'අලි රොෂාන්' හෙවත් නිරාජ් රොෂාන්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

- Author, බීබීසී සිංහල
බලපත්‍ර නොමැතිව "සිඟිති" නමැති ඇතින්නක සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (සැප්තැම්බර් 19) බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළේ ය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ද නියම කෙරිණි.
එමෙන් ම අදාළ ඇතින්න රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ ය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම විත්තිකරුට මීට පෙර ඉදිරිපත් වී තිබූ "පෙර වරදක්" ද සලකා බැලීමෙන් පසු මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම නියෝගය නිකුත් කළේ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න, "වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඇතුන් පමණක් ලියාපදිංචි කළ යුතු බවටත් අලින් ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවටත් විත්තිය විසින් තර්කයක් ගෙන එනු ලැබුවා. එහෙත් එම පනතේ ප්‍රතිපාදන සලකා බැලීමේදී එය පිළිගත නොහැකි බව අධිකරණයේ මතයයි. එමෙන් ම අලි ඇතුන් ලියාපදිංචි කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමත කර නොමැති නිසා එය නිත්‍යනුකුල ආකාරයට සම්මත වී ඇති බව පිළිගත නොහැකි බව විත්තිය ප්‍රකාශ කළා. එම නිසා ඒ තුළින් වරදක් උද්ගත වී ඇතැයි සඳහන් කරමින් චෝදනා එල්ල කළ නොහැකි බවටත් විත්තිය විසින් තර්කයක් මතු කර තිබුණා. එහෙත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප්‍රතිපාදන විශ්ලේෂණය කිරීමේදී එවැනි ගැසට් නිවේදනයක් පිළිබඳව සඳහන් වන්නේ නෑ. එමෙන් ම පනත යටතේ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සඳහා බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව විත්තිය විසින් මතු කළ එම තර්කය ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා," යැයි පැවසීය.
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මංජුල තිලකරත්න මෙසේ ද සඳහන් කළේ ය.
"වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 22 (අ)12 වගන්තිය යටතේ මෙම විත්තිකරු භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද අලියා නිසි බලයක් නොමැතිව අල්ලා ගෙන විත් සන්තකයේ තබාගෙන සිටි අලියෙකු ලෙස සැලකෙනවා. එමෙන් ම අදාළ අලියා එම පනත යටතේ පොදු දේපළක් වශයෙනුත් අර්ථකථනය කර තිබෙනවා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මෙම නඩුවේදී අදාළ අලියා විත්තිකරු සන්තකයේ තිබූ බව පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. විත්තිකරු විසින් විත්තිකූරුවේ සිට ඉදිරිපත් කළ සිය විත්ති වාචකය තුළින් ද මෙම අලියා සිය සන්තකයේ තිබූ බව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙම අලියා විත්තිකරු සන්තකයේ තිබූ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙනවා. මේ වන විට වනාන්තරවල සිටින අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා. නීති විරෝධී ලෙස ඇතැම් පුද්ගලයින් වනාන්තරවල වෙසෙන අලි ඇතුන් අල්ලාගෙන යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක්. මෙවැනි පුද්ගලයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් අලි ඇතුන් සංරක්ෂණයට ද විශාල බාධාවක් වී තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීතියේ පාලනය අතින් පමණක් නොව මෙරට පරිසර පද්ධතියට ද විශාල තර්ජනයක් වී තිබෙනවා. මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක්. එමෙන් ම ජනතාවගෙන් ලැබී තිබෙන බලය හරහා අධිකරණවලට ද පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකීම පැවරී තිබෙනවා. විත්තිකරු විසින් සිදුකර තිබෙන්නේ හුදු ව්‍යවස්ථාපිත වරදක් නොවේ. එය බරපතළ අපරාධයක්. මෙලෙස නීති විරෝධී ආකාරයෙන් විත්තිකරු විසින් සන්තකයේ තබාගත් අලියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 68ක් ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා," යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා දඬුවම් ලිහිල් කිරීම සඳහා විත්තිය විසින් ඉදිරිපත් කරන ලද සානුකම්පිත කරුණ ද සැලකිල්ලට ගෙන මෙම දඬුවම නියම කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේ ය.
ඒ අනුව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදකරු කෙරුණු එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල විසින් එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාස තුනක සිර දඬුවමක් නියම කරන ලදී.
ඊට අමතරව පොදු දේපළ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළ විනිසුරු මඩුල්ල ඊට අමතරව රුපියල් ලක්ෂ 204ක දඩයක් නියම කරන බව ද සඳහන් කළේ ය.
