ශ්‍රී ලංකාවේ සමූහ සුසාන: නීතිමය කටයුතු සහ කැණීම් අසාර්ථක ද?

Human remains at the Mannar mass grave

ශ්‍රී ලංකාවෙන් වරින් වර හමු වූ සමූහ සුසාන සහ ඒවායේ කැණීම්වල අසාර්ථකත්වය සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවක් එළිදැක්වීම ජූනි 22 වන දා කොළඹ දී සිදුවිය.

එය සංවිධානය කර තිබුණේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය (CHRD), අතුරුදහන්වූවන්ගේ පවුල්වල එකතුව (FOD), ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) හා සත්‍ය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ය. මෙම වාර්තාව නම් කර තිබුණේ, "ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්" යනුවෙනි.

මෙම වාර්තාවෙන්, විවිධ කාලවකවානුවල ඇති වූ ගැටුම්වලින් පසු හමු වූ සමූහ සුසානයන් පිළිබඳ රජය කටයුතු කළ ආකාරය සහ කටයුතු කළ යුතු ජාත්‍යන්තර මාර්ගෝපදේශන පිළිබඳ විස්තර කරයි.

සමූහ සුසානයක් යනු කුමක් ද?

'සමූහ මිනී වළක්' යනු කුමක්දැයි ජාත්‍යන්තර නිර්වචනයක් නැත. එනිසා, එය සමූහ සුසානයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අභියෝගයක්බවට පත්වෙයි.

බහිර් නීතික, ලඝු හෝ අත්තනෝමතික ඝාතන සාර්ථක ලෙස වළක්වාලීම සහ විමර්ශනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අත්පොත (Minnesota Protocol) හා අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (ICMP) සමූහ මිනීවළවල් ආරක්ෂා කිරීම සහ විමර්ශනය පිළිබඳ 2020 බෝර්න්මත් මූලපත්‍රය (Bournemouth Protocol) යන ලේඛනවලට අනුව සමූහ සුසානයක් යනු, "මරණය සිදු වූ ආකාරයේ සහ, හෝ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු සිරුරු වළ දමා තිබෙන ස්ථානයකි."

නමුත් වසංගත, ස්වභාවික විපත් වැනි අවස්ථාවල දී ද ඇතැම් සිරුරු සමූහ සුසානවල මිහිදන් කිරීම සිදු කරයි.

මෙම වාර්තාවේ දී සාකච්ඡා කරන සමූහ සුසානයන් යනු, අවසන් වත්පිළිවෙත් හෝ පවුලේ අයගේ අනුදැනුමකින් තොර ව හා එම මිහිදන් කෙරෙන අය මියයාම පිළිබඳ සත්‍යය හෙළි නොකර, බොහෝ දුරට හොර රහසේ සිදු කරන ලද භූමදානයන් ය.

ශ්‍රී ලංකාවේ සමූහ සුසාන

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති සමූහ සුසානයන් 20ක් පිළිබඳ ව මෙම වාර්තාවෙන් විස්තර කර තිබෙන අතර ඒවා දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී ඇත.

මෙම සමූහ සුසානයන්ගෙන් බහුතරයක් හමු වී තිබෙන්නේ අහඹු ලෙස බව මෙම වාර්තාවේ දැක් වේ. සූරියකන්ද සුසානය කුළුණක් ඉදි කිරීමට යාමේ දී ද, මාතලේ සුසානය මාතලේ රෝහලේ ඉදිකිරීමක් අතරතුරේ ද, යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ සුසානය ද එහි වැඩි දියුණු කිරීමක් අතරතුරේ දී හමු වී ඇති අතර, මන්නාරමේ එක් සමූහ සුසානයක් හමුවන්නේ සතොස ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු අතරතුරේ දී ය.

මේ අතුරින් ඇතැම් ඒවා 1988/89 කාලපරිච්ඡේදයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ සිරුරු වළ දමා ඇති ස්ථානබවට සැක කරන ඒවා වන අතර, අනෙක් ඒවා ඉන් පසු කාලයේ දී හමුදාව භාරයේ දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කර ඇති පුද්ගලයින්ගේ බවට සැක කෙරෙන ඒවා යි.

