ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?

Social Media
    • Author, බීබීසී සිංහල

විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට මෙම බදු අය කිරීම ක්‍රියාත්මක වන බවත්, 18% අගයකින් යුත් එම බද්ද ගෙවිය යුතු ආකාරයත් දැනුම් දෙමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව බදු අය කරනු ලබන සේවා ආදිය පිළිබඳව පැහැදිලි කර ඇත.

බදු අය කරන සේවා මොනවා ද?

ඔක්තෝබර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශයක සිට මෙරටට සපයන පහත දැක්වෙන සේවාවන් සඳහා බදු අය කිරීම සිදුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

i. Cloud Computing: සත්කාරක සේවා, පරිගණක ගබඩා පහසුකම්, පරිගණක බල සේවා.

ii. සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (Saas): වෙබ් පාදක යෙදවුම්

iii. විද්‍යුත් වාණිජ්‍ය සේවා: මාර්ගගත වෙළෙඳසල්, ගෙවීම් ද්වාර සහ ඇණවුම් ඉටු කිරීමේ සේවා

iv. ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය: SEO, Social Media Marketing, PPC Ads සහ email marketing

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

v. සයිබර් ආරක්ෂණ සේවා: තර්ජන හඳුනා ගැනීම, firewall protection සහ data encryption

vi. තොරතුරු තාක්ෂණ සහය සහ කළමනාකරණය කළ සේවා: දූරස්ථ තාක්ෂණික සහය, තොරතුරු තාක්ෂණ උපදේශන සහ උපකාරක සේවා විසඳුම්.

vii. Streaming Services: වීඩියෝ, සංගීතය, සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා.

viii. මූල්‍ය තාක්ෂණය (FinTech): මාර්ගගත බැංකුකරණය, ගෙවීම් සකසනයන් (Paypal, Stripe සහ Cryptocurrency හුවමාරුව)

ix. ඊ - වාණිජ්‍ය වේදිකා (E-commerce platforms)

x. සමාජ මාධ්‍ය (Social Media)

xi. ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On- demand service platforms)

xii. අන්තර්ගතය බෙදාගැනීමේ වේදිකා: (Content Sharing Platforms)

xiii. Cloud Collaboration වේදිකා.

xiv. Marketplace වේදිකා.

xv. සූදු ක්‍රීඩා වේදිකා.

xvi. Blockchain සහ NFT වේදිකා: OpenSea, Binance, Ethereum- පාදක යෙදුම.

xvii. සාමාජිකත්වය සඳහා දායක මුදල් ගෙවනු ලබන වෙබ් අඩවි.

xviii. හෝටල් වෙන්කිරීම්, ටිකට්පත් වෙන්කරවා ගැනීම සඳහා යෙදුම් භාවිතය.

එම නිවේදනයට අනුව ඉහත දැක්වෙන ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවාවන් බදු අය කළ හැකි සැපයුමක් ලෙස සලකන නමුත් ඒවාට පමණක් සීමා නොවන බව සඳහන් කර තිබේ.

එමෙන් ම, යම් සේවාවක් ඉහත ලැයිස්තුගත කර නොමැති වුව ද, ඉලෙක්ට්‍රොනික වේදිකාවන් ඔස්සේ සිදුකරන සේවාවන් නම් ඒවා තවදුරටත් වැට් බද්දට යටත් විය හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඔක්තෝම්බර් මස 01 වනදා සිට මෙම බදු අය කිරීම ක්‍රියාත්මක වන බවත්, 18% අගයකින් යුත් එම බද්ද ගෙවීය යුතු ආකාරය දැනුම් දෙමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලියාපදිංචිය වෙනුවෙන් සපුරාලිය යුතු අවශ්‍යතා

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන පරිදි එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශීය තැනැත්තා බදු ගෙවන්නා හඳුනාගැනීමේ TIN අංකයක් ලබා ගත යුතු ය.

එමෙන් ම, TIN අංකය සහ එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිය ලබා ගැනීම ඊ-සේවාව හරහා සිදුකළ යුතු බව දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ සිටින පාරිභෝගිකයින්ට විද්‍යුත් වේදිකාවක් හරහා සේවා සපයන විදේශීය තැනැත්තෙකු එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතු අතර, එහිදී පසුගිය මාස 12ක කාල සීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60ක් ඉක්මවන හෝ පසුගිය මාස තුනක කාල සීමාව රුපියල් මිලියන 15ක සීමාව ඉක්මවන විදේශීය තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටියි.

බදු අය කළ හැකි කාල සීමාව තුළ ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සිදු කළ සේවා සැපයුම් සඳහා අය කළ එකතු කළ අගය මත බද්ද එම බදු අය කළ හැකි කාලසීමාව අවසන් වීමෙන් පසුව එළඹෙන මාසයේ 22 වන දිනයට පෙර ප්‍රේෂණය කිරීම විදෙස්ගත සේවා සපයන පුද්ගලයාගේ වගකීම ලෙස දක්වා ඇත.

