රුසියාව යුක්රේනයට එරෙහිව සටන් කිරීමට දුප්පත් විදේශිකයන් රවටනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ගුර්ප්‍රීත් සිං චව්ලා, බලා සතිෂ් සහ ඔලෙග් බෝල්ඩිරෙව්
- Role, බීබීසී පන්ජාබි, බීබීසී තෙළිඟු සහ බීබීසී රුසියානු සේවය
මොහොමඩ් අස්ෆාන් දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සිට රුසියාව බලා පිටත්ව ගියේ, ඔහුගේ පවුලේ බලාපොරොත්තු සහ සිහින ද පොදි බැඳගෙන ය.
රෙදිපිළි අලෙවිසලක කළමණාකරුවෙකු වූ ඔහු සිතුවේ ඔහු "මිලිටරි සහයකයෙකු" ලෙස රැකියාවේ නිරත වීමට යන බව ය.
මසකට ඉන්දියානු රුපියල් 100,000ක (අමෙරිකානු ඩොලර් 1,207ක්) පමණ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වන යූටියුබ් වීඩියෝවක් ඔහුගේ නෙත ගැටුණේ ය. එපමණක් නොව හය මසකට පසු එරට ස්ථිර පදිංචිය ලැබෙන බවට ද එහි සඳහන් විය.
"එයාව යුක්රේනයත් එක්ක යුද්ධ කරන්න ෆ්‍රන්ට්ලයින් (frontline) යවන්නේ නැහැ. එයා වැඩ කරන්නේ ආර්මි හෙඩ්ක්වාටර්ස්වල හෙල්පර් කෙනෙක් විදිහට," ඔහුගේ සොහොයුරා ඉම්රාන් බීබීසී පන්ජාබි වෙත පැවසීය.
ඔහු පැවසුවේ, තම විදේශ ගමන් බලපත්‍රය භාරයට ගෙන ඇති බවට ත් තමාට සටන් කිරීමට සලස්වා ඇති බවට ත් පැවසීමට අස්ෆාන් යුක්රේන දේශසීමාවේ සිට ඔවුන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ය.
මාස දෙකකට වැඩි කාලයක් පුරා ඉම්රාන්ට තම සහෝදරයා පිළිබඳව කිසිදු ආරංචියක් ලැබී නොමැත. අස්ෆාන් ගැන විමසීමට ඔහු රුසියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය ඇමතූ විට ඔවුන් ඔහුට පැවසුවේ, ඔහු මියගොස් ඇති බව ය.
"මගේ සහෝදරයා මැරිලා නම්, ඔහුගේ දේහය වහා ම මෙහෙට ගෙන්න ඕනි. මගේ පියා සහ ඔහුගේ බිරිඳ, හැම කෙනෙක් ම කනස්සල්ලෙන් ඉන්නේ," ඉම්රාන් පැවසීය.
අස්ෆාන් වයස අවුරුදු දෙකකට ත් අඩු තම දරුවන් දෙදෙනා සහ බිරිඳ තනි කර රුසියාවට ගොස් තිබිණි.
හමුදා "සහයකයින්" ලෙස සේවය කිරීමට අපේක්ෂාවෙන් රුසියාවට ගිය ඉන්දියානු ජාතිකයින්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු මෑතකදී යුද්ධ පෙරමුණේ සටන් කරමින් සිටියදී මිය ගිය බවට ඔවුන්ගේ පවුල්වල වෙත පවසා තිබේ.
එවැනි ම බඳවා ගැනීමක් පිළිබඳව සඳහන් වුණු යූටියුබ් වීඩියෝවක් එම්බ්‍රොයිඩර් ශිල්පියෙකු වූ 23 හැවිරිදි හෙමිල් මංගුකියා දෙසැම්බර් මාසයේදී රුසියාව වෙත යාමට පෙළඹුවේ ය.
"හෙමිල්ට කියලා තිබුණේ එයා හමුදාවේ සහයකයෙක් විදිහට වැඩ කරනවා කියලා සහ මාස තුනක පුහුණුවක් ලබා දෙනවා කියලා," ඔහුගේ පියා අශ්වින් බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට පැවසීය.
"නමුත් රුසියාවට ගියාට පස්සේ තමයි එයාට තේරුම් ගියේ එයාව පුහුණු කළේ සටන් කරන්න කියලා."
'මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්'
රැකියා ලබා දෙන බව පවසා තරුණයින් රුසියාව වෙත ආකර්ෂණය කරගෙන යුක්රේනයේ සටන් කිරීමට බල කෙරෙන "මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්" පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත් බව ඉන්දියාව මෑතකදී නිවේදනය කළේ ය.
මෙම කූටෝපාය යටතේ මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකු පමණ රුසියාවට යවා ඇති බව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කළේ ය.
එරට විදේශ අමාත්‍යංශය පැවසුවේ, ඉන්දියානුවන් මුළා කර යුද්ධ වැදීම සඳහා යෙදවීම සම්බන්ධයෙන් රුසියානු රජය සමග "මහත් ඕනෑකමකින් යුතුව" සාකච්ඡා කර ඇති බව ය.