කෙසේ වෙතත් ඒවා සම්බන්ධ නීතිමය කටයුතු සහ සිරුරු ගොඩගෙන කරනු ලබන පරීක්ෂණ සහ ඒවා නැවත පවුලේ අය වෙත භාර දීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇතැ යි මෙම වාර්තාවෙන් මූලික වශයෙන් ම පෙන්වා දෙයි.

සමූහ සුසාන හා අතුරුදන්වූවත් අතර ඇති සම්බන්ධය

මෙම වැඩසටහනේ දී අතුරුදන්වූවන්ගේ පවුල්වල එකතුව වෙනුවෙන් අදහස් දැක් වූ බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ, "යම් කාලයක දී අතුරුදහන් වීම් සිදුවෙලා තිබෙනවා ද, ඒ අයගෙන් බහුතරයක් නිශ්චිත වශයෙන්ම මේ සමූහ මිනීවළවල්වල සිටිනවා," යනුවෙනි.

බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ සමූහ සුසාන අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. සූරියකන්ද, මිරුසුවිල්, චෙම්මනි වැනි සමූහ සුසානයන් ඊට හොඳින් ම සාක්ෂි සපයන බව ඔහු පවසයි.

මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට, 1996 අගෝස්තු 19 වැනිදා හමුදා නිලධාරීන්ගේ භාරයට ගැනීමෙන් පසුව අතුරුදහන් වූ ගරාජ් කාර්මිකයන් දෙදෙනෙකුගේ සිරුරු 1999 දී චෙම්මනි සමූහ සුසානය තුළ තිබී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් හඳුනාගෙන තිබේ. ඔවුන් හැඳ සිටි ඇඳුම්වලින් එලෙස හඳුනාගෙන ඇති අතර එක් අයෙකුගේ දෑස ඔහුගේ කමිසයෙන් ද, අනෙකාගේ දෑස ඔහුගේ බැනියමින් ද ගැට ගසා තිබූ බව වාර්තාවේ දැක් වේ.

"කැණීම් අසාර්ථකයි"

සමූහ සුසානයන් හමුවීමෙන් පසුව සිදු කළ කැණීම් අසාර්ථක වීම හේතුවෙන් ඒවා පිළිබඳ සත්‍ය අනාවරණය කරගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ දැක් වේ.

ගොඩගන්නා ලද සිරුරු අයත් පුද්ගලයන්ගේ අතුරුදහන් කිරීමට සහ ඝාතනයට වගකිවයුත්තන් නඩු පවරා වරදකරුවන් කිරීම තබා වින්දිතයන් හඳුනාගැනීමට හෝ මරණ සිදු වූ ආකාරය පැහැදිලි කරගැනීමට හෝ මඟ පාදා තිබෙන්නේ ඉතා සුළු කැණීම් සංඛ්‍යාවක් බව එහි දැක් වේ.

මෙම කැණීම් අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස වාර්තාවේ පෙන්වා දෙන්නේ පරිශ්‍ර කළමනාකරණයේ ගැටලුවයි. මෙම සුසාන භූමිවලට ලබා දී ඇති ආරක්ෂාවේ අඩුව නිසා සාක්ෂි විනාශ වීම් සිදුවන්නට ඇතැ යි සැකයක් පවතින බව සූරියකන්ද සිදුවීම උපුටා දක්වමින් මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

1994 ජනවාරි 03 දා කැණීම් ආරම්භ වූ එහි යොදාගත් නුපුහුණු ශ්‍රමයත් ඒවා කැණීමට බුල්ඩෝසර් සහ ගල්පොරෝ වැනි ආයුධ යොදාගැනීමත් නිසා බොහෝ මෘත ශේෂ විනාශ වී ඇති බවටත්, ඇටසැකිලි මිශ්‍ර වී ඇති බවටත් වාර්තාවේ දැක් වේ.

