පුද්ගලයින් 40 කට මරු කැඳවූ ස්විට්සර්ලන්තයේ ස්කී රිසෝට්හි ගින්න ගැන මෙතෙක් දන්නා කරුණු

ඡායාරූප මූලාශ්‍රය, MAXIME SCHMID / AFP via Getty Images
- Author, බෙන් ටෝබයස්
ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක ඇති වූ (ස්කී රිසෝට්) ගින්නකින් පුද්ගලයින් 40 ක් මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
ක්‍රාන්ස්-මොන්ටානාහි ලෙ කොන්ස්ටලේෂන් නමැති තානායමක එරට වේලාවෙන් නව අවුරුදු උදාවත් සමග අද (ජන. 1) අලුයම 01:30ට ඇති වූ ගින්නෙන් රටවල් කිහිපයක පුද්ගලයින් කිහිප දෙනෙකු ද අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය.
එය ගිනි ගැනීමක් ලෙස සලකනු ලබන අතර, ප්‍රහාරයක් පිළිබඳ "කිසිදු සැකයක්" නොමැති බව කලාපයේ නීතිපතිවරයා පැවසීය.
මේ, ඒ පිළිබඳව අප මෙතෙක් දන්නා තොරතුරු කිහිපයකි.
පුද්ගලයින් කොපමණ ගණනක් මිය ගියා ද?
බ්‍රහස්පතින්දා උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිසිය පැවසුවේ, ගින්නෙන් "සැලකිය යුතු ගණනක්" මිය ගොස් ඇති බවට අනුමාන කළ නමුත් නිශ්චිත සංඛ්‍යාව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ය.
ස්විට්සර්ලන්ත පොලිසිය උපුටා දක්වමින් ඉතාලි විදේශ අමාත්‍යංශය පැවසුවේ, පුද්ගලයින් 40ක් පමණ මිය ගොස් ඇති බවට විශ්වාස කරන බව ය.
ස්විට්සර්ලන්ත නිලධාරීන් පැවසුවේ, පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, බොහෝ දෙනෙකුට දරුණු පිළිස්සුම් තුවාල සිදුවී ඇති බව ය. බොහෝ දෙනෙකු වැලෙයි (Valais) රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකය දැන් තුවාලකරුවන්ගෙන් පිරී ඇති බව පළාත් පාලන ආයතන පවසයි. අසල්වැසි ඉතාලියේ මිලාන්හි පිළිස්සුම් ඒකකය ද ඔවුන් සඳහා විවෘත කර තිබේ.
හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සහන සේවකයින් 150ක් එම ස්ථානය වෙත යොමු කර ඇත.
ජීවිතක්ෂයට පත් වූවන් හඳුනාගෙන මළ සිරුරු හැකි ඉක්මනින් පවුල් වෙත භාර දීමේ කටයුතු සිදුවන බව කලාපයේ නීතිපති බියට්‍රිස් පිලවුඩ් පැවසීය.
මියගිය අය හඳුනා ගැනීමට සති කිහිපයක් ගත විය හැකි බව ස්විට්සර්ලන්තයේ ඉතාලි තානාපතිවරයා පවසයි. මීට පෙර ඉතාලි විදේශ අමාත්‍යවරයා පැවසුවේ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වනු ඇති බව ය.
රටවල් කිහිපයක පුද්ගලයින් වින්දිතයින් අතර සිටින බවට විශ්වාස කෙරෙන අතර, තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ප්‍රංශ ජාතිකයන් බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ස්විට්සර්ලන්තයට "ප්‍රංශයේ පූර්ණ සහයෝගීතාව සහ සහෝදර සහයෝගය" ප්‍රකාශයට පත් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ එක්සත් රාජධානි තානාපති කාර්යාලය පවසන්නේ, ඔවුන් තත්ත්වය නිරීක්ෂණය කරන නමුත් සහය ලබා ගැනීම සඳහා ඔවුන් සමග සම්බන්ධ වී නොමැති බව ය.
