හදිසි ගින්නකදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඕනෑම මොහොතක ඇතිවිය හැකි ගිනි ගැනීම් හේතුවෙන් ඔබට හෝ ඔබ සිටින ස්ථානවලට ඉතා විනාශකාරී බලපෑම් එල්ල විය හැකියි.
එවැනි ගිනි ගැනීම් සහ ඒ ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ 2024 වසරේ මේ දක්වා කාල සීමාව තුලදී කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිදුවීම් 273ක් වාර්තාවී ඇති බවයි.
හදිසි ගින්නක් හට ගත් අවස්ථාවකදී අප සිදුකළ යුත්තේ කුමක්ද ? විශේෂයෙන් මහල් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයෙකු මෙවැනි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න කල් තියා දැනුවත්වීම ඉතා වැදගත් ය.
හදිසි ගිනි ගැනීමකදී කළ යුතු දේ
හදිසි ගින්නක් ඇතිවූ විට ඕනෑම පුද්ගලයෙකු සිදුකළ යුත්තේ ඇතිවී තිබෙන තත්ත්වය තේරුම්ගෙන අනවශ්‍ය ලෙස කලබල විමෙන් වැළකී තමන්ට ලබාදී ඇති උපදෙස් අනුව ගොඩනැගිල්ලෙන් ආරක්ෂා සහිතව ඉවත්වීමේ මාර්ගයට ඇතුල්වීම බවබ්‍රිතාන්‍ය ගිනි ඉංජිනේරු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් නාලක ජයරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
''අපි ඕන තරම් දැකලා තියෙනවා ගින්නකදී මිනිස්සු කලබලයට පත්වන අවස්ථාවන් ගැන. එහෙම කලබලවෙලා, බය වෙලා ගොඩක් වෙලාවට බාත්රූම් ඇතුලට ගිහිල්ලා රැඳී ඉන්නවා එතන වතුර තියෙනවනේ කියලා. නමුත් එහෙම ඉන්න අය මියගිය අවස්ථාවන් වාර්තා වෙනවා.''
''වතුර තිබුනට ජිවිත හානි වෙන්නේ ඇතිවෙන ගින්න නිසා හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් නැතුව එහෙමත් නැතනම් දුම ආඝ්‍රණය වීම නිසා. ඒ වගේමයි මේ වගේ අවස්ථාවලදී ගලවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන්න අපහසුවෙනවා.'' ඔහු පැවසුවේය.

අනිවාර්යයෙන් තිබිය යුතු දේවල්
මහල් ගොඩනැගිල්ලක් තුළ අනිවාර්යෙන්ම හදිසි ගිනි ගැනීමක් හටගත් අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය මෙන්ම ඊට අවශ්‍ය උපකරණ තිබිය යුතු බවත්, එවැනි පියවර ගෙන නොමැති ගොඩනැගිලි පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන බවත් නාලක ජයරත්න පැවසුවේය.
'මහල් ගොඩනැගිල්ලක් ගත්තම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ගිනි ආරක්ෂණ පද්ධති කිහිපයක් අඩංගු වෙන්න ඕන. එහෙම නැතුව මහල් ගොඩනැගිල්ලක ජනතාවට රැඳී සිටින්න ඉඩදෙන්නේ නැහැ.''
''විශේෂයෙන්ම මහල් ගොඩනැගිල්ලක තිබිය යුතු ගිනි ගැනීම් වලින් ආරක්ෂාවීමේ ස්ථාන සහ උපකරණ කිහිපයක්ම තියෙනවා. පූර්ව ගිනි අනතුරු සංඥාවන් නිකුත් කිරීමේ පද්ධතියක් වගේම ගිනි නිවීමේ දියර, ගින්නෙන් සහ දුමෙන් ආරක්ෂා විය හැකි කුටි, ගොඩනැගිල්ලේ වෙසෙන පිරිසට ආරක්ෂාකාරී ලෙස ඉවත්ව යන තෙක් එකතුවිය හැකි ස්ථානයක් මේ මහල් ගොඩනැගිල්ලක තිබිය යුතුයි.'' ඔහු පැවසුවේය.

ආරක්ෂිතව පිටවෙන්න ලැබෙන කාලය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිවූ විට ඉන් පිටවීම සඳහා ලැබෙන කාලය ගැන ද මෙහිදී නාලක ජයරත්න පැහැදිළි කළේය.
''මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගත්තොත් ගිනි ගැනීම් හඳුනාගැනීමේ උපකරණ එය හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥාවන් නිකුත් කරනවා. එහෙම නැත්නම් ගින්න දැක්ක කෙනෙක් ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද කරන්න පුළුවන්.''
''එහෙම අනතුරු ඇඟවීම ඇක්ටිව් කරපුවම මහල් ගොඩනැගිලිවල සිටින පුද්ගලයින් ඉවත් කිරීම සිදුකරන්නේ ක්‍රමවේදයකට අනුවයි. ගින්න හටගත් මහල් නිවාසයේ ඉන්න සියලුම දෙනා එකවර ඉවත් කරන්න ගියොත් හදිසි ගලවා ගැනීම් සඳහා භාවිත කරන තරප්පු පේළිය අවහිර වෙන්න පුළුවන්.''