එමෙන් ම මීළඟ කැණීමට යොදාගෙන තිබූ ජනවාරි 08 දිනය වන විට සාක්ෂි වෙනස් කිරීමට උත්සහ කළේයැ යි සැක සහිත සිදුවීම් කිහිපයක් ද සිදුව ඇති බව එහි දැක් වේ. මෙලෙස මූලාශ්‍ර විනාශ වීම බොහෝ කැණීම්වල දී සිදු වී තිබේ.

මෙම කැණීම් අසාර්ථක වීමට තවත් හේතුවක් ලෙස වාර්තාවෙන් පෙන්වා දෙන්නේ දේශපාලන අතපෙවීම් සහ නිලධාරීන් මාරු කිරීම් ය. සූරියකන්ද ඇතුළු කැණීම් කිහිපයක දී ම එලෙස දේශපාලන අතපෙවීම් සිදු ව ඇති බව වාර්තාවේ දැක්වේ. මාතලේ, කළුවන්චිකුඩි කැණීම් අතරමඟ නවතා දමන ලද්දේ දේශපාලන අතපෙවීම් නිසා බව වාර්තාව පෙන්වා දෙයි.

එමෙන් ම 2023 වන විට මන්නාරමේ කැණීමට අදාළ නඩුවට සත්දෙනෙකුට නොඅඩු විනිසුරුවරුන් ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බව මෙහි දැක්වේ. තව ද උතුරු පළාතේ සහ කොළඹින් බැහැර පළාත්වල නඩු කොළඹ උසාවිවලට මාරු කිරීම ද සිදුව තිබේ.

2000 වසරේ දී, විත්තිකරුවන් වූ හමුදා නිලධාරීන් සිය ආරක්ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමකින් අනතුරුව චෙම්මනි නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කර තිබේ. පසුව සිදු වී ඇත්තේ පෙත්සම්කරුවන් කොළඹට පැමිණීමට බිය වීමයි. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ කොළඹට යාමට හමුදාවෙන් අවසර ගැනීමට යාමේ දී හේතුව පැවසූ විට ඔවුන්ට යම් විපතක් සිදු වන්නට ඉඩ ඇති බවයි.

තාක්ෂණික ගැටලු හේතුවෙන් ද මෙම කැණීම් අසාර්ථක වී තිබෙන අතර කාල නීර්ණ සහ වෙනත් පරීක්ෂණ සඳහා මළ සිරුරු කොටස් වෙනත් රටවලට යැවීම නිසා ඒවායේ ප්‍රතිඵල බෙහෙවින් ම ප්‍රමාද වී තිබේ. එපමණක් නොව ඒවායේ ප්‍රතිඵල මූලික පරීක්ෂණවලට වඩා වෙනස් වූ අවස්ථා ද වාර්තා වී තිබේ.

2018 වසරේ දී හමු වූ මන්නාරම සමූහ සුසානයේ සිරුරු කොටස් පරීක්ෂණ කටයුතු සඳහා ෆ්ලොරීඩා වෙත යවා ඇති අතර එම පරීක්ෂණයේ වාර්තාවේ දැක් වී ඇත්තේ එම සිරුරු 15-18 සියවස්වලට අයත් ඒවා බව යි.

කෙසේ වෙතත් එම කැණීම සිදුවන අවස්ථාවේ දී, අතුරුදන් වූ සිය පුත්‍රයා එහි සිටීදැයි හඳුනාගැනීමට පැමිණ සිටි මන්නාරමේ පදිංචි උදය චන්ද්‍රා පැවසුවේ මෙවැන්නකි: "මේ වල ඇතුලෙ රතු පාට කමිසයක්, මැලිබන් බිස්කට් පැකට්, රුපියල් දෙසීයෙ කොළයක් තිබුණා. මේවා ඉස්සර කාලේ ඒවා නම් ඒ කාලෙත් මැලිබන් බිස්කට් තිබුණ ද?"

මාතලේ සමූහ සුසානය පිළිබඳ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදු කළ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ එම ශරීර කොටස් 1980 දශකයේ අගභාගයේ බවට කාල නිර්ණය කර තිබු බව වාර්තාවේ පෙන්වා දෙයි.

