බැල්කනියෙන් ඇද වැටී මිය ගිය One Direction ගායන තරුව ලියම් පේන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ලියම් පේන්ගේ වෘත්තීය දිවියේ අවස්ථා
    • Author, ඉයන් යංග්ස් සහ බර්න්ඩ් ඩීබස්මන් ජූනියර්
    • Role, බීබීසී පුවත්

One Direction සංගීත කණ්ඩායමේ හිටපු ගායන ශිල්පියෙකු වූ ලියම් පේන් ආර්ජන්ටිනාවේ බුවෙනෝස් අයරීස් නගරයේ හෝටලයක තුන් වන මහලෙන් ඇද වැටී මිය ගිය බව පොලිසිය පවසයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31ක් විය.

ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, ධනවතුන් වාසය කරන පලේර්මෝ ප්‍රදේශයේ සිට ලද හදිසි ඇමතුමක් අනුව ඒ වෙත ගිය කණ්ඩායමක් විසින් ඔහුගේ සිරුර සොයා ගන්නා ලද බව ය.

හැරී ස්ටයිල්ස්, ලුයී ටොම්ලින්සන්, නයිල් හෝරන් සහ සේන් මලික් සමග 2010 වසරේදී X Factor TV වැඩසටහනේදී නිර්මාණය කරන ලද බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ තරුණ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වීමත් සමග ලියම් පේන් ගෝලීය වශයෙන් කීර්තියට පත්විය.

මේ මස මුලදී, පේන් One Direction සංගීත කණ්ඩායමේ ඔහුගේ මිත්‍ර නයිල් හෝරන්ගේ ආර්ජන්ටිනා ප්‍රසංගයට සහභාගී වී තිබිණි.

බුවෙනෝස් අයරීස් පොලිසියට අනුව, [ලියම් මරණයට පත් වූ] ස්ථානය වෙත ගිය නිලධාරීන් මුලදී ප්‍රතිචාර දක්වා තිබුණේ, "ඇතැම් විට මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කිරීම නිසා කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු" පිළිබඳව ලද තොරතුරුවලට ය.

නිලධාරීන් හෝටලයට පැමිණෙන විට ඔවුන්ට පවසා ඇත්තේ, එහි මැද මිදුල පිහිටා ඇති ප්‍රදේශයෙන් විශාල ශබ්දයක් ඇසුණු බව ය. ඉන් කෙටි වේලාවකට පසු ඔවුහු එහි වූ ඔහුගේ මළ සිරුර සොයා ගත්හ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හදිසි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ඇල්බර්ටෝ ක්‍රෙසන්ටි එරට මාධ්‍ය වෙත පැවසුවේ, පේන් "බරපතළ තුවාල" ලබා ඇති බවත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් ය.

පේන් බැල්කනියෙන් ඇද වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීම ක්‍රෙසන්ටි ප්‍රතික්ෂේප කළේ ය.

පේන් සිද්ධියට පැය කිහිපයකට පෙර Snapchatහි පළ කළේ: "[අද] ආර්ජන්ටිනාවේ සුන්දර දවසක්," යනුවෙනි. නමුත් එම වීඩියෝව ඔහු තම පෙම්වතිය වන කේට් කැසිඩි සමග කාලය ගත කළ සතියේ මුල් භාගයේ වීඩියෝවකි.

Liam Payne

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මරණය පිළිබඳ ලද වාර්තා සම්බන්ධයෙන්" ආර්ජන්ටිනාවේ බලධාරීන් සමග සාකච්ඡා කළ බව එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය තහවුරු කළේ ය. නමුත් ඔවුහු වැඩි විස්තර ලබා නොදුන්හ.

ඔහුගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූ පසු, රසිකයින් මරණය සි වූ බුවෙනෝස් අයරීස් හෝටලය අසල එක්රැස් වීමට පටන් ගත් අතර, ඔවුන් ඊට ඇතුළු වීම වැළැක්වීමට පොලිසියට සිදුවිය. ඇතැමෙක් ඔහු සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වූහ.

