රුසියානු විපක්ෂ නායක නවාල්නිගේ මරණය රුසියාවේ වත්මන් තත්ත්වය ගැන අපට කියන්නේ කුමක්ද?

ඇලෙක්සෙයි නවාල්නි යනු, වැඩ වශයෙන් පූටින් ඍජුව විවේචනය කළ අයෙකි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ස්ටීව් රෝසන්බර්ග්
    • Role, රුසියානු සංස්කාරක

අපි සිදුවීම් දකින අතර ඒවා පිළිබඳ වාර්තා කරන්නෙමු. නමුත් 24 පැයේ ප්‍රවෘත්ති කරකැවෙන යුගයේ මාධ්‍යවේදීන්ට මොහොතකට නතර වී, හුස්මක් ගෙන සිදුවී ඇති දේ පිළිබඳ පූර්ණ අවබෝධයක් ගැනීමට බොහෝ විට ඇත්තේ ඉතා සුළු කාලයකි.

2022 පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්රේනය වෙත දියත් කරන ලද මහා පරිමාණ ආක්‍රමණයෙන් පසු උදා වූ පැය කිහිපය තුළ, මම රූපවාහිනිය, ගුවන්විදුලිය සහ බීබීසී පුවත් වෙබ් අඩවිය සඳහා නොනවත්වා ප්‍රවෘත්ති සපයමින් සිටියෙමි.

මාගේ දවසේ අවසන් රූපවාහිනී සජීවී විකාශයෙන් පසු, මොහොතකට නතර වී සිදු වූ දේහි විශාලත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට මට හැකි වූයේ පසු දා අලුයම 2ට පමණ ය. ඇලෙක්සෙයි නවාල්නි සම්බන්ධයෙන් ද එය එසේ විය.

සති දෙකක් තිස්සේ මම ආක්ටික් කලාපයේ පිහිටා ඇති බන්ධනාගරයකදී මිය ගිය රුසියාවේ වඩාත් ම කැපී පෙනෙන විපක්ෂ නායකයාගේ මරණය ගැන වාර්තා කරමින් සිටියෙමි.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහුගේ දේහය ලබා දැනීමට ගත් උත්සහයේදී මුහුණ දුන් ගැටලු ගැන මම කතා කළෙමි; ඔහුට පුෂ්පෝපහාර දක්වමින් සිටි මොස්කව් වැසියන් සමග මම කතා කළෙමි.

සිකුරාදා නවාල්නිගේ දේහය මොස්කව්හි දේවස්ථානයක් වෙත ගෙන යන ආකාරය දෙස මම බලා සිටියෙමි. රුසියානුවන් දහස් ගණනක් ඔහුට ඔවුන්ගේ අවසන් ගෞරව දැක්වීමට පෙළ ගැසී සිටිනු මම දුටුවෙමි.

ඔහුගේ ආධාරකරුවන් අවමංගල්‍ය රථය සුසාන භූමියට යාමට පෙර ඒ වෙත රෝස මල් සහ කානේෂන් මල් පුදනු මම දුටුවෙමි.

නමුත් මා වෙත සිදුවූ සියල්ලෙහි සත්‍ය ස්වරූපය අවබෝධ වූයේ ඔහුගේ දේහය සොහොන් ගැබ තුළ තැන්පත් කරන සංවේදී දර්ශන දුටු අවස්ථාවේදී ය.

නවාල්නිගේ මව ලුඩ්මිලා ඇතුළු රුසියානුවන් බරීසොව් සුසාන භූමියට පැමිණ ඔහුගේ සොහොන වෙත පුෂ්පෝහාර දැක්වීමේ සිට පුෂ්පෝහාර දැක්වීම් නොනවත්වා පැවතිනි.

ඊයේ මා දුටු අසාමාන්‍ය දර්ශන සහ ඒවා අපට කියනා දෙයක් වේ නම්; ඒ වත්මන් රුසියාවේ තත්ත්වය කුමක්දැයි යන්න බව මම සිතුවෙමි.

විරුද්ධ හඬට එරෙහිව ක්‍රියාත්මක වත්මන් මර්දන රැල්ල සලකන විට, ක්‍රෙම්ලිනයේ දැඩි විවේචකයාට සමුදීමට රුසියානුවන් කොපමණ ගණනක් පැමිණෙනු ඇති ද යන්න අපැහැදිලි විය.

නොකැඩී ගලා ආ ජනතාවක් බරීසොව්ස්කෝයි සුසාන භූමියේ ඇති නවාල්නිගේ සොහොනට පුෂ්පෝපහාර දැක්වූහ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නොකැඩී ගලා ආ ජනතාවක් බරීසොව්ස්කෝයි සුසාන භූමියේ ඇති නවාල්නිගේ සොහොනට පුෂ්පෝපහාර දැක්වූහ

පසුගිය දින කිහිපය තුළ රුසියාව පුරා පැවති නවාල්නි අනුස්මරණ උත්සවවලදී සිය ගණනක් මිනිසුන් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබ තිබිණි.

එසේ වුව ද [ඔහුට උපහාර දැක්වීම සඳහා] දහස් ගණනක් ජනතාව පැමිණියහ.

මා දේවස්ථානයෙන් පිටත පෝලිම්වල සිටි තරුණ මෙන් ම මහලු ජනතාව ද සමග කතාබහක යෙදුණු අතර එහිදී ඔවුන් සඳහන් කළේ, නවාල්නි තම රටට වඩා හොඳ, දීප්තිමත් අනාගතයක් ගැන ලබා දී තිබුණු බලාපොරොත්තුව පිළිබඳව ය.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ගැන ඔවුහු කතා කළහ.

