IT සේවකයින් රැකියා අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
"මාව අයින් කරපු හේතුව මොකක් ද කියලවත් මම දන්නේ නැහැ... මම මෙච්චර මහන්සි වෙලා, මම කැමැත්තෙන් ම වැඩ කරපු තැන..."
මේ, මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ මහා පරිමාණ තොරතුරු තාක්ෂණ සමාගමක සේවයේ නිරතව සිට සේවක කප්පාදුවකට හසුවූ තරුණියකගේ ප්‍රකාශයකි.
බීබීසී සිංහල සමග සංවාදයට එක් වූ ඇයගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා, අපි ඇය 'මායා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු.
සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි ඇය පමණක් නොව, තවත් සේවකයින් සිය ගණනක් මෙම අවදානමට ගොදුරු වී සිටිති.
කේෂේත්‍රයේ ප්‍රමුඛ නිලධාරීන්ගේ අදහස, මෙය එක් සමාගමකට පමණක් සීමා වූවක් නොව ගෝලීය වශයෙන් නිරීක්ෂණය වන ප්‍රවණතාවක් යන්න ය.
මෙය තම වෘත්තීය ජීවිතයේ ඉදිරිය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව මායා වැනි තරුණ තරුණියෝ පවසති.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුදයක් නිර්මාණය වීමට හේතුව කුමක් ද? එය ගමන් කරමින් තිබෙන්නේ කොතැනට ද? ඊළඟ සේවක කප්පාදුවේ වින්දිතයෙකු නොවීමට නම් ඔබ කළ යුත්තේ කුමක් ද? සේවකයින් සේවයෙන් පහ කිරීමේ නීතිමය තත්ත්වය කුමක් ද? බීබීසී සිංහල මේ පිළිබඳව විමසා බැලීය.
'වන්දි දීලා නිසා හැමෝගෙ ම කටවල් වැහිලා තියෙන්නේ'
මායා මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස රැකියාවේ නිරත වීමට තෝරා ගත්තේ එම ක්ෂේත්‍රය කෙරෙහි ඇය තුළ වූ ආශාව නිසා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ නිසා ම කෙටි කලක් තුළ ඇයට ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක සේවය කිරීමට අවස්ථාව උදාවූවා ය.
"මම අදටත් කියනවා මේක, මම වැඩ කරපු ආයතනවලින් හොඳ ම work-life balance එක තිබුණ තැන. සෑහෙන ප්‍රතිලාභ තිබුණා," ඇය තම සේවා ස්ථානය පිළිබඳව සතුටින් සිහිපත් කළා ය.
නමුත් තමා ප්‍රිය කළ රැකියාව ම, දැන් ඇයගේ ජීවිතයේ ඉදිරිය ගොඩනගා ගැනීමට බාධකයක් බවට පත්ව තිබේ.
"මම මෙතැනට ආවේ වෙන තැන්වල වැඩ කරලා. ආයෙත් මේ වගේ තැනක් නැහැ යන්න. මට දැන් කිසි ම මෝටිවේෂන් එකක් නැහැ, වෙන තැනකට ඇප්ලයි කරන්න," මායා බීබීසී සිංහල වෙත පැවසුවා ය.
මායා පවසන පරිදි ඇය සේවයෙන් ඉවත් කර තිබුණේ පෙර දැනුම් දීමකින් තොරව ය. ඊට පෙර යම් ඉඟි ලැබී තිබුණ ද තමන්ට එම ඉරණම අත්වනු ඇති බව ඇය නොදැන සිටියා ය.
ඒ සඳහා ආයතනය ඇය ලවා ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා ගෙන තිබිණි. අනතුරුව ඒ බව හෙළි නොකරන ලෙසට තවත් ලියවිලි කිහිපයකට ආයතන බලධාරීන් ඇයගෙන් අත්සන් ලබාගෙන තිබිණි.
"බලහත්කාරයෙන් වගේ තමයි එයාලා කරන්න පටන් ගත්තේ," ඇය තම අත්දැකීම බීබීසී සිංහල වෙත විස්තර කළේ දැඩි කම්පනයකිනි.
කෙසේ වෙතත්, ආයතනය තමන් වෙත වන්දි මුදලක් ලබා දෙන බවට එකඟ වූ බව ඇය පැවසුවා ය.
"වන්දියක් දීලා නිසා, හැමෝගේ ම කටවල් වැහිලා තියෙන්නේ. වන්දි දුන්නත් ආමානුෂීය වැඩක්," යැයි ඇය පැවසුවේ සිථිර සේවකයෙකු වූ තමාගේ සේවය අවසන් කිරීමට ආයතනය ගත් තීරණය පසුපස ඇති හේතුව අපැහැදිලි බව ද සඳහන් කරමිනි.
