ඔබේ පසුම්බියේ ව්‍යාජ නෝට්ටු තිබේ ද?: ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනාගන්නේ කෙසේ ද?

Sri Lankan Money

ඡායාරූප මූලාශ්‍රය, Thilina Kaluthotage/Bloomberg via Getty Images

    • Author, බීබීසී සිංහල

"බැංකුවේ අය මාව දන්න නිසා බේරුණා, නැතිනම් මටත් හිරේ යන්න වෙනවා හොර සල්ලි තියා ගත්තා කියලා," යැයි ව්‍යාපාරිකයෙකු වන චාමර (සැබෑ නම නොවේ) ව්‍යාජ මුදල් නෝට්ටුවක් නිසා මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ගැන එලෙස විස්තර කළේ ය.

"එදා මගේ අතේ රුපියල් ලක්ෂයක් විතර තිබුණා. ඒක එකවුන්ට් එකට දාන්න තමයි මම බැංකුවට ගියේ. මම නිතර ම ගනුදෙනු කරන නිසා මං ගැන බැංකුවේ අය දන්නවා. එදා මම සල්ලි දුන්නාට පස්සේ මැෂිමට දෙපාරක් විතර දාලා බැලුවා. එහෙම බලලා මට කිව්වා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න කියලා. මම හිතුවේ මැෂින් එකේ අවුලක් කියලා."

"ටිකකින් මැනේජර් මට එන්න කියලා කිව්වා, මම දුන්න සල්ලිවල පන්දාහේ කොළයක් තියෙනවා ඒක හොර එකක් කියලා කිව්වා. ඒක අහපුවා ම මාව රත් වෙලා ගියා. මගෙන් විස්තර ඇහුවා ඒක කොහොම ද ලැබුණේ කියලා. මට ඉතින් ඒක මතක තිබුණේ නැහැ. බැංකුවේ අය කිව්වා ඔයාව දන්න නිසා බය වෙන්න එපා කියලා. ඒ අය ඒ නෝට්ටුව විනාශ කරනවා කිව්වා. එහෙම කියලා මගෙන් තව පන්දාහක් ඉල්ල ගත්තා මගෙ එකවුන්ට් එකට සල්ලි දාන්න. එදා ඉඳලා සල්ලි ගනිද්දි මම ගොඩක් පරිස්සම් වෙනවා."

වෙහෙස මහන්සියකින් තොරව ඉක්මනින් දියුණුවීමේ අරමුණ ඇතුව සිදුකරනු ලබන නීතිවිරෝධී කටයුතුවලට ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසීම ද ඇතුළත් වේ. පසුගිය දිනවල ද ව්‍යාජ පන්දාහේ නෝට්ටු ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වී තිබෙනු නිරීක්ෂණය විය.

මුදල් අච්චු ගහන්න බලය තියෙන්නේ කාට ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර ඒ හැර වෙනත් ඕනෑ ම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සංසරණය සඳහා නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් වේ.

1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර ඇති අතර 2010 දී වසරේදී නිකුත් කරන ලද එකොළොස් වන මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව වනුයේ "සංවර්ධනය, සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්" යන්න බව ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇත.

රුපියල් 20, 50, 100, 500, 1000 සහ රුපියල් 5000 දැනට ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු ය.

නෝට්ටුවල ඇති ආරක්ෂණ සලකුණු මොනවා ද?

හිතකර මූල්‍ය පද්ධතියක් සඳහා පදනම සුරක්ෂිත මුදල් වන බැවින් ව්‍යාජ මුදල් නෝට්ටුවලින් අව්‍යාජ මුදල් නෝට්ටු පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටු නිර්මාණයේදී ඒ තුළට ආරක්ෂණ සලකුණු ඇතුළත් කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දිය සලකුණ, ආරක්ෂණ නූල, වැරගැන්වූ කොන්, විනිවිද පෙනෙන සලකුණ, ඉතා කුඩා අක්ෂර, දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ ආදිය ආරක්ෂණ සලකුණු බව මහ බැංකුව පවසයි.

එක් එක් නෝට්ටුවේ මුහුණත දකුණුපස දක්වා ඇති පක්ෂීන්ගේ රූප අදාළ නෝට්ටුවේ "දිය සලකුණ" ලෙස දක්වා ඇත. තව ද නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතට ඉලක්කම්වලින් දක්වා ඇත.

ආරක්ෂණ නූල නෝට්ටුවෙන්, නෝට්ටුවට වෙනස් වන අතර රු. 100, 50 සහ 20 නෝට්ටුවල "CBSL"යන අක්ෂර සහ අදාළ නෝට්ටුවේ වටිනාකම, Rs.100, Rs.50 යනාදී වශයෙන් නෝට්ටුවේ සිරස් අතර ඇතුළත් කර ඇත.

රු. 5000, රු. 1000 සහ රු. 500 යන නෝට්ටුවල පිළිවෙළින් මි.මී. 3, මි.මී. 2.5, මි.මී. 2 යන පළලින් යුතු වූ, රතු සහ කොළ ලෙස වර්ණය වෙනස්වන්නා වූ "ස්ටාර්ක්‍රොම්" ආරක්ෂණ නූල සිරස්ව තැනින් තැන මතු වී පෙනෙන ලෙස යොදා තිබේ.