දිවංගත රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ මව වන ලියුඩ්මිලා නවාල්නායා මොස්කව් නගරයට නුදුරින් පිහිටි සුසාන භූමියක ඇති තම පුතුගේ සොහොන අසල වැළපෙමින් සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දිවංගත රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ මව වන ලියුඩ්මිලා නවාල්නායා මොස්කව් නගරයට නුදුරින් පිහිටි සුසාන භූමියක ඇති තම පුතුගේ සොහොන අසල වැළපෙමින් සිටින අයුරු

පසුව, "දේශපාලන සිරකරුවන්ට නිදහස් කරනු!" සහ "යුද්ධය එපා!" වැනි යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු වීදිවල නොඇසූ ආකාරයේ සටන් පාඨ එහි සිටි පිරිස් අතරින් නැගෙන්නට විය.

වසර දෙකක් පුරා දකින්නට නොලැබුණු රුසියාවක් දැකීම මා පුදුමයට පත් කළේ ය; එනම්, ව්ලැදිමීර් පූටින්ට හෝ යුක්රේනයේ යුද්ධයට සහය නොදක්වන සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට කැමති රුසියාවක් දැකීම ය.

එය රුසියාව උමතු ලෙස බටහිර විරෝධී, පූටින් ගැති, යුක්රේනයේ "විශේෂ මිලිටරි මෙහෙයුම" වෙත පූර්ණ ලෙස සහය දක්වන සහ රට ඒකාධිපතිවාදය වැළඳ ගැනීමක් පෙන්වන රාජ්‍ය රූපවාහිනියේ පෙන්වන රුසියාවට වඩා හාත්පසින් ම වෙනස් ය.

මට ඉතිරිව ඇති ප්‍රශ්නය මෙයයි: ඊයේ දර්ශන රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නිවී යන ගිනිදැල් ද, එය සම්පූර්ණයෙන් ම නිවී යාමට පෙර ප්‍රකාශනයේ නිදහස සඳහා නැගෙන "ජයග්‍රහණයේ අවසාන හඬ" ද?

මෙහි බලයේ සිටිනවුන් එසේ විශ්වාස කරනවා විය හැකි ය.

අභාවප්‍රාප්ත රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුට ගෞරව දැක්වීමට රුසියානුවන් රැස්ව සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අභාවප්‍රාප්ත රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුට ගෞරව දැක්වීමට රුසියානුවන් රැස්ව සිටින අයුරු

විරුද්ධ මත ඇති පිරිස නිශ්ශබ්ද කිරීමට සහ ඔවුන්ට දඬුවම් කිරීමට සකස් කර ඇති මර්දන නීති අනුගමනය කරමින් ඔවුන් නිසැකව ම එය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ඉහළ පෙළේ විරුද්ධ පාක්ෂිකයින් පිට රටකට පළා ගොස් හෝ, එසේත් නැතිනම් රට තුළ ම සිරගතව පසුවනු ඇත.

නවාල්නිගේ අභාවයත් සමග විපක්ෂයට එහි වඩාත් ම ආකර්ෂණීය නායකයා අහිමි වී ඇත.

සති දෙකකින් එළඹෙන රුසියානු ජනාධිපතිවරණයේදී ජනාධිපති පූටින්ට බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. මන්ද ඔහුගේ දරුණු විවේචකයින් මැතිවරණ වේදිකාවේ දැන් නොමැති බැවිනි.

රුසියානු ජනාධිපතිවරණයේදී ව්ලැදිමීර් පූටින් පස්වන වරටත් බලයට පත් වනු ඇතැයි පුළුල් ලෙස ඉඟි පළ වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජනාධිපතිවරණයේදී ව්ලැදිමීර් පූටින් පස්වන වරටත් බලයට පත් වනු ඇතැයි පුළුල් ලෙස ඉඟි පළ වේ.

"විශිෂ්ට" ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන එයින් පසුව, බලධාරීන් විසින් ජනාධිපති පූටින් සහ ඔහුගේ ප්‍රතිපත්ති අතිශයින් ජනප්‍රිය ලෙස හුවා දක්වනු ඇති අතර ඔහුගේ විවේචකයන් රුසියානු මහ ජනතාවගෙන් ඉතා සුළුතරයක් ලෙස බැහැර කරනු ඇත.

නමුත්,බොහෝ අවස්ථාවලදී ඔහුට ඡන්දය ලබා දෙන රුසියානුවන් මා හා පවසන්නේ, ඔවුන් එසේ කරන්නේ ඔහුගේ ප්‍රතිපත්ති හෝ රුසියාව පිළිබඳ ඔහුගේ දැක්මෙන් ඔවුන් උද්දාමයට පත්ව ඇති නිසා නොවන බව ය. ඒ, සරලව ම, ඔවුන් වෙනත් විකල්පයක් නොදකින නිසා ය.

දේශපාලන වේදිකාවෙන් සියලු ම ප්‍රබල ප්‍රතිවාදීන් ඉවත් කිරීමෙන් ක්‍රෙම්ලිනය සාක්ෂාත් කර ගැනීමට උත්සහ කර ඇත්තේ එය යි.

නවාල්නිගේ අවමංගල්‍ය උත්සවය පැවති දිනයේදී මොස්කව්හි වීදිවල මා දුටු දෙය බෙහෙවින් වෙනස් ය: එය රුසියාව සඳහා විකල්ප දැක්මක් ඇති රුසියානු මහ ජනතාවගෙන් කොටසකට උත්තේජනයක් ලබා දුන් දේශපාලනඥයෙකුට ලැබුණු සැබෑ සහයෝගයක් විය.

නවාල්නි මිය ගොසිනි. නමුත් මෙහි මිනිසුන්ට වෙනස් රුසියාවක් දැකීම උදෙසා වන ඔවුන්ගේ ආශාව ඉතා ප්‍රබල ලෙස ජීවමානව පවතී.