇතිව මාස හයක 6 ක සිර දඬුවමක් හා රුපියල් 1500 දඩයක්.
- අයුතු අවහිරය - බරපතළ වැඩ ඇතිව වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක්.
- පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම - වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක්.
- රජයේ දේපළ වලට පහර දී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක්.
- ත්‍රිරෝද රථයට සිදුවූ අලාභය සඳහා රුපියල් 50,000ක මුදලක් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නමින් ඇති පොලිස් ගිණුමට බැර කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
ඒ අනුව සම්පූර්ණ වසර තුනහමාරක බරපතළ වැඩ සහිත වූ සක්‍රීය දඬුවමක් සහ රුපියල් 6000 ක දඩ මුදලක් සහ රුපියල් 50,000ක අලාභ ගෙවීමක් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.