ඔන්ලයින් සහ ATM ගනුදෙනු: ගනුදෙනුවකදී අය කරන මුදල් බෙදී යන්නේ කොහොම ද?

Sri Lankan Money

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

දෛනිකව මෙරට තුළ පිහිටි ATM යන්ත්‍ර හරහා රුපියල් බිලියන 21.5ක වටිනාකමින් යුත් ගනුදෙනු මිලියන 1.3ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එලෙස සිදුවන ගනුදෙනු අතර එක් බැංකුවකින් වෙනත් බැංකුවක ATM කාඩ් පතක් උපයෝගී කර ගනිමින් දෛනිකව සිදුකරන මුදල් ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 4.6ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

බීබීසී සිංහල සේවය ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත ලබා දීම සිදු කර ඇත.

ඔන්ලයින් සහ ATM ගනුදෙනු: ගනුදෙනුවකදී අය කරන මුදල් බෙදී යන්නේ කොහොම ද?

දෛනිකව ශ්‍රී ලංකාවේ ඔන්ලයින් හරහා ගනුදෙනු ලක්ෂ 06ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එක් ගනුදෙනුවක් සඳහා බැංකුව විසින් පාරිභෝගිකයෙකු ගෙන් රුපියල් 25ක මුදලක් අය කරනු ලැබේ.

මෙලෙස පාරිභෝගිකයින්ගෙන් එක් ගනුදෙනුවක් සඳහා අය කරනු ලබන රුපියල් 25ක ගාස්තුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අය වෙන මුදල කොපමණ දැයි බීබීසී සිංහල සේවය සිදුකළ විමසීමට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

''මෙම ගාස්තුව මුදල් යවන්නාගේ බැංකුව, මුදල් ලබන්නාගේ බැංකුව සහ Lanka Pay සමාගම අතර බෙදී යන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු මුදලක් නොලැබෙන" බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දෛනිකව ශ්‍රී ලංකාවේ ඔන්ලයින් හරහා ගනුදෙනු ලක්ෂ 06ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාස්තු අඩු කරන්නේ නැද්ද?

ඔන්ලයින් ඔස්සේ සිදුකරන එක් ගනුදෙනුවක් සඳහා අය කරන රුපියල් 25ක ගාස්තුව අඩු කිරීමට පියවර ගන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී තිබුණේ මෙවන් පිළිතුරකි.

"ශ්‍රී ලංකාවේ ක්ෂණික ගෙවීම් පද්ධතිය වන විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වන පොදු යාන්ත්‍රණය හරහා බැංකු ගිණුමකින් වෙනත් බැංකු ගිණුමකට මුදල් යැවීමේදී අය කළ උපරිම අගය ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා සිට රුපියල් 30 සිට 25 දක්වා අඩු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කලට පියවීමේ පද්ධති ආශ්‍රිත ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරනු ඇත."

මේ අතර, එක් බැංකුවකින් වෙනත් බැංකුවක ATM කාඩ් පතක් උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන ගනුදෙනුවකදී බැංකුව විසින් රුපියල් 30ක ගාස්තුවක් අය කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දෛනිකව රුපියල් බිලියන 4.6ක් වටිනා ගනුදෙනු සිදුවන බව ය.

'එහෙම කරන්නේ අපේ ම සල්ලි ගන්න ගියා ම'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ව්‍යාපාරිකයෙකු වන භාතිය රණසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, දෛනිකව විශාල ගනුදෙනු සංඛ්‍යාවක් සිදුවන නිසා ඒ හරහා මහ ජනතාවගෙන් අය කරන සේවා ගාස්තු අවම කිරීමෙන් ඔවුන්ට සහනයක් ලබා දිය යුතු බව ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බැංකු ගනුදෙනු සඳහා මහ ජනතාව ගෙවනු ලබන්නේ තමන්ගේ ම මුදල් හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බව ය.

"මගේ ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස්වලට ක්‍රෙඩිට් කාඩ් වගේ ම බෑන්ක් එකේ සේවින්ග්ස් එකවුන්ට්ස් පවා පාවිච්චි කරනවා. එතැනදී අපි ගෙවීම් කරන්න ඕන ආයතනයේ ම වෙබ් සයිට් එකට ගිහිල්ලා පේමන්ට් එක කරනකොට කන්වීනියන්ට් ෆී එකක් එකතු වෙන්නේ නැහැ. එහෙම නැතුව මොබයිල් වොලට් එකකින් අපි සල්ලි ගෙවනකොට ඒ අය රුපියල් 20 ඉඳලා රුපියල් 70 වෙනකම් ගාස්තුවක් අය කරන වෙලාවල් තියෙනවා."

"උදාහරණයක් විදිහට මගේ ම බැංකු ගිණුම තියෙන බැංකුවේ ගිණුමකින් සල්ලි ගන්න ගියා ම ATM එකෙන් මගෙන් රුපියල් 5ක් කැපෙනවා. මම බැංකුවේ කවුන්ටරෙන් සල්ලි ගන්න ගියා ම කියනවා ලක්ෂ 2කට වැඩි නම් විත‍ර යි කවුන්ටරෙන් ගන්න පුළුවන් එහෙම නැත්නම් ATM එකෙන් සල්ලි ගන්න කියලා. එහෙම නැත්නම් ඒක අධෛර්යට පත් කරන්න කවුන්ටරෙන් සල්ලි ගන්න ගියා ම ටිකක් ලොකු ගාණක් අය කරනවා. මෙහෙම කරන්නේ අපේ ම සල්ලි ගන්න ගියා ම."

