ස්විස් හමුදාවට බැඳෙන කාන්තාවන්ට 'ස්ත්‍රී යට ඇඳුම්' ඇඳීමට අවසර

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI/GETTY IMAGES
තම රටේ හමුදාවේ සිටින කාන්තා සාමාජිකයන්ට ස්ත්‍රී යට ඇඳුම් ඇඳීම සඳහා අවසර ලබා දීමට ස්විට්සර්ලන්තය පියවර ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ස්විට්සර්ලන්තය පළමු වරට මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ තම හමුදාවට බැඳෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය වර්ධනය කරගැනීමේ උත්සාහයක් වශයෙනි.
දැනට පවතින ක්‍රමය අනුව, හමුදාවට බැඳෙන භටයන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් කට්ටලයට අයත් වන්නේ පිරිමි යට ඇඳුම් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI/GETTY IMAGES
හඳුන්වා දීමට යන අලුත් ක්‍රමය යටතේ, ස්විට්සර්ලන්තයේ හමුදාවට එක්වන නව සාමාජිකාවන්ට ලබා දෙන නිල ඇඳුම සමඟ ග්‍රීෂ්ම සහ ශීතල කාලවලදී ඇඳිය හැකි ස්ත්‍රී යට ඇඳුම් කට්ටල දෙකක් සැපයෙනු ඇත.
මෙම අත්හදා බැලීම ලබන මාසයේ පටන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ස්විට්සර්ලන්ත සන්නද්ධ හමුදා තුළ කාන්තා ප්‍රතිශතය 1%ක් වන අතර වසර 2030 වන විට එය 10% දක්වා වර්ධනය කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
කාන්තාවන්ට වඩාත් ගැලපෙන යට ඇඳුම් ලබා දීමෙන් හමුදාවට අයැදුම් කිරීම සඳහා කාන්තාවන් ධෛර්යමත් කළ හැකි වනු ඇතැයි ස්විස් ජාතික කවුන්සිලයේ මේරියන් බයින්ඩර් පැවසුවාය.
"නිල ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ පිරිමින්ට. නමුත් හමුදාවට වැඩිපුර කාන්තාවන් අවශ්‍ය නම් ඒ සඳහා ගැලපෙන ක්‍රියාමාර්ග ගත යුතුයි." ඇය ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI/getty image
මේ දක්වා හමුදා සාමාජිකාවන්ට තම සිරුරේ ප්‍රමාණයට සරිලන මට්ටමට වඩා මදක් වැඩි ප්‍රමාණයකින් යුත්, ලිහිල් වූ පිරිමි යට ඇඳුම් ලබා දී ඇති බව වාර්තා වන අතර ඒවා ඇඟ ලා සිටීම අපහසු විය හැකිය.
ස්විස් හමුදා ප්‍රකාශක කායි ගුනර් සීවර්ට් කියා සිටියේ හමුදාවට සැපයෙන ඇඳුම් ආයිත්තම් යල් පැනගිය තත්ත්වයකට පැමිණෙමින් ඇති බවය.
කාන්තා භටයන් වෙනුවෙන් සැපයෙන යට ඇඳුම් කට්ටලය ගිම්හාන සෘතුව සඳහා "කොට යට ඇඳුමකින්" සහ ශීත සෘතුව සඳහා "දිග යට ඇඳුමකින්" සමන්විත වනු ඇතැයි හමුදා ප්‍රකාශකවරයා පැවසූ බව ස්විට්සර්ලන්තයේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 'Watson' වාර්තා කර තිබුණි.
ඔහු මේ සතිය මුලදී තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ හමුදා භටයන් වෙනුවෙන් සිදු කෙරෙන අනෙකුත් සැපයුම් පිළිබඳව ද වෙනස් කම් කීපයක් ඇති කිරීමට සලකා බලමින් සිටින අතර ඊට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, FABRICE COFFRINI/getty image
එකී වෙනස්කම් සිදුකිරීමට සලකා බැලෙන දෑ අතර යුද වස්ත්‍ර, ආරක්‍ෂිත බැනියම් සහ උර මලු ද වෙති. ඒවායෙහි ප්‍රමාණයන් මේ දක්වා සීමිත වූ අතර ඉදිරියේදී "ක්‍රියාකාරිත්වය සහ සිරුරට නිසි ප්‍රමාණය" පිළිබඳව අවධානය යොමු කෙරෙන බව ද ඔහු පැවසීය.
මෙම තීරණය පිළිබඳව ස්විට්සර්ලන්තයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ද ප්‍රසාදය පළවී ඇත. ඔහු කියා සිටියේ "ගැලපීම" වැඩි දියුණු විය යුතු බවය.
'Swissinfo' වාර්තා කරන පරිදි, මේ වන විට භාවිත වන ස්විට්සර්ලන්ත හමුදා නිල ඇඳුම හඳුන්වා දී ඇත්තේ 80 දශකයේ මැද භාගයේදී ය.










