විවාහ වී කැනඩාවට රැගෙන යන බව පවසා තරුණයන් 12 දෙනෙකුගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ තරුණිය

ඡායාරූප මූලාශ්‍රය, Rajwinder Singh/BBC
- Author, හර්මන්දීප් සිං
- Role, බීබීසී පන්ජාබ් සේවය
ආදරය සහ දෝහී වීම යනු අපට නිතර අසන්නට ලැබෙන වචන දෙකකි.
නමුත් මෙය හද කම්පා කරවන ප්‍රේම කතාවක් නොව කැනඩාවට රැගෙන යාමේ සිහිනය පෙන්වා තරුණයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකි.
මේ කතාවේ ප්‍රධාන චරිතය හර්ප්‍රීත් කෞර් ය. ඇය සහ ඇගේ මව තරුණයින් එක් අයෙකු නොව 12 දෙනෙකු කැනඩාවට රැගෙන යන බව පවසා ඔවුන්ව රවටා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හර්ප්‍රීත් කෞර්ගේ මව වන සුඛදර්ශන් කෞර්, සහෝදරයන් වන මන්ප්‍රීත් සිං සහ අශෝක් කුමාර් යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාරිය වන හර්ප්‍රීත් කෞර් තවමත් කැනඩාවේ සිටී.
මෙම වංචාවට ගොදුරු වූවන් ලෙස තරුණයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම නඩුවේදී, වින්දිතයින්ට ඇය ඉන්දීය රුපියල් කෝටි 1.60 කට වඩා වංචා කර ඇති බවට චෝදනා එල්ල වේ.
පොලිසියෙන් ලැබුණු තොරතුරුවලට අනුව, කැනඩාවේ පදිංචි වීමට කැමත්තෙන් සිටි තරුණයෙකුට හර්ප්‍රීත් වංචා කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකදී මෙම වංචාව පිළිබඳ හෙළිදරව් විය. මෙම තරුණයාගේ නම හෙළි කර නොමැත.
පොලිසියට අනුව, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර, විමර්ශනය ඉදිරියට යත් ම, හර්ප්‍රීත් සහ ඔහුගේ පවුලේ අය තරුණයින්ගෙන් රුපියල් කෝටි 1.60 ක මුදලක් වංචාවක් කර ඇති බව සොයා ගත්හ.
මවගේ අසනීප තත්ත්වය, සිය වියපැහැදම් සහ තරුණයින් සමග ගමන් බිමන් රැගෙන යාමේ මුවාවෙන් මෙම තරුණිය තරුණයින්ගේ මුදල් ලබා ගැනීමට පුරුදුව සිටි බව පොලිසිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පොලිසිය පවසන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පන්ජාබ් පොලිසියට අනුව, ලුදියානා සහ ඒ අවට ප්‍රදේශවල අවම වශයෙන් තරුණයින් 12 දෙනෙකු මෙම වංචාවට ගොදුරු වී තිබේ. හර්ප්‍රීත් කෞර්ගේ මව තම දියණිය වන හර්ප්‍රීත් කෞර් කැනඩාවේ ජීවත් වන බව තරුණයින්ගේ පවුල්වලට පවසා තිබේ.
ඇය මෙම තරුණයින්ට පොරොන්දු වී ඇත්තේ තම දියණිය වින්දිත තරුණයින් සමග විවාහ වී පසුව ඔවුන්ව කැනඩාවට රැගෙන යන බවට යි. නමුත් මේ සදහා හිලව් වශයෙන් වින්දිත පිරිමි පාර්ශවයේ දෙමාපියන් ඇයට මුදල් ගෙවිය යුතු වේ.
සහකාර උප පොලිස් පරීක්ෂක හර්ජිත් සිං පැවසුවේ විත්තිකාර තරුණිය විවාහ දැන්වීම් ඔස්සේ වින්දිත තරුණයින් දැන හඳුනාගෙන ඇති බව ය. අශෝක් කුමාර් අතරමැදියෙකු ලෙස කටයුතු කර තිබේ.
විවාහ දැන්වීම් සදහා ප්‍රතිචාර නොමැතිව වුව ද, චෝදනා ලැබූ සැකකරුවන් කැනඩාවට යාමට කැමති තරුණයින් සොයමින් සිටි තිබේ.
එක් තරුණයෙකු කියා සිටියේ දෙදෙනා අතර සම්බන්ධතාවය ඉදිරියට ගිය පසු, විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවැත් වූ බව පෙන්වීම සඳහා හර්ප්‍රීත් කෞර්ගේ ඡායාරූපයක් තබා ආගමික චාරිත්‍ර ද පැවත්වූ බව යි. විවාහ ගිවිස ගැනීමෙන් පසුව ත්, හර්ප්‍රීත් ද වින්දිත තරුණයින් සමග දිගට ම කතා බස් කර තිබේ.
