ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගණේමුල්ලේ සංජීව ඝාතනය: මරණයට හේතුව ප්‍රකාශයට පත් කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවගේ මරණය වෙඩි තැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශවලට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (පෙබරවාරි 28 වැනිදා) තීන්දු කළාය.
පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ය.
ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළඹුණු බව යි.
මෙම පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න සාක්ෂි ලබා දුන්නාය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දුන් සාක්ෂි දුන් සාක්ෂිකාරිය; "සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ. පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30ට 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචි කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා. පසුගිය 20 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මිය ගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය භාරගත්තා" යනුවෙන් සාක්ෂි දෙමින් සඳහන් කළාය.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ සංජීව කුමාර සමරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් කිරීම වැදගත් බව ද නීතිඥවරු එහිදී පැවසීය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.
ඉන් අනතුරුව නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමටද නියෝග කෙරිණි.