තමන්ට අත් වී ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව සඳහන් කරන පුද්ගලයින්ගේ වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මෙම මාසයේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණු වීඩියෝවක පුද්ගලයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආපසු සිය රට බලා යාමට ඉන්දියානු රජයෙන් උදව් ඉල්ලා සිටියේ, ඔවුන් සංචාරක වීසා මත රුසියාවට ගිය නමුත් දැන් එහි හමුදාවේ සේවය කිරීමට බල කරන බව පවසමිනි.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගගන්දීප් සිං යනු, මෙලෙස ආයාචනය කළ පුද්ගලයින් අතරින් කෙනෙකි.
ඔහුගේ මව බල්වින්දර් කෝර් සඳහන් කරන පරිදි, ඔහුට රුසියානු හමුදාව වෙනුවෙන් සේවය කරන ලෙස ත් නොඑසේ නම් වසර 10ක සිර දඬුවම් නියම වන බව ත් පවසා තිබේ.
"පුතාගෙන් පණිවිඩයක් හරි කෝල් එකක් හරි එනකම් අපි මහ රෑ වෙනකම් බලන් ඉන්නවා," ඇය බීබීසී පන්ජාබි වෙත පැවසුවා ය. "ඔහු කියනවා යුක්රේන යුද්ධ පෙරමුණට ඔවුන්ව යවනවා කියලා. අපි හැමෝම ගොඩක් හිත් අවුලෙන් ඉන්නේ."
අනෙක් පන්ජාබි පවුල්වල සාමාජිකයින් බීබීසීයට පැවසුවේ, මෙම වංචාවට හසුවීමෙන් පසු තම දරුවන් රුසියාවට යාමට පෙර සංචාරක වීසා මත ඩුබායි වෙත ගොස් හෝ බෙලාරුස් වෙත ගිය බව ය.
ඉහළ වැටුප් ලබා දෙන බවට පොරොන්දු දී නියෝජිත ආයතන විසින් තමන්ව රවටා සටන් බිමට යවන ලද ආකාරය විස්තර කරන පුද්ගලයින්ගේ වීඩියෝ පට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කම්පනයට පත් කර ඇත. ඔවුහු වැඩි වශයෙන් ත්‍රිරෝද රථ රියැදුරන් හෝ තේ විකුණන්නන් ලෙස සේවය කරති.
මාස කිහිපයක හමුදා සේවයෙන් පසු රුසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම ගමන සඳහා නියෝජිත ආයතන ඉන්දියානු රුපියල් ලක්ෂ 3ක් (ඩොලර් 3,621) ඉල්ලා සිටි බවට වින්දිතයෝ සහ පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති.
අවම වශයෙන් විදේශිකයන් 254ක් මිය ගිහින්
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඇස්තමේන්තු කරන්නේ, යුක්රේනයේ යුද්ධය හේතුවෙන් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් නොදැක්වුව ද රුසියාවට සෙබළුන් 350,000ක් අහිමි වී ඇති බව ය.
සෙබළුන් 46,678ක් මිය ගොස් ඇති බව බීබීසී රුසියානු සේවය සත්‍යාපනය කරගෙන තිබේ. රුසියානු සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීම සඳහා වැඩි වශයෙන් විදේශිකයන් වෙත යොමු වන්නේ මන්දැයි මේ අනුව පැහැදිලි වෙයි.
2022 වසරේදී, ආරක්ෂක අමාත්‍යංශය සමග අවම වශයෙන් වසරක කාලයක් සඳහා ගිවිසුමක් අත්සන් කර මාස හයක කාලයක් සටන් කළ විදේශිකයන්ට පදිංචිය සඳහා බලපත්‍රයක් නොමැතිව හෝ වසර පහක කාලයක් රුසියාවේ ජීවත් සිටීමේ අවශ්‍යතාවකින් තොරව රුසියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට අයිතිය ලබා දී තිබිණි.
ජනවාරි මාසයේදී ජනාධිපති පූටින් මෙම ක්‍රියා පටිපාටිය තවදුරටත් සරල කරමින් නව නියෝගයක් සඳහා අත්සන් තැබීය.
බොහෝ විදේශීය සටන්කරුවන් ආර්ථික හේතු මත සංක්‍රමණය වන පුද්ගලයින් වන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මධ්‍යම ආසියානු රටවල්, එනම් මූලික වශයෙන් උස්බෙකිස්තානය, ටජිකිස්තානය සහ කිර්ගිස්තානයෙන් පැමිණෙති.
රුසියාව වෙනුවෙන් සටන් කරන විදේශිකයන් අතරට කියුබාව, නේපාලය, ඉන්දියාව, සිරියාව, ඉරාකය, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව යන රටවල පුරවැසියන් ද ඇතුළත් ය. ඔවුන්ගේ මුළු සංඛ්‍යාව දහස් ගණනක් යැයි ගණන් බලා ඇත.
