'රජයේ අලිමංකඩවලින් අලි ඇතුන් ගමන් කරයි කියලා විශ්වාස කරන්නේ කොහොම ද?' අභියාචනාධිකරණයෙන් රජයට පැනයක්

 The Sri Lankan Supreme Court Complex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වැලිකන්ද, කන්දකාඩු රක්ෂිත වනාන්තර කලාපයේ පිහිටි අලිමංකඩ ප්‍රදේශය එළිපෙහෙළි කර, ඊට යාබද ප්‍රදේශයක බලධාරීන් විසින් සකස් කර දෙනු ලබන විකල්ප අලිමංකඩ හරහා අලි ඇතුන් ගමන් කරනු ඇතැ යි අප විශ්වාස කරන්නේ කෙසේදැ යි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (ජනවාරි 11 වැනිදා) විවෘත අධිකරණය හමුවේ රජයේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ ය.

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දකාඩු රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ අක්කර 5000ක් එළිපෙහෙළිකොට, එම ඉඩම් බඩ ඉරිඟු වගාව සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පවරාදීමට මහවැලි සංවර්ධනය අධිකාරිය ගෙන තිබෙන තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම ප්‍රශ්නය මතු කළේ ය.

මෙහිදී පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනි... කන්දකාඩු රක්ෂිත වනාන්තර කලාපවලට අයත් අක්කර 5000ක් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා මහවැලි අධිකාරිය විසින් ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පවරාදීමට තීරණය කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්. මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතු යි. එහෙත් පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමකින් තොරවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සූදානම් වන්නේ. මේ ව්‍යාපෘතිය නිසා වටිනා ගහ කොළ විනාශ වෙනවා. ඒ වගේම අලිමංකඩක් විනාශ වී අලි ඇතුන්ටත් විශාල අගතියක් සිදුවෙනවා."

"මෙම හෙළිපෙහෙළි කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව එළිපෙහෙළි කිරීමට නියමිත ප්‍රදේශය පුරා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරක 110ක් පමණ පවතින බවත් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම අදාළ කෘෂිකාර්මික ව්‍යාපෘතිය සඳහා විශාල බර වාහන භාවිත කිරීම හරහා ප්‍රදේශයේ පස් තට්ටුවලට විශාල හානියක් සිදුවිය හැකි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා."

මෙසේ ප්‍රකාශ කළ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, පාරිසරික නීති රීති උල්ලංඝනය කිරමින් ක්‍රියාත්මක කිරීමට යන මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. ජී. ජිනසේන විරෝධය පළ කර සිටියා ය.

"ස්වාමීනි... මේක අසාධාරණ ඉල්ලීමක්. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව තමා මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ. මෙරට බඩ ඉරිඟු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 635ක විදේශ විනිමයක් විදේශවලට ඇදී යනවා. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා යි මෙවැනි කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන්නේ. පරිසර සංවිධාන කිසිදු සාධාරණ පදනමක් නොමැතිව එවැනි ව්‍යාපෘතිවලට එරෙහිව නඩු පැවරීම නිසා ඒවා අඩාල වීම සිද්ධ වෙනවා. ඉන් රටේ ආර්ථිකයටත් විශාල හානියක් සිදුවෙනවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"හෙළිපෙහෙළි කිරීමට යෝජිත මෙම ප්‍රදේශය යුද්ධයට පෙර ගොවිපොළක් වශයෙන් පැවැති ප්‍රදේශයක්. යුද්ධය පැවති සමයේ අතහැර දමා තිබීම නිසා අද වනාන්තර ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම කලාපය රක්ෂිත වනාන්තරයක් වශයෙන් රජය විසින් ගැසට් කර නැහැ. මේ ව්‍යාපෘතිය හරහා අලින්ගේ ගමනාගමනයට ඉතා වැදගත් වන අලිමංකඩක් විනාශවන බව පෙත්සම්කරු පවසනවා. එහෙත් එම අලිමංකඩ වෙනුවට විකල්ප අලිමංකඩක් නිර්මාණය කිරීමට වගඋත්තරකරුවන් පියවර ගන්නවා," නීතිඥවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේ දී ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, "අලි ඇතුන්ගේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප අලිමංකඩක් රජය විසින් නිර්මාණය කරන බව ඔබ සඳහන් කළා. මෙසේ නිර්මාණය කරන විකල්ප අලිමංකඩ හරහා අලි ඇතුන් ගමන් කරයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?" යනුවෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගෙන් ප්‍රශ්න කළේ ය.

එහෙත් එම නීතිඥවරිය ඊට පිළිතුරක් ලබා දුන්නේ නැත.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් රජයේ නීතිඥවරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන ඡායාරූප පිරික්සීමේ දී අදාළ ප්‍රදේශයේ මේ වන විටත් ගස් කපා හෙළිපෙහෙළි කිරීම් සිදුකර තිබෙන ආකාරයක් පෙනී යන්නේයැ යි සඳහන් කර සිටියේ ය.

පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමකින් තොරව අදාළ ප්‍රදේශයේ හෙළිපෙහෙළි කිරීම් සිදු කළේ කෙසේදැ යි ප්‍රශ්න කළ විනිසුරුවරයා, එවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන තිබේදැ යි විමසා සිටියේ ය.

ඊට ද රජයේ නීතිඥවරිය විසින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, රක්ෂිත වනාන්තර ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව සඳහන් කර සිටියේ ය.

මෙහිදී ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියද කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික ආර්ථිකය ආරක්ෂා කරනවා සේම පරිසර නීති ද ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව වග බලාගත යුතු බව යි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන්ම තමන්ට වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය කිරීම සඳහා අවසර දෙන්නේ ද, නැද්ද යන තීන්දුව පෙබරවාරි මස 12 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළේ ය.