ඇලෙක්සෙයි නවාල්නි: රුසියානු විපක්ෂනායකවරයා බන්ධනාගාරයේදී මිය යයි

පසුගිය දශකය තුළ රුසියාවේ වඩාත් ම සුවිශේෂී විපක්ෂ නායකවරයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නි ආක්ටික් සර්කල්හි පිහිටි බන්ධනාගාරයක් තුළ මිය ගොස් ඇති බව බන්ධනාගාර සේවාව ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පසුගිය දශකය තුළ රුසියාවේ වඩාත් ම සුවිශේෂී විපක්ෂ නායකවරයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නි ආක්ටික් සර්කල්හි පිහිටි බන්ධනාගාරයක් තුළ මිය ගොස් ඇති බව බන්ධනාගාර සේවාව ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ව්ලැදිමීර් පූටින් දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙස සැලකෙන නවාල්නි, දේශපාලනික වශයෙන් අභිප්‍රේරණයක් ලද බවට සැලකෙන වැරදි සම්බන්ධයෙන් වසර 19ක සිර දඬුවමක් විඳිමින් සිටියේ ය.

පසුගිය වසරේ අගභාගයේදී, දුෂ්කර ම බන්ධනාගාරවලින් එකක් ලෙස සැලකෙන ආක්ටික්හි දණ්ඩන ජනපදයක් වෙත ඔහු රැගෙන යන ලදී.

යමාලෝ-නෙනෙට් දිස්ත්‍රික්කයේ බන්ධනාගාර සේවාව ප්‍රකාශ කළේ, සිකුරාදා දිනයේ ඇවිදීමකින් පසු ඔහු "අසනීප තත්ත්වයකින් පසුවූ" බව ය.

බන්ධනාගාර සේවාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, "ඔහු හදිසියේ සිහිසුන් වූ" බව ය. වහා හදිසි වෛද්‍ය කණ්ඩායමක් කැඳවා ඔහුට ප්‍රතිකාර කිරීමට උත්සහ කළ ද එය සාර්ථක නොවූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

"සිරකරු මිය ගිය බව වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කළා. මරණයට හේතුව විමර්ශනය කරමින් සිටිනවා."

නවාල්නිගේ නීතිඥ ලියෝනිඩ් සොලොවියොෆ් රුසියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව ය. කෙසේ වෙතත්, ඇලෙක්සෙයි නවාල්නිගේ සමීපතම සහයකයෙකු X සමාජ මාධ්‍යයේ ලියා තිබුණේ: "රුසියානු බලධාරීන් ඔවුන් විසින් බන්ධනාගාරය තුළදී ඇලෙක්සෙයි නවාල්නි ඝාතනය කළ බවට පාපොච්චාරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය තහවුරු කිරීමට හෝ සත්‍ය නොවන බව ඔප්පු කිරීමට අපට ක්‍රමයක් නොමැත."