හර්ප්‍රීත්ගේ මව ඇගේ වැන්දඹුභාවය සහ දැරියගේ අධ්‍යාපනය කටයුතු සඳහා යන වියදම් සහ ණය ගෙවීමට ඇති බව සඳහන් කරමින් ඔවුන් විසින් තරුණයින්ගේ පවුල්වලින් මුදල් ඉල්ලා ඇත.
"මුදල් හවුමාරු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. මේ තරුණයින් කැනඩාවට රැගෙන යන බවට දිවුම් ප්‍රකාශත් ලබා දී තිබෙනවා. මුදල් කෙලින්ම දැරියගේ සහෝදරයා වන මන්ප්‍රීත්ගේ ගිණුමට දාලා. විත්තිකරු වින්දිතයින්ට හිස් චෙක්පත් ද ලබා දී තිබේ. ඒ නිසා ම වින්දිතයින්ට ඔවුන් ගැන සැකයක් තිබිලා නැහැ."
නඩුව ආරම්භ වූ ආකාරය
පොලිසියට අනුව, විත්තිකරුවන් මෙම ජාවාරමට හසුකර ගැනීම සඳහා තරුණයින් සොයමින් ලුදියානා හි දෝරාහා නගරයේ සිටිමින් කටයුතු කර තිබේ . මෙහිදී, ඔවුන් තරුණයෙකුට මෙලස වංචා කළ බවට චෝදනා එල්ල විය. මේ වංචාව සිදුවීමට පෙර සිට ම ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි.
නඩුව ගොනු කිරීමට ප්‍රධාන හේතුව මෙම තරුණියගේ මවගේ නොසැලකිලිමත් සිදුවීමකි. ඇය තම දියණියට යැවීමට සූදානම් කළ පණිවිඩයක්, වැරදීමකින් දියණියගේ පෙම්වතාට යවා තිබේ.
හර්ප්‍රීත් කෞර් ජූලි 10 වැනි දා සැබවින්ම ලුදියානා දිස්ත්‍රික්කයේ ෆයිස්ගාර් ගම්මානයේ 27 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ ගිවිස ගැනීමට නියමිත ව සිටියාය. නමුත් මෙහිදී බතින්දා සිට හර්ප්‍රීත් කෞර්ගේ පැරණි පෙම්වතා පැමිණියේය.
පොලිසියට අනුව, එම පණිවිඩයේ ෆයිස්ගාර් ගම්මානයේ පදිංචිකරුවෙකු සමග විවාහ ගිවිස ගැනීම සහ මුදල් ලබා ගැනීම ගැන කතා කර තිබුණි.
චූදිතයන් කවුද?
පොලිසියට අනුව, හර්ප්‍රීත් කෞර් මීට වසර තුනකට පමණ පෙර අධ්‍යයන වීසා මත කැනඩාවට ගොස් තිබේ. ඇය දැනට කැනඩාවේ සරේ නගරයේ ජීවත් වේ.
විමර්ශන පවත්වන සහකාර උප පොලිස් පරීක්ෂක (ASI) හර්ජිත් සිං පැවසුවේ ඇය කැනඩාවට ගිය විට පවා තරුණයෙකුගේ පවුල විසින් ඇගේ සියලු වියදම් දරා ඇති බවයි. ඇයව මෙම තරුණායට විවාහ කර දෙන බවට ත් ඇය සමග කැනඩාවට රැගෙන යන බවට ත් මෙම තරුණයාට පොරොන්දු වී තිබේ.
තරුණියගේ මව සහ ඇගේ සහෝදරයා ලුදියානා හි ජග්‍රෝන් හි ජීවත් වෙති. චූදිත අශෝක් කුමාර් ලුදියානාවේ චාපර් ගම්මානයේ පදිංචිකරුවෙකි.
තරුණයෙකු සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේදී, අශෝක් ඇතැම් විට තමා තරුණියගේ බෑණනුවන් ලෙස ත්, ඇතැම් විට මාමා ලෙස ත් හඳුන්වා දී ඇති බව හර්ජිත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Rajwinder Singh/BBC
පොලිසිය ගත් පියවර කුමක්ද?