බීබීසී රුසියානු සේවය විසින් ලබා ගන්නා ලද දත්තවලට අනුව, 2023 දෙසැම්බර් මාසය අවසන් වන විට රුසියානු හමුදාවේ සටන් කළ විදේශිකයන්ගෙන් අවම වශයෙන් 254 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
යුක්රේනයේ සටන් වැදි තම කුලී භටයින්ගෙන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමත් සමග නේපාලය දෙසැම්බර් මාසයේදී එම භටයින් නැවත සිය රට වෙත එවන ලෙසට රුසියාවෙන් ඉල්ලා සිටියේ ය.
සංචාරක වීසා මත රුසියාවට ඇතුළු වීමට ජාවාරම්කරුවන් එක් අයෙකුගෙන් ඩොලර් 9,000ක් අය කර ඇතැයි කත්මණ්ඩු පොලිසිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, GOVERNOR OF MURMANSK/TELEGRAM
වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් රුසියාවේ රඳවා සිටින සංක්‍රමණිකයන් ද අවදානමට ලක්ව ඇති බව බීබීසී රුසියානු සේවය තහවුරු කර ඇත.
පසුගිය නොවැම්බරයේ සංක්‍රමණික නීති කඩ කිරීම සම්බන්ධයෙන් විදේශිකයින් පිරිසක් ෆින්ලන්ත - රුසියානු දේශසීමාවේ රඳවා තබා දින කිහිපයකට පසු, යුක්රේන දේශසීමාවේ පිහිටි හමුදා කඳවුරකට ගෙන යන ලදී.
අවාඩ් (ඔහුගේ සැබෑ නම නොවේ) සෝමාලියාවේ සිට පැමිණි 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
ඔහු නොවැම්බර් මස මැද භාගයේදී අත්අඩංගුවට ගෙන, රූබල් 2,000 (ඩොලර් 22) දඩයක් නියම කරන ලද අතර, වලංගු වීසා බලපත්‍රයක් නොමැති ඕනෑ ම අයෙකු සඳහා සම්මත ක්‍රියා පටිපාටියක් වන පිටුවහල් කිරීම සඳහා රඳවා තබා ගැනිණි.
ඔහු පැවසුවේ, පිටුවහල් කිරීමට පෙර මධ්‍යස්ථානයක රඳවා සිටියදී තමන් ඇතුළු අවම වශයෙන් තවත් රැඳවියන් 12 දෙනෙකු වෙත හමුදා නියෝජිතයන් පැමිණ හමු වූ බව ය.
සියලු දෙනාට "රජයේ රැකියාවක්" පිරිනමන බව පැවසුවේ යැයි ඔහු සඳහන් කළේ ය.
තමන් රවටා රුසියානු හමුදාවේ රැකියාවක් සඳහා තම අත්සන ලබා ගත් බවට අවාඩ් තරයේ විශ්වාස කරයි. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ නිදහසට කරුණු දැක්වීම රඳා පවතින්නේ, ඔහුට පිරිනැමූ රැකියාව සම්බන්ධයෙන් ඔහුට පූර්ණ වශයෙන් අවබෝධ නොවුණේ යැයි යන කරුණ මත ය.
"මම බෑ කිව්වා. මොක ද අත්සන් කළේ මොකට ද කියලා මම දැනගෙන හිටපු නැති නිසා. අනික ඒක ලියලා තිබුණේ මගේ භාෂාවෙන් නෙවෙයි," ඔහු පැවසීය. "මම සරණාගතයෙක් මිස හමුදා භටයෙක් නෙවෙයි."
"හොඳ පඩියක්, රැකවරණයක් සහ පුහුණුවක් එක්ක අවුරුද්දක කොන්ත්‍රාත්තුවක් කියලා අපිට කිව්වේ. නැතුව යුක්‍රේන දේශසීමා සහ යුද්ධයක් ගැන නෙවෙයි. අපිට කියපු හැමදේම බොරු."
ඔවුන් යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට බස් රථයක් මගින් ගෙන ගොස් ඇත. විරෝධතාවකින් පසු ඇතැමුන්ට පැවති තර්ජනය පහව ගියේ ය. අවාඩ් දැන් රුසියාවේ සරණාගතභාවය ඉල්ලා සිටින අතර, අවම වශයෙන් එක් සංක්‍රමණිකයෙකු පමණ එරටින් පිටුවහල් කරනු ලැබ තිබේ.
පිටුවහල් කිරීම සිදුවන තුරු ඔහු තවමත් රැඳවුම් භාරයේ සිටින අතර ඔහුගේ නඩු විභාගය සඳහා මෙතෙක් දින නියම කර නොමැත.
විදෙස් රැඳවියන් නිදහස් කිරීම සඳහා ඔවුන්ට හමුදා රැකියා කොන්ත්‍රාත්තු පිරිනමන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසීමට බීබීසී රුසියානු සේවය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙත යොමු වූ නමුත් ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි.