එම දඩ ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර හතරක සිර දඬුවමක් නියම කරන බව විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝග කර සිටියේ ය.
කෙසේ වෙතත්, මෙම දඬුවම් දෙක ම එකවර ගෙවී යා යුතු බවට නියෝග කළ විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුට වසර 15ක සිර දඬුවම් නියම කළේ ය.
විත්තිකරු වරදකරු කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්ජ ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී... වන සත්ව ජාවාරම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉතා වැදගත් නඩුවක් ලෙස මෙම නඩුකරය සඳහන් කළ හැකියි. සෑම අපරාධයක ම වින්දිතයෙකු ඉන්නවා. නමුත් මෙවැනි වනසත්ව අපරාධවල වින්දිතයින් තමයි වන සත්තු. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබෙනවා. මොකද වන සතුන්ට ඇවිල්ල පැමිණිලි කරන්න බෑ. උසාවිවල සාක්කි දෙන්න බෑ. මෙවැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් තුළ මතුවන කම්පනය කියන්න ඔවුන්ට හැකියාවක් නෑ. අලි ජාවාරම සම්බන්ධයෙන් කතා කරන පළමු නඩුව තමයි මේක. මේ ජාවාරම පිටුපස දේශපාලකයින්, රජයේ නිලධාරීන්, පූජකවරු, අධිකරණ නිලධාරීන් වගේ බලවත් පුද්ගලයින් ඉන්නවා. ඔවුන් සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම සිදුකර තිබෙන්නේ. මේ අනීතික ක්‍රියාව සිදුකිරීම හරහා විත්තිකරු මෙරට නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර තිබෙනවා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සඳහා ඊට අදාළව බලපත්‍ර ලබාගත යුතුයි. නමුත් මේ විත්තිකරු කැලේට ගොස් ඇතින්නක් සොරකම් කරගෙන ඇවිත් නීතිය අතට අරගෙන බලපත්‍රයක් ලබා නොගෙන ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. ඒ බව සිය විත්තිවාචකය තුළින් ඔහු අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. මේ සිද්ධිය නිසා අදාළ ඇතින්න වින්දිතයකු බවට පත්වෙලා තිබෙනවා. ඒ වින්දිතයාට යුක්තිය ඉටුවිය යුතුයි. මෙවැනි අපරාධ නීතිය හමුවට හා සමාජය හමුවට පැමිණෙන අවස්ථා ඉතා අඩුයි," යනුවෙන් පැවසීය.
විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, මෙම විත්තිකරු දීර්ඝ කාලයක් නඩු විභාගයකට මුහුණ දුන් බව ත් සානුකම්පිත ලෙස සලකා බලා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ත් ය.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා ඔප්පු නොවීම නිසා නිදොස් කොට නිදහස් කරන ලෙස ද අධිකරණය නියෝග කළේ ය.
මෙම නඩුව තුළින් එල්ල කර තිබූ සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා පැමිණිල්ල විසින් නිසියාකාරව ඔප්පු කර නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආර්.එස්.එස්. සපුවිද සඳහන් කර සිටියේ ය.
"මෙම චෝදනා ඔප්පු කිරීමට නම් අලියාගේ වයස නිර්ණය කිරීම ඉතා වැදගත්. මොකද භෞතිකව පරීක්ෂාවට ලක් කළ අලියා සහ බලපත්‍රයේ සිටින අලියා එක ම අලියා ද යන්න නිගමනය කළ හැක්කේ එම සත්වයාගේ වයස අනුවයි. ඒ අනුව අලියාගේ වයස තහවුරු කිරීම සඳහා පැමිණිල්ල විසින් විශේෂඥ පශු වෛද්‍යවරු තුන්දෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කළා. ඉන් එක් සාක්ෂිකරුවෙක් මසුන් පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක්. අනෙක් සාක්ෂිකරු එළුවන්ගේ ප්‍රජනන විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක්. ඔවුන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද පිරික්සීමේදී ඔවුන්ට අලියෙකුගේ වයස නිර්ණය කිරීමට තරම් විශේෂඥ දැනුමක් තිබෙන බව අධිකරණයට පෙනී යන්නේ නැහැ. ඒ අනුව ඔවුන් මෙම කරුණට අදාළව ඉදිරිපත් කළ සාක්ෂි පිළිගන්න බැහැ," යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනාට එල්ල කර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව සඳහන් කළේ ය.
2009 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ අලි ඇතුන් පස් දෙනකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම, කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 33ක් යටතේ අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබිණි.