සහකාර උප පොලිස් පරීක්ෂක (ASI) හර්ජිත් සිං පැවසුවේ සුක්දර්ශන් කෞර්, මන්ප්‍රීත් සිං සහ අශෝක් කුමාර් යන අය අත්අඩංගුවට ගෙන ඇති බව යි. කෙසේ වෙතත්, තරුණිය වන හර්ප්‍රීත් කෞර් කැනඩාවේ සිටින බැවින් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නැත.
ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) 316(2) (විශ්වාසය කඩ කිරීම), 318(4) (වංචා කිරීම) සහ 61(2) (කුමන්ත්‍රණය) යන වගන්ති යටතේ දෝරාහා පොලිස් ස්ථානයේ නඩුවක් ගොනු කර ඇති බව ඔහු සඳහන් කළේය.
"මේ වන විට වින්දිතයින් 12 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. අපි ඔවුන් සියලු දෙනාගේම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා" යැයි ඩෝරාහා පොලිස් ස්ථානයේ, පොලිස් පරීක්ෂක ආකාෂ් දත් පැවසීය.
හර්ප්‍රීත් 2022 දී කැනඩාවට ගොස් තවමත් එරට අධ්‍යාපනය ලබමින් සිටින බව ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ඉඩම් විකුණන්න සිද්ධ වුණා'
මෙම වංචාව හෙළිදරව් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයාට තම ඉඩම පවා විකිණීමට සිදුව තිබේ. හර්ප්‍රීත් කෞර්ගේ විවාහය සඳහා පුවත්පතක දැන්වීමක් දුටු බව ඔහු පවසයි. ඉන්පසු ඔහු 2024 ජූලි 11 වන දින මෝගා හිදී ඔන්ලයින් වීඩියෝ ඇමතුමක් ඔස්සේ හර්ප්‍රීත් කෞර් සමඟ විවාහ ගිවිස ගත්තේය.
විවාහ ගිවිස ගැනීමට පෙර චූදිතයින් තමාගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක් ලබා ගත් බවත්, විවාහ ගිවිස ගැනීමට පෙර රුපියල් ලක්ෂ 2 ක ලබා නොදෙන්නේ නම් විවාහ ගිවිස ගැනීම සිදු නොවන බව ත් ඔහු පවසා තිබිණි.
"විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ, මාව කැනඩාවට ගෙනියන්න රුපියල් ලක්ෂ 25ක් ඉල්ලුවා. පස්සේ ගනුදෙනුව රුපියල් ලක්ෂ 23කට අවසන් කළා. මම හර්ප්‍රීත්ගේ ගාස්තු විදිහට රුපියල් ලක්ෂ හය හමාරක් ගෙව්වා. මං දැනට එයාලට රුපියල් ලක්ෂ 18ක් දීලා තියෙනවා."
"මං කුඩා ගොවි පවුලක කෙනෙක්. මට අක්කර පහක් විතර ඉඩමක් තිබ්බා. මේ අයට සල්ලි දෙන්න මට අක්කර දෙකක් විකුණන්න සිද්ධ වුණා."
අවසාන ඉලක්කය
තවත් වින්දිතයෙකු වූ ජෂන්දීප් සිං පැවසුවේ තම සහෝදරිය කැනඩාවේ ජීවත් වන බව යි. ඔහුගේ දෙමව්පියන්ට ද කැනේඩියානු වීසා ලැබී තිබිණි. ඉතාලියේ සිට පන්ජාබ් වෙත පැමිණ ඇති ඔහු ද කැනඩාවට යාමට දැඩි උනන්දුවක් දක්වා තිබේ.
"අපේ මුළු පවුලට ම කැනඩාවට යන්න ඕන වුණා. ඒ නිසා අපි කැනේඩියානු සම්බන්ධතාවයක් හොයමින් හිටියා. මේ කාලය තුළ අපේ නෑදෑයන්ගෙන් අපි දන්න කෙනෙක් හර්ප්‍රීත් ගැන අපිට කිව්වා. ඒ ගැන සාකච්ඡා කළා ම, ගෑනු ළමයාගේ දෙමාපියන් රුපියල් ලක්ෂ 18ක් ඉල්ලුවා." ඔහු පවසයි.
"අපිට දැනට මත් රුපියල් ලක්ෂයක් දීලා තියෙනවා. විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ ලක්ෂ හතරක් දෙන්න කිව්වා. ඉතිරි සල්ලි කැනඩාවට ආවට පස්සේ ගෙවන්න ඕනේ කිව්වා. ජූලි 10 වැනි දා, විවාහ ගිවිස ගැනීමේ කටයුතු සූදානම් වෙමින් තිබිය දී, සම්පූර්ණ රහස එළියට ආවා."