'ඉතා පැහැදිලිව සේවකයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක්'
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරයෙකු වන ඉසුරු මහේෂ් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෙය "ඉතා පැහැදිලිව සේවකයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක්," බව ය.
"ලංකාවේ IT අංශයේ ආයතන කිහිපයක් ඔය වැඩේ කරමින් ඉන්නවා. මමත් සමහර සේවකයින්ගේ නඩුවල වැඩ කරලා තියෙනවා.
"එතන තියෙන ප්‍රධාන දෙයක් තමයි, එයාලා ඒක නීත්‍යනුකූල විදිහට තමයි ඒක කරන්නේ. එතකොට බැලූ බැල්මට, නීතිය ඉස්සරහට ගියත් සේවකයා අසරණ වෙනවා, ඒකට හේතුව එයා ස්වකැමැත්තෙන් ම ලියුමකට අත්සන් කරලා තියෙන නිසා," ඔහු පැහැදිලි කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2 1 (ආ) වගන්තිය යටතේ සේවකයාගේ පූර්ව අනුමැතිය යටතේ එසේ කළ හැකි වුව ද තොරතුරු තාක්ෂණ සමාගම් විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය "නීතිය හිතාමතා ම අපයෝජනය කිරීමක්" බව ය.
"තොරතුරු හෙළි කරන්න එපා කියලා අත්සන් ගන්න ලියවිල්ලත් නීතිය ඉස්සරහ වලංගු වෙන්නේ නෑ. මොකද මේ හෙළි කරන්නේ ආයතනයේ රහස් නෙමෙයි," මායාගේ සිදුවීම ඇසුරින් පැහැදිලි කරමින් ඔහු තවදුරටත් පැවසීය.
නීතිඥ ඉසුරු මහේෂ් සඳහන් කළේ, සේවක කප්පාදුවකදී ආයතනයක් විසින් ලබා දෙනු ලබන වන්දි මුදල ප්‍රමාණවත් ද යන්න සම්බන්ධයෙන් සේවකයින්ට නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාව පවතින බව ය.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පැවතියේ නම්, ආයතන විසින් ගනු ලබන මෙවැනි තීරණවලදී සාමූහික කේවල් කිරීමට ඉඩ ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"වෘත්තීය සමිතියක් නිර්මාණය කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන අයිතියක්. ඒකට විරුද්ධ වෙන්න කාටවත් හැකියාවක් නැහැ. රාජ්‍ය පෞද්ගලික ඕනෑ ම ආයතනයක සේවකයින්ට පුළුවන්කම තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
'ඒක ඇත්තට ම සිද්ධ වෙනවා'
තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ සේවක කප්පාදු සිදුවීම නොරහසක් බව එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sysco Labsහි කළමනාකාර අධ්‍යක්ෂ තුෂෙර කවුඩවත්ත බීබීසී සිංහල සමග කළ සංවාදයකදී පැවසීය.
"ඒක ඇත්තට මට සිද්ධ වෙනවා," යැයි ඔහු පැවසුවේ ඊට හේතුව ද පැහැදිලි කරමිනි.
"අපේ කට්ටියගේ අඩප්ටබිලිටි එක පොඩ්ඩක් අඩුයි. අපේ කුසලතා විවිධාංගීකරණය කර ගන්න වග එම අපේ කුසලතා පුළුල් කර ගැනීම ගැන අපි වැඩිය අවධානය යොමු කරන්නේ නැහැ," ඔහු පෙන්වා දුන්නේ ය.
සේවාලාභීන්ගේ අවශ්‍යතා මෙන් ම තාක්ෂණයේ සිදුවන වෙනස්කම් අනුව, ආයතන ද වෙනස් වීමට තීරණය කිරීමේදී ඔවුන් ස්වයංක්‍රීයකරණය කළ හැකි රැකියා පළමුව ඉවත් කරන බවත් එය පහසු ම තැනින් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.
"ආයතන ඒ වෙනස කරද්දී ඔවුන්ට අවශ්‍ය වෙනවා සේවකයෝ නව තාක්ෂණය වැළඳ ගන්න. අපි හිතමු එයාලා AI පාදක කරගත් ඩිජිටල් පරිවර්තන විසඳුම්වලට මාරු වෙනවා කියලා... එතකොට එයාලා කියනවා, හරි ඔයාලගේ ස්කිල් එක මේක, ඔයාට ඒක අප්ග්‍රේඩ් කර ගන්න පුළුවන් ද කියලා."
එවැනි අවස්ථාවලදී සේවකයින් තරමක් පසුගාමී වන බව ඔහු පෙන්වා දුන්නේ ය.