රු. 100, රු. 50 සහ රු. 20 නෝට්ටුවල යොදා ඇති නූල සම්පූර්ණයෙන් ම නෝට්ටුව තුළට ඇතුළු කර ඇති අතර, එය අඛණ්ඩ රේඛාවක් ලෙස දිස්වේ.

වැර ගැන්වූ කොන් එක් එක් නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් දක්වා ඇත.

නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් කොටස් සමග එක්නෙකට සමපාත වී සම්පූර්ණ ඉලක්කම් සේ දිස්වන අතර එය නෝට්ටුවල "විනිවිද පෙනෙන සලකුණ" ලෙස හඳුන්වයි.

නෝට්ටුවේ සමනල රූපයට පහළ කොටස් දෙස සමීපව බැලුවිට, ඉතා කුඩා ලෙස මුද්‍රිත "CBSL" යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකි අතර එය නිරීක්ෂණ කිරිමෙන් ද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගත හැක.

නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම අනුව වැඩිවෙමින් යන ආකාරයට මුද්‍රණය කර ඇති අතර ඒවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනා ගැනීමට උපකාරි වේ.

නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කිරීමේදී "උස්ව මුද්‍රිත ප්‍රදේශ" හඳුනාගත හැකි අතර ඒ හරහා ද ව්‍යාජ මුදල් නෝට්ටු වෙන කර හඳුනාගත හැකි ය.

ඇසට පෙනෙන ආකාරය සහ අතට දැනෙන වෙනස

ව්‍යාජ මුදල් නෝට්ටුවක් වඩා සුපරික්ෂාකාරී ලෙස පරීක්ෂා නොකරන අවස්ථාවක ඉතා සරල ලෙස හඳුනාගත හැකි ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීය.

ඇසට පෙනෙන ආකාරයෙන් සහ අතට දැනෙන ආකාරයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගත හැකි ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුවේ, ව්‍යවහාර මුදල් දෙපාර්තුමේන්තුවේ, අතිරේක අධිකාරී දිල්හාන් ද සිල්වා පැහැදිලි කළේ ය.

"හොර නෝට්ටු හදන අය ඕක ප්‍රින්ට් කරන්නේ A4 කඩදාසියක ඒ එන වර්ණවලට වඩා ගොඩක් වෙනස් අපි නෝට්ටුව නිෂ්පාදනයේදී ගන්න වර්ණ. ඒවා ගොඩක් තියුණු වර්ණ තියෙන්නේ."

"අතට දැනෙන වෙනස ගත්තොත් කපු මිශ්‍රණයකින් හදන දෙයක් තමයි නෝට්ටුවකට එන්නේ, ඒ දැනෙන වෙනස සහ A4 කොළයක් අල්ලනකොට දැනෙන වෙනස පැහැදිලිව ම වෙනස්."

එසේ ම සෑබෑ මුදල් නෝට්ටුවක මෙන් ව්‍යාජ මුදල් නෝට්ටුවල උස් වූ මුද්‍රණ සඳහන් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලැබුණොත් කළ යුතු දේ

"පරීක්ෂා කරන්න, වළක්වාගන්න, දැනුම් දෙන්න" යනුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පියවර තුන ඔස්සේ මහජනතාව දැනුවත් කරයි.

මුදල් ගනුදෙනුවකදී ව්‍යාජ බවට සැක සහිත නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් එය සැබෑ මුදල් නෝට්ටුවක් යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමග සංසන්දය කර ආරක්ෂණ සලකුණු හොඳින් විමසා බලා ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දෙයි.

එමෙන් ම ව්‍යාජ මුදල් රැගෙන ආ තැනැත්තාගේ බාහිර පෙනුම, වාහනය පිළිබඳ තොරතුරු, එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයකදී ද යන්න වැනි කරුණු පිළිබඳ විස්තර සටහන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි මුදල් ව්‍යාජකරණයේ ප්‍රමුඛ අවධානමක් ඇත්තේ වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු සඳහා ය.

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගෙන ඒවා මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය සමග සමීපව කටයුතු කරනු ලබයි.

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 478 A-D යටතේ සිරගත කිරීමට, දඩයකට ලක්වීමට හෝ එම දඬුවම් දෙකට ම ලක්වීමට හැකි ය.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හෝ ඒවා බෙදාහැරීම පිළිබඳව වැනි විස්තර දන්නේ නම් දුරකතන අංක 0112-422176 හෝ 0112-326670 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට හෝ ළඟ ම ඇති පොලිස් ස්ථානයට දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වයි.

ව්‍යාජ නෝට්ටු සන්තයේ තබා ගැනීමට දඬුවම් ගැන ඔබ දැනුවත් ද?

ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක් ද? එම වරදට අදාළ දඬුවම් මොනවා ද? බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර්ගෙන් විමසා බැලී ය.

"දණ්ඩ නීති සංග්‍රහයේ 468 වගන්තියට අනුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයක ළඟ තබා ගැනීමට විරුද්ධව නඩු දාන්න පුළුවන්. මේකේ දඬුවම රුපියල් 1,500ක දඩයක් හෝ වසර දෙකක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක්."

දණ්ඩ නීති සංග්‍රහයේ 478 වගන්තියට අනුව ව්‍යාජ මුදල් නෝට්ටු දැනුවත්ව සන්තකයේ තබා ගතහොත් මහාධිකරණයේ නඩු පවරා වසර විස්සක් දක්වා සිරගත කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.