ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් රාජපක්ෂ නොලැබුණු බව කියූ විවාහ මංගල්‍යයේ ලක්ෂ 26ක විදුලිබිල සනත් නිශාන්ත ගෙවයි
2019 වසරේදී පැවති මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයේ රුපියල් ලක්ෂ 26කට අධික විදුලිබිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
පසුගිය සමයේ ආන්දෝලනයට ලක්වු මෙම විදුලිබිල සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට පෙර පවසා තිබුණේ, තමාට හෝ තම පියාට මෙවැනි විදුලි බිලක් නොලැබුණු බවය.
ඔක්තෝබර් 2 වැනිදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හමුවීමෙන් පසු, අදාළ බිල පිළිබඳ සොයා බැලීමක් කර එය තම අභිජනනාගාරයට අයත් ගිණුමේ චෙක් පතකින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කළේය.
“එක් පැත්තකින් අපේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා, රට සංවර්ධනය කරපු නායකයා, මහින්ද රාජපක්ෂ මැතිතුමාට වචනයක් අහන්න දෙන්න පුලුවන් කමක් නැහැ.එහෙම වෙන්න පුලුවන් නම් අපි මේ ලෝකේ මිනිස්සු වෙන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා මම එතුමට කිව්වා යම් කිසි ගෙවීමක් කරන්න තියෙනවා නම් මම හොයලා බලලා ගෙවන්නම් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට වචන අහන්න දෙන්න බැරි නිසා තමා මම මේක ගෙවලා අවසන් කළේ.”
‘මම සනත් නිශාන්ත මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා’
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් මෙම විදුලිබිල ගෙවීම සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (සැප්තැම්බර් 3 වැනිදා) පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබීය.
“ඔව්, මගේ ලයිට් බිල කියපු එක ඊයේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා ගෙවලා තිබුණා.නමුත් අද වෙනකම් මට හෝ මගේ පියාට බිලක් ලැබිලා නෑ.මම සනත් නිශාන්ත මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා”
මන්ත්‍රීවරයා පැවසුවේ “විදුලි බිලක් නොලැබුණු මට බිලේ කොපියක් අවශ්‍ය නෑ.මේ බිල ගැන මහා දේශපාලන කාරණයක් කරගත්තු අයට මේ බිල දැන් පැත්තක තියලා. දැන් අලුත් එකක් හොයා ගන්න වෙයි. මේ චැප්ටර් එක් දැන් ඉවරයි.”
සනත් නිශාන්ත මන්ත්‍රීතුමා ගෙවලා තිබෙන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට යවපු බිල”
‘මටවත්, තාත්තිගේ නමටවත් එහෙම බිලක් ඇවිල්ලා නැහැ’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය විවාහ මංගල උත්සවයට අදාළ විදුලි බිලක් මෙතෙක් ගෙවා නැද්ද? මේ ගැන කතා බහක් මතුව ඇත්තේ ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ලබාදී ඇති ලිපියක් ප්‍රසිද්ධ වීමෙන් අනතුරුවය.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මේ ලිපියේ නිරවද්‍යතාව පිළිබඳ නලින් හේවගේගෙන් බීබීසී සිංහල විමසීමක් කළ අතර එය තමන් වෙත ලැබුණු ලිපියක් බව ඔහු තහවුරු කළේය.
කෙසේවෙතත් තමන්ට හෝ තම පියාට එවැනි විදුලි බිලක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් කර නොමැති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසි සිංහල වෙත ප්‍රකාශ කළේය.
මොකද්ද මේ හෙලිදරව්ව...?
2019 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 26 කට අධික විදුලි බිලක් ගෙවීමට ඇති බවට කරුණු හෙළිව ඇතැයි නලීන් හේවගේ පැවසීය.
සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිලක් මෙලෙස ගෙවා නොමැති බවය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නිකුත් කළ ලිපියේ සඳහන් වන්නේ කුමක් ද ?
2019 වර්ෂයේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටියේ නිවසේ පැවැත්වෙන උත්සවයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වන බව දන්වා ඊට ආරක්‍ෂිත පහන් සවි කිරීම සහ විදුලි සැපයුම ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ බව කියන ලිපියේ දැක්වෙයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමන් කළ ඉල්ලීමකට අනුව ලංකා විදුලිබල මණ්ඩලය මේ තොරතුරු ලබා දුන් බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ පැවසීය.
ඒ අනුව එම කාල වකවානුව සඳහා විදුලි ජනන යන්ත්‍ර ලබාදීම සහ විදුලි ආරක්‍ෂිත පහන් සවිකර නැවත ගලවා ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 26,82,246.57ක මුදලක් දැරීමට සිදුවු බව ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කර ඇති ලිපියේ සඳහන් වේ.
එම ඇස්තමේන්තුගත මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත්, එම මුදල මෙතෙක් ගෙවා නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
“ඔය දවස් වල තිබ්බේ නාමල්ගේ මගුල් ගෙදර”
බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේගෙන් කරුණු විමසුවෙමු.
ඔහු සඳහන් කලේ අදාළ කාල සිමාවේ පැවතියේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය බවය.
" ෆේස්බුක් එකට ගියාම තියෙනවා 12 වැනිදා තමයි එයාගේ වෙඩින් එක තිබුණේ. ඒකට කියලා නමින් ඉල්ලා නැහැ. ඕක සතියක් විතර කළානේ එහේ. එයාගේ වෙඩින් එකේ ෆොටෝස් තියෙනවා ඒ දවස්වල ෆේස්බුක් එකේ දාලා.
මම ඕක ගැන මීට මාස 06 කට ඉහතදී පැවති රූපවාහිනී වැඩසටහනක දී සඳහන් කළා. ඒ වෙලාවේ නාමල් මන්ත්‍රීතුමා සජීවී වැඩසටහනට සම්බන්ධ වෙලා ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ තමයි මම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගැන තොරතුරු ඉල්ලා සිටියේ." ඔහු පැවසුවේ ය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මොකද කියන්නේ?
තමන්ට හෝ තම පියාට විදුලි බිලක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් කර නොමැති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසි සිංහල වෙත පැවසුවේය.
" ඔව් මම බැලුවා. අපිට එහෙම බිලක් එවලා නැහැ CEB එකෙන්. මම මගේ ලේකම්වරයා හරහා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දීමක් කළා එහෙම බිලක් තියෙනවා ද ? කාගේ නමට ද තියන්නේ ? කවද්ද අපිට බිල එව්වේ කියලා කියන්න කියලා."
"මටවත්, තාත්තී ගේ නමටවත් අද වෙනකම් එහෙම බිලක් ඇවිල්ලා නැහැ. මොකක්ද ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැන නේ කියන්නේ. එහෙම එකක් හයි කරලත් නැහැ. අපේ එඩ්ඩ්‍රස් එකට හයි කළා නම් බිලක් එවන්න එපැයි. "
“CEB එකෙන් අපි යවන ලිපියට ප්‍රතිචාරයක් ලැබුනට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන බලන්න පුළුවන්.” මන්ත්‍රීවරයා පැවසීය.
"RTI ලියුමේත් මගේ නමක් නැහැ නේ. අනිත් එක මගේ මගුල් ගෙදර කියලත් නැහැ. එහෙම නැතුව කට්ටියට චෝදනා කරන්න බැහැ."
"කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියනවා නේ. " නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ ය.