"කෙලින් ම කියන්නේ නැහැ මට කරන්න බැහැ කියලා. නමුත් ඔවුන් ඇත්තට ම ඒක අභියෝගයක් කරගෙන තමන්ව වෙනස් කරගන්නේ නැහැ. එතකොට වෙන්නේ අර ඔටෝමේට් කරන්න පුළුවන් රැකියා ටික හෙමින් අඩු වෙනවා."
මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ මහාචාර්ය ගිහාන් ඩයස් ඊට සමාන අදහසක් පළ කරමින් බීබීසී සිංහල වෙත පැවසුවේ, නව තාක්ෂණය පිළිබඳ දැනුම ඇති පුද්ගලයින්ට මෙය ගැටලුවක් නොවන බව ය.
"18 වන සියවසේ වුණත් යාන්ත්‍රිකකරණය හින්දා මිනිස්සුන්ගේ රැකියා නැති වුණා... IT සෙක්ටර් එකේ හුඟක් අයටත් දැන් බයක් ඇවිල්ලා තියෙනවා, මට ජොබ් එකක් නැති වේවි ද කියලා. කෘත්‍රිම බුද්ධිය නිසා මගේ රැකියාව පරිගණකයකින් ම කෙරේවි ද කියලා. මේක ඇත්තට ම සාධාරණ බයක්," ඔහු පැවසීය.
'අපේ හොඳ ම නායකත්වය ලංකාවෙන් ගියා'
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටි ප්‍රමුඛයින් රට හැර ගිය බව Sysco Labsහි කළමනාකාර අධ්‍යක්ෂ තුෂෙර කවුඩවත්ත සඳහන් කළේ ය.
එය වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ලබීමට තිබුණු අවස්ථා අහිමි කළ බව ඔහුගේ අදහසයි.
"එතකොට ලංකාවේ ආයතනවල නායකත්ව තනතුරුවල පරතරයක් නිර්මාණය වුණා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඉන්න අයට හැකියාවක් නැහැ කියලා. සමහර විට එයාලා ඒ තනතුරු භාර ගන්න තරම් පරිණත නැතුව ඇති. එහෙම නැත්නම් ඒ තනතුරට එන්න තරම් පුහුණුවක් නැතුව ඇති," ඔහු තම අත්දැකීම් ඇසුරින් පැහැදිලි කළේ ය.
ඒත් සමග ආයතනවලට තම ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කිරීමට නොහැකි වූ බව ඔහු පැවසීය.
බොහෝ ආයතන ශ්‍රී ලංකාව වෙත යොමු වන්නේ අඩු වියදමකින් ශ්‍රමය ලබා ගැනීමට නමුත් කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් දැන් ඔවුන්ගේ එම අවශ්‍යතාව වෙනස් වී ඇති බව මහාචාර්ය ගිහාන් ඩයස් පෙන්වා දුන්නේ ය.
AI හේතුවක් ද?
"දැන් හරි ම සරල දේවල් කරනවා නම්, ඒවා අපිට පුළුවන් කෘත්‍රිම බුද්ධිය හරහා කරන්න. ඒ වුණාට වඩා සංකීර්ණ දේවල් තියෙනවා නම් ඒවා තාම කරන්න බැහැ. සමහර වෙලාවට තව අවුරුදු කිහිපයක් යනකොට ඒවත් කෘත්‍රිම බුද්ධියෙන් කෙරෙන්න පුළුවන්," මහාචාර්ය ගිහාන් ඩයස් පැවසීය.
නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීමට කෘත්‍රිම බුද්ධිය සත්‍ය වශයෙන් ම බලපා තිබේ ද?
මායා බීබීසී සිංහල වෙත පැවසූ පරිදි, කෘත්‍රිම බුද්ධිය තම රැකියාව අහිමි වීමට බලපෑවේ ද යන සැකය ඇය තුළ විය.
නමුත් තුෂෙර කවුඩවත්ත පවසන පරිදි රැකියා කප්පාදුව පසුපස ඇති "සැබෑ හේතුව" එය නොවෙයි.
ඔහු පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය මහා පරිමාණ සමාගම්වලට ඔවුන්ට අවශ්‍ය නොවන පුද්ගලයින් සේවයෙන් පහ කිරීමට නිදහසට කරුණක් බවට පත්ව ඇති බව ය.
කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය නිසා බලපෑමට ලක්වන රැකියා පවතින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"ඇත්තට ම අපි කෘත්‍රිම බුද්ධියට ආයෝජනය කරනවා නේ. එතකොට ඒකෙන් යම් ප්‍රතිලාභයක් එන්නේ, වැඩකට දරන උත්සහය අඩු කරන එකෙන් නේ. පැහැදිලිව ම සමහර රැකියා තියෙනවා – හැම රැකියාවක් ම නෙවෙයි. සමහර රැකියාවල අවශ්‍යතාව නැති වෙලා තියෙනවා," තුෂෙර කවුඩවත්ත පැහැදිලි කළේ ය.
"ඒකෙන් එයාලට වාසි දෙකක් එනවා. එකක් තමයි, ඔව් මේ පද්ධතිය පිරිසිදු වෙනවා. දෙවනුව ඔවුන් ජනතාවට පණිවිඩයක් දෙනවා අපි දැන් AI පාවිච්චි කරන ආයතනයක් වගේ කියන එක."
මහාචාර්ය ගිහාන් ඩයස් පෙන්වා දුන්නේ, "යාන්ත්‍රිකකරණය" හේතුවෙන් කෙනෙකුගේ රැකියා අහිමි වුව ද වෙනත් රැකියා අවස්ථා නිර්මාණය වන බව ය.
විසඳුම කුමක් ද?
අද පමණක් නොව අනාගතය දෙස ද බලා තීරණ ගැනීම රැකියා සුරක්ෂිතභාවය ඇති කරන බව මහාචාර්ය ගිහාන් ඩයස් පැවසීය.
"අපි බලන්න ඕනේ මේක අද විතරක් නෙවෙයි, තව අවුරුදු දෙකකින්, තුනකින්, පහකින් මොන වගේ තත්ත්වයකට පත් වෙයි ද, ඒ තාක්ෂණය මොන විදිහට හැරෙයි ද හැරෙන පැත්තට අපි නැඹුරු වෙලා තියෙනවා ද කියලා.
"ඒ වගේ ම අපිට පුළුවන් ද අලුත් තාක්ෂණය යොදවලා අපේ වැඩේ කර ගන්න? එහෙම හිතන කට්ටියට මම හිතන්නේ ප්‍රශ්නයක් වේවි කියලා," ඔහු පැහැදිලි කළේ ය.
තුෂෙර කවුඩවත්ත ද ඊට සමාන අදහසක් පළ කළ අතර ඔහු පෙන්වා දුන්නේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තව තවත් දියුණු වන අතර ඊට සමගාමීව රැකියා සඳහා පවතින ඉල්ලුම ද ඉහළ යන බව ය.
"ඒ වැඩි වෙන්නේ දැන් තියෙන ස්කිල්ස්වලට නෙවෙයි. ඒ නිසා අන්න ඒ වෙනස අපි ඇති කර ගන්න ඕනේ දැන් ම ඉඳලා ම," ඔහු පැහැදිලි කළේ ය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවන පුළුල් වීම හේතුවෙන් Cyber Security සහ Data Engineering වැනි අංශවල රැකියා සඳහා පවතින ඉල්ලුම ද ඉදිරියේදී ඉහළ යනු ඇති බව ඔහු පැවසීය.
එමෙන් ම, ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අංශය තවමත් ඩිජිටල්කරණය නොවී ඇති පසුබිමක දැනට පවතින සේවක ධාරිතාව ඒ සඳහා ප්‍රමාණවත් නොවනු ඇති බව ඔහුගේ අදහසයි.
"ලංකාවේ අපි ගමු හැම රාජ්‍ය ආයතන... රෝහල්, පාසල්... ඒවා තවමත් ඩිජිටල්කරණය වෙලා නැහැ. ඒවා ඩිජිටල්කරණය කරන්න නම්, දැවැන්ත ශ්‍රම බළකායක් අවශ්‍යයි. ඒ දිහා බැලුවොත් අපිට ධාරිතාව මදි."
බීබීසී සිංහල සමග සංවාදය අවසන් කරමින් තුෂෙර කවුඩවත්ත පැසුවේ, "දැනට තියෙන ගැටලුව උඩ, තීරණයක් අරගෙන අපි කිව්වොත්, නෑ IT නෙවෙයි පාර කියලා, ඒක වැරදි තීරණයක්. මොක ද ITවලට තියෙන ඉල්ලුම, දිගට ම වැඩි වෙනවා."
එසේ වුව ද තමන් ඉදිරියේ ඇති අභියෝග භාර ගැනීමේ සූදානමින් පසුවන මායා වැනි තරුණ තරුණියන් පවසන්නේ, "අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම" වෙනුවට වඩාත් "යුක්තිසහගත" තීරණයක් ආයතනවලට ඔවුන් වෙනුවෙන් ගැනීමට ඕනෑ තරම් අවස්ථාව පැවති බව ය.