සෑම බදු අය කළ හැකි කාල සීමාවක්ම (කාර්තුමය පදනම) අවසන් වීමෙන් පසු එළඹෙන මාසයේ අවසාන දිනට පෙර විදෙස්ගත තැනැත්තන් විසින් එකතු කළ අගය මත බදු වාර්තා ගොනු කළ යුතු බව සඳහන් කර ඇත.

අන්තර්ජාල සේවාවන් සහ ඊ- වාණිජ වේදිකා සඳහා වැට් බදු අය කිරීමට යටතේ වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'බදු අය වෙන්නේ පාරිභෝගිකයින්ගෙන්'

මේ අතර ඉන්ටර්නෙට් සේවාවන් සඳහා බදු අය කිරීමට රජය ගනු ලැබූ තීරණයෙන් අවසානයේදී අගතියට පත්වන්නේ, පාරිභෝගිකයින් බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වමින් ව්‍යවසායකයෙකු වන නයන රණසිංහ පැවසුවේය.

"සබ්ක්‍රිප්ෂන් බේස් වෙලා සේවාවන් ගන්න ගොඩක් අය ලංකාවේ ඉන්නවා. විශේෂයෙන් Cloud සර්විස් ගන්න අය ලංකාවේ වැඩි. මෙතැනදී සියයට 18ක් බදු අය කරනවා කියන්නේ ඒකෙන් අන්තිමට සේවය ලබාදෙන සමාගම අය කරන්නේ සේවාව ලබා ගන්නා අපි වගේ අයගෙන්. එතකොට එතැනදී සේවාව ලබා ගන්නා අයට යම් ආකාරයක ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා."

"මේකෙන් ඇතිවෙන්න පුළුවන් තත්ත්වය ගැන දැන්ම කෙලින්ම කියන්න බැහැ. නමුත් සාමාන්‍ය ජනතාව විදිහට අපි උපයන හැම රුපියලකටම බදු ගෙවීමක් කරන්න වෙනවා," ඔහු පැවසුවේය.

'බදු අය කිරීම හොඳ ක්‍රියාවක්'

ඉන්ටර්නෙට් සේවාවන් සඳහා බදු පැනවීමට රජය ගනු ලැබූ තීරණය යහපත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

"ලංකාවේ මාර්ගගත ක්‍රමයට සිදුවෙන වෙළෙද ගනුදෙනුවලට අදාළ ප්‍රතිපත්ති සෑදීමක් සිදුවෙලා නැහැ. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම විශේෂයෙන් ආනයනය කිරීම වගේ දේවල් මෑත ඉතිහාසය තුල වර්ධනය වෙන්නේ බොහොමයක් රටවල් මේවා යම් ආකාරයකට අධීක්ෂණය කරලා බදු පැනවීම සිදු කරනවා."

"ලංකාවේ මේ වගේ භාණ්ඩ සහ සේවා සැපයීමවලට ප්‍රතිපත්ති සම්පාදනය වුණේ නැහැ. ඒක දැන් හරි සිද්ධ වෙනවා නම් හොඳ තත්ත්වයක් කියලා මම දකින්නේ. සාමාන්‍යයෙන් රටක් ඉස්සරහට යනකොට මාර්ගගත ක්‍රමයට සිදුවන භාණ්ඩ සහ සේවා වර්ධනය වෙනවා. එතකොට ඒවාට අදාළ ප්‍රතිපත්ති දියුණු වෙන්න ඕන."

"එහි පියවරක් හැටියට තමයි බදු අය කිරීම සිදුකරන්න පුළුවන් වෙන්නේ. මෙහිදී පාරිභෝගිකයාට වගේම ව්‍යාපාරිකයින්ටත් යම් විදිහේ වගකීමකින් යුතුව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම රටක් විදිහට ඉස්සරහට යද්දී කාසි හා නෝට්ටු භාවිතය අවම වෙනවා. මාර්ගගත ක්‍රමයට සපයන සේවා සඳහා බදු පැනවීම ඉතා හොද දෙයක් කියලයි මම දකින්නේ."

"මේ සම්බන්ධයෙන් මහජනතාව වගේ ම ඒ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න අය යම් විරෝධතා දක්වන්න පුළුවන්. නමුත් රටක් විදිහට අපි ඉස්සරහට යනකොට විධිමත් ආර්ථික ක්‍රමයක් යටතේ මේ දේ සිද්ධ කරන්න රජය කටයුතු කරන්න ඕනේ. එතැනදී පාරිභෝගිකයින් වගේම ව්‍යාපාර සිදුකරන අය ද ක්‍රමවත්ව කටයුතු කරන්න අවශ්‍ය යි," ඔහු පැවසුවේය.