නමුත් පසුව ෆ්ලොරීඩාහි රසායනාගාර වාර්තාවකින් කියැවී ඇත්තේ එම සිරුරු 1950 දශකයට අයත් බව යි. කෙසේවෙතත් මහාචාර්ය රාජ් සෝමදේව එම තීරණය ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ දැක්වේ. මේ නිසා පරීක්ෂණ පිළිබඳ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ සැලකිය යුතු ගැටලුවක් ඇතැ යි එහි සඳහන් ය.

මෙම කැනීම් සඳහා අවශ්‍ය බලතල 2016 දී පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලයයට (OMP) තිබුණ ද, එයට අවශ්‍ය ප්‍රතිපාදන සහ මානව සම්පත් ප්‍රමාණවත් නොවීම ද මෙම කැණීම් අසාර්ථක වීමට හේතුවක් ලෙස වාර්තාව පෙන්වා දෙයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

නීතිමය බාධා මොනවා ද?

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන දණ්ඩ මුක්තීන් මේවාට අදාල නීතිමය කටයුතුවලට බාධාවක් වී ඇතැ යි මෙහි සඳහන් ය.

1988 දී සම්මත කරගෙන ඇති "වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත" තුළින්, 1977 අගෝස්තු 01 සිට 1988 දෙසැම්බර් 16 දක්වා සිදු කළ ක්‍රියාවක් "සද්චේතනාවෙන්" කළේයැ යි නිදහසට කරුණු දැක්විය හැකි නම් එම නිලධාරීන් හට මුක්තිය ලබා දී තිබේ. එමෙන් ම හදිසි නීති රෙගුලාසි ද මෙම පරීක්ෂණ කටයුතුවලට හරස් වී ඇති බාධාවන් බව වාර්තාවේ පෙන්වා දී තිබේ.

එමෙන් ම 2000 වසරේ දී, යාපනයේ මිරුසුවිල් හි කුඩා දරුවන් තිදෙනෙකුගේ ඇතුළු මෘත ශරීර සොයාගෙන වසර 15කට පසු, එනම් 2015 යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකායේ සාමාජික සුනිල් රත්නායකට මරණ දඬුවම පැන වූ අතර, 2020 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව නියම කරන ලදි.

වාර්තාව එළිදැක්වීමේ දී නීතිඥ උපුල් කුමරප්පෙරුම විසින් නීතිමය ක්‍රියාවලියේ දී මුහුණ දුන් ගැටලු මාතලේ නඩුවේ දී ඔහු ලැබූ අත්දැකීම් ඇසුරින් විස්තර කළේ ය.

"මාතලේ නඩුවට තමන්ගේ පවුල්වල අය අතුරුදන් වූ බවට දිවුරුම් ප්‍රකාශ 156ක් පමණ ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්වරිය සාක්ෂි සටහන් කරගන්න කියලා සීඅයිඩීයට නියෝග කළා ම ඔවුන් කිව්වා කොළඹට ඇවිත් සාක්ෂි දෙන්න කියලා. නැවත මහේස්ත්‍රාත්වරිය නියෝග කළා සාක්ෂිකරුවන් වෙත ගොස් සාක්ෂි එකතු කරගන්න කියලා," ඔහු පවසයි.

මෙම සිරුරු කොටස් විදේශයකට යවන ලෙස ලබා දුන් නියෝගය ද සති හයක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැර සිටි බව ඔහු පැවසුවේ ය.

මෙම සිරුරු කොටස් 1950 දශකයේ බවට ලැබුණු වාර්තාවෙන් පසුව නඩුව අවසන් කළ ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතුරුදන්වීම් දිවුරුම් ප්‍රකාශ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වූ බව ඔහු පවසයි.

නීතිඥවරයා පෙන්වා දෙන්නේ පවතින නීති රාමුව යටතේ මෙම අපරාධවලට යුක්තිය ඉටු කිරීමට අපහසු බව යි.

"අපරාධයට ඉහළින් විධායකය ඉන්නවා වගේ ම පරීක්ෂණ කරන අයට ඉහළිනුත් ඉන්නේ විධායකය. ඒ නිසා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ නීතියක් ගෙන ඒමට අවශ්‍ය යි," ඔහු යෝජනා කළේ ය.