''සාමාන්‍යයෙන් තට්ටු නිවාසයක ගින්නක් ඇතිවුණාම එතනින් ආරක්ෂා සහිතව පිටතට යන්න ලැබෙන කාලය මිනිත්තු 2ක් මිනිත්තු 2යි තත්පර 30ක වගේ කාලයක් තියෙනවා.''
''මේ නිසා ගොඩනැගිල්ලක සිටින පුද්ගලයෙකුට ගිනි ගැනීමක් ගැන අනතුරු අඟවන සංඥාවක් ඇසුණු ගමන් අනිවාර්යෙන්ම ළඟම තියෙන හදිසි පිටවීමේ දොරටුව භාවිත කරලා ඒකේ තියෙන ගිනි ගැනීම් වලින් ආරක්ෂා වෙන කොටස ඔස්සේ හදලා තියෙන තරප්පු පේලිය ඔස්සේ ඉන් පිටවෙන්න කටයුතු කිරීම වැදගත්. අපි මේ වගේ ස්ථානයන්ට කියන්නෙ ප්‍රොටෙක්ටර්ඩ් ෂාෆ්ටර් කියලා. මේ වගේ ස්ථානයකට අවම වශයෙන් පැය 02ක වගේ කාලයක් යනකම් ගින්නෙන් හෝ දුමෙන් කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.'' ඔහු පැවසුවේය.
ආබාධිත පුද්ගලයින් ගැනත් අවධානයෙන් සිටින්න
මහල් ගොඩනැගිලිවල සිටින ඇවිද ගැනීමට අපහසු සහ විවිධ ආබාධ තත්ත්වයේ පසුවන පුද්ගලයින් පිළිබඳව ද විශේෂයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව ද ඔහු මෙහිදී පැවසුවේය.
''සමහර ගොඩනැගිලිවල ඇවිද ගන්න බැරිව සහ හදිසියේ ඉවත් වෙන්න අපහසු මට්ටමේ අයට ආරක්ෂා සහිතව ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරන තෙක් ආරක්ෂා සහිතව රැඳී ඉන්න ස්ථාන නම් කර තිබෙනවා.''
''අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා කාර්යාලයක ඉන්න සේවකයින්ගෙන් සීයයට 10ක පමණ පිරිසක් පුහුණු කරන්න කියලා 'බඩීස්ලා' සහයකයින් හැටියට. එහෙම අය තමයි කාර්යාලයක ඉන්න ඇවිදගන්න අපහසු අය, ඒ වගේම ආබාධිත අය ඉන්නවා නම් ගින්නකදී ගොඩනැගිල්ලෙන් ආරක්ෂා සහිතව පිටතට යන්න උපකාර කරන්නේ.'' ඔහු පැවසුවේය.

'ගින්න ගැන අමතර විස්තර සොයන්න එපා'
මේ අතර ගින්නක් ඇතිවූ විට ඒ පිළිබඳව අමතර විස්තර සෙවීම පසෙකලා ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට කටයුතු කිරීම සිදුකිරිමට වගබලා ගත යුතු බව දබ්‍රිතාන්‍ය ගිනි ඉංජිනේරු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් නාලක ජයරත්න පැවසුවේය.
''වැදගත්ම දේ තමයි මේක ඇත්ත ගින්නක් ද බොරු ගින්නක් ද කියන එක ගැන විස්තර හොයන්නේ නැතිව ළඟම තියෙන ස්ථානයෙන් පිටවෙන්න කටයුතු කරන්න. ඒ වගේමයි මොනම විදිහකටවත් විදුලි සෝපාන පාවිච්චි කරන්න එපා. බොහෝ ගොඩනැගිලිවල තියෙන විදුලි සෝපාන හදිසි ගින්නකදී ස්වයංක්‍රීයව නතර වෙනවා. ඒ වගේම ගිනි ගැනීම් වලදී භාවිතා කරන්න පුළුවන් විශේෂ විදුලි සෝපාන ඇතැම් ගොඩනැගිලිවල තියෙනවා. ඒ වගේ විදුලි සෝපාන වල නම් කර තියෙනවා ඒවා හදිසි ආපදාවලදී භාවිත කරන්න පුළුවන් කියලා.' ඔහු පැවසුවේය.
සේවකයින්ට දැනුවත් කළ යුතු කරුණු
මහල් ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන කාර්යාලවල සේවය කරන පුද්ගලයින්ට ගිනි ගැනීමේදී ආරක්ෂා සහිතව පිටව යා යුතු ස්ථාන ගැන අවබෝධයක් ලබාදීම සහ සෑම වසරකම පුහුණුවීමක් සිදුකිරීම අනිවාර්ය බව ද බ්‍රිතාන්‍ය ගිනි ඉංජිනේරු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් නාලක ජයරත්න පැහැදිලි කළේය.