බලපෑමට ලක්වූ ඕනෑ ම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සහය වීම සඳහා කොන්සියුලර් කාර්ය මණ්ඩලය සූදානම්ව සිටින බව විදේශ කාර්යාල නිවේදනයක දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ගින්න ඇති වීමට හේතුව කුමක් ද?
ගින්න ඇති වීමට හේතුව නොදන්නා නමුත් එය දැනට ගිනි ගැනීමක් ලෙස සලකන බවත්, "කිසි ම අවස්ථාවක එය ප්‍රහාරයක් බවට සැකයක් නොමැති" බවත් පිලවුඩ් පැවසුවා ය.
පොලිසිය මුලින් පිපිරීමක් සිදුවී ඇති බව පැවසූ නමුත් පසුව එය ගින්නක් ලෙස හැඳින්වූ අතර එයට හේතුව අනුමාන කිරීමට තවමත් කල් වැඩි බව පවසා තිබේ.
පිපිරීමක් පිළිබඳ වාර්තා පිළිබඳව විමසූ විට, කලාපීය ආරක්ෂක නිලධාරි ස්ටෙෆාන් ගැන්සර් පැවසුවේ, "ගින්න ඇති වීමට හේතුව පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමක් නොව, ගින්නක් වර්ධනය වී, එමගින් පිපිරීමක් සිදුව ප්‍රදේශය පුරා පැතිරී තිබෙනවා," යනුවෙනි.
ප්‍රාදේශීය වාර්තාවල ද අනුමාන කර තිබුණේ ගිනිකෙළිවලින් ගින්න හට ගන්නට ඇති බව ය.
ප්‍රාදේශීය පොලිස් අණදෙන නිලධාරී ෆ්‍රෙඩ්රික් ගිස්ලර් පැවසුවේ, එරට වේලාවෙන් අලුයම 01:30ට පමණ තානායමකින් දුමක් පිටවන බව මුල් වරට දැක ඇති බවත්, එම අවස්ථාවේදී හදිසි සේවා කැඳවූ බවත් ය.
ප්‍රතිචාර දැක්වූ පළමු පොලිස් නිලධාරීන් පිරිස වහා ම එම ස්ථානයට ගොස් තිබූ අතර, පසුව ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ද යෙදවූ බව ගිස්ලර් පැවසීය.
ලෙ කොන්ස්ටලේෂන් (Le Constellation) තානායම ගැන අප දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Police Cantonale Valaisanne
ලෙ කොන්ස්ටලේෂන් යනු, ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි ස්විස් ස්කී රිසෝට්හි වසර ගණනාවක් තිස්සේ පවතින විශාල ප්‍රමාණයේ තානායමකි.
උඩුමහලේ, පාපන්දු තරග නැරඹීමට වෙන්වූ රූපවාහිනී තිර සහිත ස්ථානයක් තිබේ. පහළ මාලයේ විශාල බීම හලකි. එහි පුද්ගලයින් මත්පැන් පානය කරමින් නටමින් සිටියා විය හැකි ය.
එහි පුද්ගලයින් 300 දෙනෙකුට සිටිය හැකි අතර කුඩා ටෙරස් එකක් ද තිබිණි. නමුත් ගින්න ඇති වන අවස්ථාවේ කොපමණ පිරිසක් එහි සිටියා ද යන්න මෙතෙක් නොදනී. නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩු කාලය ඇල්ප්ස් කඳුවැටියේ පිහිටා ඇති මෙම සංචාරක ගමනාන්තවල වසරේ කාර්ය බහුල ම කාලයන්ගෙන් එකක් වන අතර, 2026 වසරේ උදාව සමරන ස්විට්සර්ලන්ත ජාතිකයින්ගෙන් සහ සංචාරකයින්ගෙන් බීම හල පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.