නීතිපති කාර්යාලයයේ මැදිහත්වීමේ ද ප්‍රශ්නසහගත බවක් තිබෙන බව බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ ඇතැම් නඩු වාරයන් සඳහා ඔවුන් පැමිණ හෝ නොතිබූ බවයි.

නිර්දේශ

මෘතදේහ ගොඩගැනීම් ප්‍රතිස්ථාපනය සඳහා නිර්දේශ 24ක් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.

සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් සහ ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම, ක්‍රියාවලිය අධීක්ෂණයට සියලු පාර්ශව නියෝජනය වන නෛතික ආයතනයක් පිහිටුවීම හා මිනසෝටා හා බෝර්න්මත් මූලපත්‍ර වල ප්‍රතිපාදන ඇතුළත් කර මෙහෙයුම් පටිපාටි පාරදෘෂ්‍ය ආකාරයෙන් සිදු කිරීමට මෙම වාර්තාවෙන් රජයට නිර්දේශ කරයි.

තව ද, මළ සිරුරු කොටස් හඳුනාගැනීමට පවුල්වල සමාජිකයන්ට අවස්ථාව ලබා දීමටත්, ඔවුන් හඳුනාගන්නා කොටස් ඔවුන්ට භාර දීමට ද යෝජනා කෙරේ. අධිකරණ ක්‍රියාවලියට පූර්ණ සහය දැක්වීම සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට ද නිර්දේශ කරයි.

මෙම වාර්තාවෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලයයට සහ ජාත්‍යන්තරව සංවිධානවලට ද නිර්දේශ තුනක් ඉදිරිපත් කර ඇත.

වෙනත් සමූහ මිනීවළවල් සොයාගැනීමට විශේෂඥ ඒකකයක් පිහිටුවා වෝහාරික වෛද්‍ය ධාරිතාව ශක්තිමත් කිරීම, අනවශ්‍ය ප්‍රමාදයකින් තොර ව මේවා පරීක්ෂා කර දත්ත ගබඩාවක් සැකසීම හා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට ඒ අනුව නිර්දේශ කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය මේ වන විට පැවැත්වෙන අතර එහි දී ශ්‍රී ලංකාව පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්වරිය නාඩා අල් නෂීෆ් පැවසුවේ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ට තෘප්තිමත් විය හැකි පිළිතුරක් ලබා දීමට අපොහොසත් නිසා, අතුරුදන්වූවන්ගේ පවුල්වලට සත්‍ය හෙළිදරවු කිරීමට, වන්දි ලබා දීමට, වගවීමට හා ඔවුන් අනුස්මරණයට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඊට සමාන යාන්ත්‍රණයක් ගොඩ නගන ලෙසයි.

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ ඇති දණ්ඩ මුක්තිය නිසා පුරවැසියන්ට තිරසර සාමයක් අත්පත් කරගැනීමට නොහැකි බව එහි දී ඇය ප්‍රකාශ කළා ය.

"අපට අවශ්‍ය ඇත්ත දැනගන්න"

"අපට වන්දි කිය කියා සල්ලි ගෙවලා අත පිහදා ගන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. අපට අවශ්‍ය අපේ පවුලේ අයට මොකක්ද වුණේ කියලා දැනගන්න," අතුරුදන් වූ සිය සොහොයුරා වෙනුවෙන් වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට පැමිණ සිටි ජයදීපා ප්‍රකාශ කළා ය.

"අපට අවශ්‍ය යුක්තිය මිසක් සල්ලි නොවෙයි."

මෙලෙස පරීක්ෂණ ප්‍රමාද වීම යුක්තිය යටපත් වීමට හේතුවක් බව ද ඇය අවසාන වශයෙන් පැවසුවා ය.

"මේ සුසාන භූමිවල වළදාලා තියෙන මරණ සිදුවෙලා දැන් කාලයක් ගත වෙලා. අතුරුදන් දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන මවුවරුන් දැන් ඉතාම වයසයි. බොහෝ අය මියගිහින්. එක් කෙනෙක් මිය යනවා කියන්නෙ එක් සාක්ෂියක් මියයනවා කියන එකයි."