"හදිසියේවත් මගේ බැංකුවේ නොවන ATM එකකින් සල්ලි ගත්ත ම රුපියල් 30ක් අය කරනවා. ඉතින් මේ වගේ දවසකට ලොකු ගනුදෙනු ගාණක් වෙනව නම් ඒ සිස්ටම් එක කරන්නේ එක ම තැනකින් නම් ඇයි මේ වගේ ලොකු ගාණක් ගන්නේ."

"අපිට හිතන්න පුළුවන් එක පාරක් සල්ලි වෙනත් බැංකුවකට දානකොට රුපියල් 25ක් හරි 30ක් විතර යි කියලා අමතක කරන්න. ඒත් මාසයක් හරි අවුරුද්දක් වගේ ඒ ගියපු ගාණ එකතු කරලා බලද්දී ලොකු ගාණක් අපෙන් කැපිලා ගිහිල්ලා."

"මටත් මේක එච්චර ලොකුවට හිතුණේ නැහැ. හැබැයි බලන් ගියා ම මේ වගේ දේවල්වලින් ලොකු මුදලක් හොයනවා මේ ආයතන. හරියට බැලුවොත් මීට වඩා අඩු ගාස්තුවක් අය කළා නම් ඒක රටේ ජනතාවට ලොකු සහනයක්," ඔහු පැවසුවේ ය.

'ඇයි මේ ගාණ තව අඩු කරන්න බැරි?'

මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පෞද්ගලික අංශයේ සේවිකාවක වන කලාණි ගුණතිලක සඳහන් කර සිටියේ, බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමේදී සහ ඔන්ලයින් ගනුදෙනු කිරීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කළ යුතු බව ය.

"අපි දවසකට අවස්ථා ගොඩකදී බැංකුවලින් මුදල් ගනුදෙනු කරනවා, ට්‍රාන්සර් කරනවා. හැබැයි මේ විදිහට රුපියල් 25ක් රුපියල් 30ක් කියලා අපෙන් අය කරනවා කියන එක අසාධාරණ යි. මම කියන්නේ මේ ගාණ අඩු කරන්න ඕන. දැන් මේ ගාණ වුණත් වැඩි යි. එහෙම නැත්නම් හැම බැංකු ගණුදෙනුවකට ම එක ම විදිහේ ගාස්තුවක් අය කරන්න ඕන," ඇය පැවසීය.

'දියුණු ලෝකයේ බැංකුවල ට්‍රාන්ස්ඇක්ෂන්වලට යන්නේ ඉතා ම සුළු මුදලක්'

දියුණු ලෝකයේ ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා අය කරන ගාස්තුව ඉතා අවම බවත්, මෙරට තුළ ද බැංකු ගාස්තු සඳහා යම් පියවරක් ගත යුතු බවත් 'දිනන දකුණ' සංවිධානයේ ජාතික සංවිධායක නදීෂ ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

"මේ ගැන පැති කිහිපයකින් හිතන්න පුළුවන්. පළවෙනි දේ තමයි මෙතනදී පාරිභෝගිකයා කියන කෙනා වියදම් කරන්නේ තමන්ගේ ම සල්ලි. මගේ මුදල් මම ම වියදම් කරද්දී මේ වගේ මුදලක් අය කිරීම අඩු වෙන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. පවතින ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන් හැමෝම යෝජනා කරන දෙයක් තියෙනවා නේ ඩිජිටල් ආර්ථිකයට යන්න ඕන කියන එක. ඔන්ලයින් බිස්නස් වැඩිදියුණු වෙන්න ඒවාට අත දෙන්න ඕන කියන එක."

"අපි පුළුවන් තරම් බලන්න ඕන දෙයක් තමයි මේ ඔන්ලයින් ගනුදෙනු සඳහා වැය කරන වියදම අවම කරන්න කටයුතු කරන්න හැකිනම් ඒක තමයි කරන්න ඕන. අපි දකින දියුණු ලෝකයේ බැංකුවල ට්‍රාන්සැක්ෂන්ස්වලට යන්නේ ඉතාම සුළු මුදලක්. අපි ඊට සාපේක්ෂව විශාල මුදලක් ගෙවනවා."

"උදාහරණයක් විදිහට රුපියල් 25ක් හරි 30ක් කියලා හිතුවොත් සුළු ව්‍යාපාරිකයෙක් මාසිකව ඒ වගේ ගනුදෙනු 100ක් වත් කරනවා කියලා හිතමු. එයාට රුපියල් 3,000ක් වියදම් වෙනවා. ලෝකය ඉස්සරහට යනවා කියන්නේ අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕන මුදල් නෝට්ටු පාවිච්චි කරන්නේ නැතිව ඉන්න. සිල්ලර ව්‍යාපාරිකයින් පවා උත්සහ කරන්නේ කාඩ් ගෙවීම්වලට යන්න. පේමන්ට් ඔප්ෂන් හැම එකකට ම එක සමාන මුදලක් අය කරන්න ඕන. එතැනට තමයි අපි යන්න ඕන. ඒ තැන වෙනස් වෙන්න ඕන."

"අපි මේ ගැන යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා වගකිව යුතු අංශවලට. මේ ගැන ඉක්මනට සුදුසු තීරණයක් ගන්න එක කාලීන අවශ්‍යතාවක්," ඔහු කියා සිටියේ ය.