"මම සාලයේ හිටියේ, මගේ සහෝදරිය ඇවිල්ලා මට කිව්වා ලියම් මැරිලා කියලා," වියොලෙටා ඇන්ටියර් නම් තරුණ රසිකාවියක රොයිටර්ස් පුවත් ඒජන්සියට පැවසීය. "අපිට ඒක අදහා ගන්න බැරි වුණා. අපි මෙතනට ආවේ ඒක හරියට ම තහවුරු කර ගන්න."

සති දෙකකට පෙර නයිල් හෝරන්ගේ ප්‍රසංගයේදී තමා පේන් දුටු බව ඇන්ටියර් පැවසුවා ය.

තවත් කාන්තාවක් ස්පාඤ්ඤ භාෂාවෙන් රොයිටර්ස් පුවත් සේවයට තමන් හෝටලයට පැමිණි හේතුව පැහැදිලි කරමින් හඬා වැටුණා ය: "මේක තමයි මට ඔහුට සමුදෙන්න තියෙන එක ම විදිහ."

One Direction සංගීත කණ්ඩායම What Makes You Beautiful සහ Story of My Life වැනි ජනප්‍රිය ගීත සමග ගෝලීය වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගත් අතර, 2015දී මෙම කණ්ඩායම ඊළඟ වසරේ විරාමයක් ලබා ගන්නා බව නිවේදනය කිරීමෙන් පසු පේන් ද ඔහුගේ ගීත ඔස්සේ සාර්ථකත්වයකට පත්විය.

Fans embrace outside the hotel where Liam Payne, former One Direction member, was found dead, in Buenos Aires

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලියම් පේන් මියගොස් සිටි බුවෙනෝස් අයරීස් හෝටලයෙන් පිටත රසිකයන් රැස්ව සිටි අයුරු

ඔන්ලයින් ඔස්සේ ඔහුට උපහාර ගලා එමින් තිබේ.

තරුණ ගායක කණ්ඩායමක් වන The Wantedහි මැක්ස් ජෝර්ජ් පැවසුවේ, ඔහුට පේන් හමුවූයේ The X Factorහිදී One Direction සංගීත කණ්ඩායම සමග තරග කළ අවස්ථාවේදී බව ය. පේන්ගේ මරණය "අතිශයින් කම්පනයට පත් කරවන්නක්" බව ඔහු පැවසීය.

"පසුගිය වසර කිහිපය තුළ මම ඔහුව පෞද්ගලිකව දැන හඳුනා ගැනීමේත්, ඔහු සමග වටිනා ලෙස කාලය ගත කිරීමේත් සතුට භුක්ති වින්දා," ඔහු ඉන්ස්ටග්‍රෑම්හි සඳහන් කළේ ය.

ජෝර්ජ් පැවසුවේ, සංගීත කණ්ඩායම් සිය සගයා වූ ටොම් පාකර් මොළයේ ගෙඩියක් ඇතිවීමත් සමග රෝගාතුර වූ විට පේන් "පුදුමාකාර" සහයෝගයක් ලබා දුන් බව ය.

පාකර් 2022දී එනම්, වයස අවුරුදු 33 මිය ගිය අවස්ථාවේ, පේන් ඔහු අවමංගල්‍යයට ද සහභාගී විය.

One Direction කණ්ඩායමට පෙර The X Factor සඳහා සහභාගී වූ ගායකයෙකු වන ඔලි මර්ස් පැවසුවේ, "[මට] වචන නැති වුණා," යනුවෙනි.

"ලියම්ට තිබුණෙත් මට තිබුණු පැෂන් එකමයි. එක ම හීන. මේ තරම් තරුණ වයසකදී ඔහුගේ ජීවිතය අවසන් වෙනවා දකින එක හරි ආමාරු දෙයක්. මට ඔහුගේ පවුල සහ ඔහුගේ පුතා බෙයාර්ට තාත්තා කෙනෙක් නැති වෙන එක ගැන මට හරි ම දුකයි වගේ ම ඒක මට ලොකු කම්පනයක්," ඔහු ඉන්ස්ටග්‍රෑම්හි ලිවීය.

වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ඩර්මොට් ඕලියරි ඉන්ස්ටග්‍රෑම්හි පැවසුවේ, ඔහු පේන්ව ආදරයෙන් සිහිපත් කළ බව ය.

