ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන්ජන් රාමනායකගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය.
මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ.
විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බලපත්‍රය අලුත් නොකිරීම
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විශේෂයෙන්ම ගිනි අවියේ බලපත්‍රය අලුත් නොකිරීමේ කාරණය මුල්කරගෙන අත්අඩංගුවට ගැනීම ගැන රජයේ පාර්ශවයෙන්ම විරෝධය එල්ලවී තිබුණි.
ජනපති හා රජය නිවැරදි මාර්ගයක ගමන් ගන්නා අතරවාරයේ පොලිස් පරීක්ෂණ වැරදි මාර්ගයක ගමන් කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඔහු පවසන්නේ මූල්‍ය දුෂණ සහ රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති මන්ත්‍රීවරුන් පිළිබඳව පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගත යුතු බවය.
'අධිකරණයට කළ බලපෑම්'
කෙසේවෙතත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මූලික වශයෙන් සිදුවූයේ ඔහු අධිකරණයට කළ බලපෑම් ගැන පැවැත්වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් බවය.
"දුරකථන හඬ පට ඇතුළත් සීඩී තැටි අත්අඩංගුවට ගන්නයි රන්ජන් රාමනායකගේ ගෙදරට පොලීසිය ගියේ. මේ අපේ පොලීසියටත් මොලේ නෑ. පොලීසියත් ඉතින් යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. පොලීසිය ගියේ සීඩී එක අත්අඩංගුවට ගන්න නමුත් කෙහෙල්මල් පිස්තෝලයක් අල්ලගෙන මාධ්‍යයට පෙන්නුවා. දැන් රට හිතන්නේ බලපත්‍ර නැති තුවක්කුවක් නිසා රන්ජන් අත්අඩංගුවට ගත්තා කියලා. ඒක වැරදියි," ඔහු කියා සිටියේය.
රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමේ බරපතල කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බව මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වනවිට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ඨාසයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී.
රජය පවසන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගිය කාලයේ සිදුකළ දුරකථන සංවාද ලක්ෂයකට අධික ප්‍රමාණයක හඬ පට දැන් පොලිසිය වෙත ලැබී තිබෙන බවය.
මෙම දුරකථන සංවාද ඇතුළත් හඬපට ගැන විමසීම පිණිස රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසි සිංහල සේවය ගත් උත්සහය අසාර්ථක විය. කෙසේ නමුත් ඉරිදා ඇප ලැබුනු අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කරුණ දැන් අධිකරණය ඉදිරියේ පවතින්නක් බැවින් තමන් ඒ ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවය.
කෙසේ වෙතත් දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් තොරතුරු ලබාගැනීම සඳහා විවිධ පුද්ගලයන් අමතා තිබෙන බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය. ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තමා කර ඇති හෙළිදරව් නිසා තමා ඉලක්ක කරගනිමින් දේශපාලන පළිගැනීමක් සිදුකරන බවට ද මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.
මෙම සිදුවීමට අදාල නඩුව ජනවාරි 17 වැනි දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
කියවන්න: