ව්‍යාජ ප්‍රධානීන්, ව්‍යාජ කාර්යාල සහ ඇත්ත මුදල්: 'වැඩ කරන බව බොරුවට මවාපාන' චීන සමාගම්

- Author, සිල්වියා චෑං
- Role, බීබීසී චීන සේවය, හොංකොං
වැටුප් නොලබා වැඩ කිරීමට කිසිවෙකුට අවශ්‍ය නැත, වඩාත් නරක ම දෙයක් වන්නේ වැඩ කිරීම සඳහා සිය ප්‍රධානීන්ට මුදල් ගෙවීමට සිදුවීම ය.
චීනයේ තරුණයින් අතර විරැකියාව ඉහළ යාමත් සමග, තරුණයින් 'ව්‍යාජ කාර්යාලවලට' ගොස් වැඩ කරන බව පෙන්වීම සඳහා සමාගම්වලට මුදල් ගෙවති. මෙය ඵලදායීතාව ව්‍යාජ ලෙස පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා පමණක් පවත්වාගෙන යන සමාගම් සංඛ්‍යාව ඉහළ යාමකට හේතු වී තිබේ.
චීනයේ ආර්ථිකය සහ රැකියා වෙළෙඳපොළ මන්දගාමී වන විට, සැබෑ රැකියා සොයා ගැනීම දුෂ්කර ය. ඇතැම්හු කිසිවක් නොකර නිවසේ රැඳී සිටීමට වඩා මුදල් වැය කර ව්‍යාජ කාර්යාලයක වැඩ කිරීමට කැමැත්තක් දක්වති.
30 හැවිරිදි ෂුයි ෂෞට පසුගිය වසරේ බංකොලොත් වූ ආහාර ව්‍යාපාරයක් තිබිණි. අප්‍රේල් මාසයේදී, හොංකොං ඩොන්ග්ගුවාන්හි Pretend To Work (වැඩ කරන බව ඇඟවීම) නමැති සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ කාර්යාලයක් භාවිත කිරීම සඳහා ඔහු දිනකට යුවාන් 30ක් (ඩොලර් 4.20) ගෙවීමට පටන් ගත්තේ ය.
එහිදී ඔහු එවැනි ම කාර්යයක නිරත වන "සගයන්" පස් දෙනෙකු සමග එක්විය.
"මට ගොඩක් සතුටුයි, අපි කණ්ඩායමක් ලෙස එකට වැඩ කරනවා වගේ දැනෙනවා," ෂෞ පවසයි.
මෙම ව්‍යාජ කාර්යාල දැන් චීනය පුරා ෂෙන්සෙන්, ෂැංහයි, නැන්ජිං, වුහාන්, චෙන්ග්ඩු සහ කුන්මිං වැනි විශාල නගරවල දක්නට ලැබේ. බොහෝවිට ඒවා පරිගණක, අන්තර්ජාල පහසුකම්, රැස්වීම් කාමර සහ තේ පානය කිරීම සඳහා වන විවේක ගැනීමේ කාමර සහිත සැබෑ කාර්යාල මෙන් දක්නට ලැබේ.
එම කාර්යාලවල නිකරුණේ වාඩි වී සිටීම වෙනුවට, රැකියා සෙවීමට හෝ තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට මිනිසුන්ට පරිගණක භාවිත කළ හැකි ය. ඇතැම් විට සාමාන්‍යයෙන් යුවාන් 30ත් 50ත් අතර දෛනික ගාස්තුවට, දිවා ආහාරය, සුළු ආහාර සහ පාන වර්ග ඇතුළත් වේ.
චීනයේ තරුණ විරැකියාව 14%ට වඩා වැඩි බැවින් මෙම ව්‍යාජ කාර්යාල ජනප්‍රිය වී තිබේ. හොඳින් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල උපාධිධාරීහු පවා රැකියා සොයා ගැනීමේ අපහසුතාවට පත්ව සිටිති.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙම වසරේ වාර්තාගත විශ්වවිද්‍යාල උපාධිධාරීන් මිලියන 12.22ක් රැකියා වෙළෙඳපොළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නවසීලන්තයේ, වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ක්‍රිස්ටියන් යාඕ, චීන ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙකි.
"වැඩ කරන බව මවාපෑම දැන් ඉතා සුලභව සිද්ධ වෙනවා. ආර්ථිකයේ සිදුවන වෙනස්කම් සහ අධ්‍යාපනය රැකියාවලට නොගැලපෙන නිසා, තරුණයින් ඔවුන්ගේ ඊළඟ පියවර සැලසුම් කිරීමට හෝ තාවකාලික රැකියා කිරීමට මෙම ස්ථාන භාවිත කරනවා."
"මවාපෑමේ කාර්යාල සහිත සමාගම් මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්."
Xiaohongshu සමාජ මාධ්‍ය වෙබ් අඩවිය පරිශීලනය කරන අතරතුර ෂෞට Pretend To Work වර්ගයේ සමාගමක් හමු විය. කාර්යාලයීය පරිසරය ඔහුගේ ස්වයං විනය වැඩිදියුණු කරනු ඇතැයි ඔහුට හැඟුණු බව ඔහු පවසයි. ඔහු මේ වන විට මාස තුනකට වැඩි කාලයක් එහි ගත කරයි.
ෂෞ මෙම ව්‍යාජ කාර්යාලයේ ඡායාරූප ඔහුගේ දෙමාපියන්ට යැවූ අතර, දැන් තමන්ට රැකියාවක් නොමැතිකම ගැන විශාල පීඩනයක් නැතැයි ඔහු පවසයි.
එම කාර්යාලයට පැමිණෙන්නන් සඳහා දිනයේ ඕනෑ ම වේලාවක එහි ඇතුළු වීමට සහ පිටව යාමට හැකි වුව ද, ෂෞ සාමාන්‍යයෙන් උදේ 8 සිට 9 දක්වා අතර කාලයේදී කාර්යාලයට පැමිණේ. ඇතැම් විට රාත්‍රී 11 වන තෙක් ඔහු ඉන් පිටව නොයන අතර, ආයතනයේ කළමනාකරු පිටව ගිය පසු ඔහු ඉන් පිටත් වේ.
ඔහු තවදුරටත් පැවසුවේ, කාර්යාලයේ සිටින පිරිස දැන් ඔහුගේ මිතුරන් බව ය. රැකියා සෙවීම වැනි කාර්ය බහුල අවස්ථාවලදී, ඔවුන් වෙහෙස වී වැඩ කරන බවත්, විවේකයක් ඇති විට ඔවුන් කතාබස් කරන බවත්, විහිළු කරන බවත්, ක්‍රීඩා කරන බවත් ඔහු පවසයි. රැකියාවෙන් පසු ඔවුන් බොහෝ විට එකට රාත්‍රී ආහාරය ගන්නා බව ද ඔහු පවසයි.
එහිදී කණ්ඩායම් හැඟීමක් දැනෙන බවත්, එම කාර්යාලයට සම්බන්ධ වූ දා සිට තමා බොහෝ සතුටින් සිටින බවත් ෂෞ පවසයි.
ෂැංහයිහි, 23 හැවිරිදි ෂියාඕවන් ටැං මෙම වසර මුලදී මාසයක කාලයකට ව්‍යාජ රැකියා කරන බව පෙන්වන සමාගමක සේවා ස්ථානයක් කුලියට ගත්තා ය. ඇය පසුගිය වසරේ උපාධිය ලබා ගත් අතර තවමත් පූර්ණ කාලීන රැකියාවක් සොයාගෙන නොමැත.
සිසුන් උපාධිය ලබා වසරක් ඇතුළත රැකියා ගිවිසුමක් අත්සන් කළ යුතු බවට හෝ සීමාවාසික පුහුණුව පිළිබඳ සාක්ෂි සැපයිය යුතු බවට ඇගේ විශ්වවිද්‍යාලයේ නොනිල නීතියක් තිබේ. එසේ නොමැතිනම් ඔවුන්ට ඩිප්ලෝමා සහතිකය නොලැබෙනු ඇත.
ඇය සීමාවාසික පුහුණුවක් පිළිබඳ සාක්ෂියක් ලෙස කාර්යාලයේ ඡායාරූප ඇගේ විශ්වවිද්‍යාලයට යොමු කළා ය. වර්තමානයේදී, ඇය දෛනික ගාස්තුව ගෙවා අමතර මුදලක් උපයා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයට නවකතා ලියමින් එහි කාලය ගත කරයි.
"ඔබ බොරුවක් කරන්න යනවා නම්, අවසානය දක්වා ම ඒකට සම්පූර්ණයෙන් ම කැපවෙන්න වෙනවා," ටැං පවසයි.
සමාජ මානව විද්‍යාව පිළිබඳ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ආචාර්ය බියාඕ ෂියැං පවසන්නේ, රැකියා නොමැතිකම නිසා කලකිරීමට හා දුබලත්වයට පත්ව සිටින තරුණ තරුණියන් වැඩ කරන බව මවාපෑමේ ප්‍රවණතාවට හසුවී සිටින බව ය.
"වැඩ කරන බව මවාපෑම යනු තරුණයින් තමන්ට ම සොයා ගන්නා ආවරණයක්, එය ප්‍රධාන ධාරාවේ සමාජයෙන් සුළු දූරස්ථභාවයක් නිර්මාණය කර තමන්ට ම කුඩා ඉඩක් ලබා ගැනීමක්," ඔහු පවසයි.
ඩොන්ග්ගුවාන්හි Pretend To Work සමාගමේ හිමිකරු වන 30 හැවිරිදි ෆෙයියු (ව්‍යාජ නමක්), පවසන්නේ, "මම කරන්නේ රැකියා ස්ථාන විකුණන එක විතරක් නෙවෙයි, වැඩකට නැති මිනිහෙක් විදිහට මානසිකව කඩා වැටුණු පුද්ගලයෙකුට ආත්ම අභිමානයක් ලබා දෙන එකත් මේකෙන් සිද්ධ වෙනවා."
කොවිඩ් වසංගතය අතරතුර ඔහුගේ සිල්ලර ව්‍යාපාරය වසා දැමීමෙන් පසු ඔහු රැකියා විරහිතව සිටියේ ය. "මට ගොඩක් මානසික අවපීඩනයක් සහ බලාපොරොත්තු රහිත බවක් දැනුණා. මට වෙනස් දෙයක් කරන්න අවශ්‍ය වුණා, නමුත් ශක්තියක් නැති බවක් දැනුණා"" ඔහු පැවසුවේ ය.
මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහු Pretend To Work කාර්යාලය ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළ අතර, මාසයක් ඇතුළත සියලු ම ස්ථාන පිරි ගියේ ය. අලුතින් සම්බන්ධ වීමට නව පුද්ගලයින් අයැදුම් කළ යුතු ය.
ෆෙයියු පවසන්නේ, ගනුදෙනුකරුවන්ගෙන් 40%ක් තම පැරණි ගුරුවරුන්ට සීමාවාසික පුහුණුව තහවුරු කිරීමට ඡායාරූප ගන්නා මෑතකාලීන උපාධිධාරීන් බව ය. ඇතැම්හු තම දෙමාපියන්ගෙන් එල්ල වන පීඩනයට මුහුණ දීම සඳහා එහි පැමිණි අය වෙති.
අනෙක් 60%ක් වන පිරිස නිදහස් සේවකයින් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සංචාරය කරමින් ඩිජිටල් අවකාශයේ රැකියා කරන පිරිස් ය. විශාල විද්‍යුත් වාණිජ්‍ය සමාගම්වල සේවය කරන්නන් සහ සයිබර් අවකාශයේ ලේඛකයෝ ද ඒ අතර වෙති. සාමාන්‍යයෙන් ඔවුන් වයස අවුරුදු 30ක පමණ වයස්වල පසුවන්නන් වන අතර, අඩු ම වයසින් යුතු පුද්ගලයාගේ වයස අවුරුදු 25කි.

නිල වශයෙන්, මෙම සේවකයින් "නම්‍යශීලී රැකියා වෘත්තිකයන්" ලෙස හඳුන්වනු ලබන අතර, එයට රිය පදවන්නෝ ද ඇතුළත් වෙති
දිගු කාලීනව මෙම ව්‍යාපාරය ලාභදායීව පවතිනු ඇති ද? යන්න ප්‍රශ්නාර්ථයක් බව ෆෙයියු පවසයි. ඒ වෙනුවට ඔහු එය සමාජ අත්හදා බැලීමක් ලෙස හඳුන්වා දීමට කැමැත්තක් දක්වයි.
"මේ හරහා ගෞරවය පවත්වාගෙන යන්න බොරු යොදා ගන්නවා, නමුත් සමහර අයට ඇත්ත හොයා ගන්න මේකෙන් උදව්වක් ලැබෙනවා. අපි මිනිසුන්ට මවාපෑම දිගට ම කරගෙන යාමට පමණක් උදව් කරනවා නම්, ඒක හුදු රැවටීමක කොටසක් විතර යි," ඔහු පැවසුවේ ය.
"ඔවුන්ගේ ව්‍යාජ සේවා ස්ථානය සැබෑ ආරම්භක ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට උදව් කිරීමෙන් පමණක් වුණත් මෙම සමාජ අත්හදා බැලීමේ අරමුණ ඉටු වනවා."
ෂෞ, දැන් ඔහුගේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කුසලතා වැඩි දියුණු කර ගැනීමට වැඩි කාලයක් ගත කරයි. ඔහු පැවසුවේ, බඳවා ගැනීමේදී සමහර සමාගම් AI මෙවලම් පිළිබඳ ප්‍රවීණතාව අනිවාර්ය සුදුසුකමක් ලෙස සලකන බව තමා දුටු බව ය. එබැවින් එවැනි AI කුසලතා ලබා ගැනීමෙන් පූර්ණ කාලීන රැකියාවක් සොයා ගැනීම "පහසු වනු ඇතැයි" ඔහු සිතයි.