''මේ වගේ මහල් ගොඩනැගිලිවල සේවය කරන පුද්ගලයෙකු සේවයට බඳවා ගැනීමේදී හඳුන්වාදීමේ වැඩසටහනේදී ගින්නකදී ක්‍රියා කළ යුතු ආකාරය, ගින්නක් දැක්කම ගිනි ගැනීමේ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය, ආරක්‍ෂිත පිටවීම් කොහෙද තියෙන්නේ, ඒ වගේම ගොඩනැගිල්ලෙන් ඉවත්වෙලා රැඳී සිටිය යුතු ස්ථානය කොහෙද තියෙන්නේ කියන එක ගැන දැනුවත් කිරීම අනිවාර්යෙන්ම සිදුකල යුතුයි.''
''ඒ වගේම අවුරුද්දකට වරක් ගිනි ගැනීමට අදාළ පෙරහුරුවන් සිදුකිරීම මහල් ගොඩනැගිලි කළමනාකාරිත්වය විසින් සිදුකළ යුතුයි. අපේ රටේ නැතිවුණත් ලෝකයේ ගොඩක් රටවල් මේ පෙරහුරු සිදුකිරීම නීති මගින් අනිවාර්ය කරලා තියෙනවා.''
''ගිනි නිවීමේ නිලධාරීන්ට ගිනි ගැනීමේ අවස්ථාවන් වලදී මහල් ගොඩනැගිල්ලකදී ළඟා වෙන්න පුළුවන් උපරිම උස ප්‍රමාණය මීටර් 30ක් කියලයි නිර්ණය කරලා තියෙන්නේ. ඒක පහසු කාර්යක් නෙමෙයි.''
''උදාහරණයක් විදිහට ගත්තම සාමාන්‍යයෙන් 25 වෙනි තට්ටුවේ ගින්නක් ඇතිවුණොත් මුලින්ම ඉවත් කරන්නේ ඒ තට්ටුවේ අය; ඒ අය ඉවත් කරලා 26 වෙනි තට්ටුවේ අයව ඉවත් කරනවා. ඒ වගේම ඊට පස්සේ 24 වෙනි තට්ටුවේ ඉන්න පිරිස් ඉවත් කරනවා. ඊට පස්සේ ගින්න පාලනය කරන්න පුළුවන්ද කියලා සොයා බලලයි අනෙක් තට්ටුවල ඉන්න පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන්නේ.' ඔහු පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හදිසියේ ඉවත්වෙන්න බැරි වුනොත් කළ යුත්තේ කුමක්ද ?
ගින්නක් ඇතිවූ අවස්ථාවකදී මහල් ගොඩනැගිල්ලකින් එකවර පිටව යෑමට පුද්ගලයෙකුට නොහැකි වුවහොත් එහිදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී බ්‍රිතාන්‍ය ගිනි ඉංජිනේරු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් නාලක ජයරත්න මෙලෙස එම ක්‍රියාවලිය පිළිබඳ පැහැදිළි කළේය.
''ගින්නක් ඇතිවුණා කියලා එක පාරම ඒක විශාල මට්ටමකට එන්නේ නැහැ. ඒකට අපි කියන්නේ flash over මට්ටම කියලා. ඒ කියන flash over මට්ටමට එනකම් හෝ ගින්නේ ඇතිවන දුම බැරෑරුම් මට්ටමට එන්න මිනිත්තු 03 කට වඩා වැඩි කාලයක් යනවා. මේ කාලය කෙනෙක්ට ප්‍රමාණවත් ආරක්‍ෂිත ස්ථානයකට යන්න. එහෙම ආරක්‍ෂිත ස්ථානයකට යන්න තියෙන මාර්ගය ඇහිරිලා තිබුණොත් දෙවන පියවරක් විදිහට අනෙක් තරප්පු පේලිය භාවිත කරන්න පුළුවන් ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න.''
''නමුත් බැරිම වෙලාවක ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්නේ නැතිව හිටියොත් ඒක ඉතාම බැරෑරුම් වෙනවා ඒ රැඳී ඉන්න පුද්ගලයට. විශේෂයෙන් එහෙම ඉන්න අයව ගිනි නිවීමේ නිලධාරීන් ඇවිත් බේර ගන්නකම් ඉන්න වෙනවා. එහෙම අය හිටියොත් ගිනි නිවීමේ නිලධාරීන් මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා හිරවෙලා ඉන්න අයව බේර ගන්න. මේක ඉතා අවාසනාවන්ත අපහසුතාවයක් එහෙම දෙයක් සිද්ධ වුණොත්.''
''ඒ වගේමයි ගොඩනැගිල්ලෙන් පිටතට ආවම, රැඳී සිටින ස්ථානයට (Assembly Point) ආවම එතැනින් ඉවත් වෙන්න එපා. එතැනදී සාමාන්‍යයෙන් ෆයර් රෙජිස්ටර් එකක් ගන්නවා. සේවකයින් නැවත ගණනය කිරීමක් කරනවා ගොඩනැගිල්ලේ සිටිය පිරිස ආරක්ෂා සහිතව ඉවත්වුණා ද කියලා හරියටම සැකහැර ගන්න දැන ගන්න.'' යනුවෙන් ද ඔහු පැහැදිලි කළේය.