"මට මතකයි ඔහු අවුරුදු 14දී X factor ඔඩිෂන් එකට ඇවිල්ලා සිනාට්‍රාගේ ගීත ගායනා කරලා අපිව පුදුමයට පත් කරපු විදිහ," ඔවුන් දෙපළගේ ඡායාරූපයක් පළ කරමින් ඔහු සටහන් කර තිබිණි.

"ඔහු හැම වෙලාවක ම සතුට ගෙනාවා. හැම කෙනෙකු වෙනුවෙන් ම ඔහුට වෙලාව තිබුණා. ආචාරශීලී යි, කෘතඥපූර්වක යි වගේ ම නිහතමානි යි."

"ඔහුගේ පවුලේ සාමාජිකයින්ට [සහ] ආදරණීයයන්ට ශෝකය පළ කරනවා," පැරිස් හිල්ටන් X, මීට පෙර Twitterහි ලිවීය. "RIP මගේ මිතුරා."

මෙම වසරේ අගෝස්තු මාසයේදී, Destiny's Childහි හිටපු ගායිකා කෙලී රෝලන්ඩ් සහ The Pussycat Dolls තාරකාවක වන නිකොල් ෂර්සින්ගර් සමග Netflixහි නව රියැලිටි වැඩසටහනක විනිශ්චයකරුවෙකු ලෙස පේන් කටයුතු කළ බව නිවේදනය කෙරිණි.

එක්සත් රාජධානියේ වොල්වර්හැම්ප්ටන්හි උපත ලද පේන්, 2008 වසරේදී ITVහි දක්ෂතා ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් වන The X Factor වෙත තරුවක් වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි නමුත් විනිසුරු සයිමන් කවෙල් ඔහුට පැවසුවේ, "වසර දෙකකින් ආපසු පැමිණෙන ලෙස" ය.

ඔහු 2010දී විනිසුරුවරුන් විස්මයට පත් කළ අතර, සෙසු තරගකරුවන් සමග එක්ව කණ්ඩායමක් ලෙස තරග කිරීමට අවස්ථාව ලැබෙන අදියරේදී තවත් ඒකල තරගකරුවන් සිව් දෙනෙකු සමග එක්වූ අතර ඒ සමග One Direction සංගීත කණ්ඩයම උපත ලැබීය.

2015දී විරාමයක් ගන්නා බව නිවේදනය කිරීමට පෙර මෙම කණ්ඩායමට එක්සත් රාජධානියේ පළමු තැන හිමි වූ ගීත ඇල්බම හතරක් සහ ගීත හතරක් තිබුණු අතර ම ඔවුන්ගේ ගීත ලොව පුරා ජනප්‍රිය ගීත අතර ඉහළින් ම තිබිණි.

2017දී, පේන්ගේ පළමු ඒකල ගීතය Strip That Down, Official UK Chartහි තුන් වන ස්ථානයට පැමිණි අතර Fifty Shades Freed ගීතයක් වූ ඔහු රීටා ඕරා සමග කළ ගීතය For You ප්‍රථම 10 අතරට පැමිණියේ ය.

ඔහු 2016 වසරේදී Girls Aloud තරුවක් වන ෂෙරිල් ට්වීඩි සමග ප්‍රේම සබඳතාවක් ඇති කර ගත් අතර ඊට පසු වසරේ ඔවුහු බෙයර් නම් පුතෙකු ලැබූහ. මෙම යුවළ 2018 වසරේදී වෙන් විය.

මෙම සතිය මුලදී ඔහුගේ හිටපු තවත් සහකාරියක වන මායා හෙන්රි ඇගේ නීතිඥයින් හරහා මාධ්‍ය වෙත පැවසුවේ, මෙම ගායකයාට එරෙහිව තමන් විසින් සීස් ඇන්ඩ් ඩෙසිස්ට් ලිපියක් නිකුත් කරනු ලැබ ඇති බව ය.

ඔහු දිගින් දිගට ම තමා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන බවට චෝදනා කරමින් ඇය සමාජ මාධ්‍යවල සටහනක් ද තබා තිබිණි. පේන් මෙම චෝදනාවලට ප්‍රතිචාර නොදැක්වීය.