මවගේ දෙවන විවාහයේ සාක්ෂිකරුවෙකු වූ පුතෙක්: 'මේක තමයි මම වෙඩින් එකක සාක්ෂිකාරයෙක් වුණු පළවෙනි අවස්ථාව, ඒකත් මගේ අම්මගේ'

ඡායාරූප මූලාශ්‍රය, Facebook/@muserft.ahad
- Author, නාසිෂ් සාෆර්
- Role, මාධ්‍යවේදී
අබ්දුල් අහාඩ් අවුරුදු පහේ සිට ම තම මව දුටුවේ තනි වූ මවක ලෙස ය. දැන්, වයස අවුරුදු 24ක් වන ඔහු තම මවගේ වගකීම භාරගෙන තිබේ. සාමාන්‍යයෙන් පකිස්ථාන සමාජයේ කාන්තාවකගේ වගකීම භාර ගනු ලබන්නේ පියවරුන් හෝ වැඩිමහල් සහෝදරයන් විසිනි.
ඔහු තම මව නැවත විවාහ කර දුන්නේ, වසර 18ක් පුරා ඇයට ගත කිරීමට නොහැකි වූ ජීවිතය ගත කිරීමට ඇයට අවස්ථාව උදා කර දෙමිනි.
ඔහු තම මවට වීඩියෝ ඇමතුමක් දුන්නේ ඇය මංගල උත්සවය වෙනුවෙන් රූපලාවණ්‍යාගාරයේ සැරසෙමින් සිටියදී ය. "ඒ වීඩියෝ කෝල් එකේදී අම්මා ඇඬුවා, 'මෙච්චර කාලෙකට පස්සේ, මම දැන් ලෑස්තියි' කියලා."
අබ්දුල් මෙසේ පැවසීය: "සැලුන් එකේ ඉඳලා අම්මා ගෙදර ආවා. එයා හරි ම ලස්සනට හිටියා. මම ඒ වෙලාවේ එයාව හම්බ වුණේ නැහැ. මම මගේ යාළුවාට ගිහින් කිව්වා, "මචං, අම්මා දැන් කලින් වගේ නෙමෙයි, එයා හරි ම ලස්සන යි' කියලා."

2024 නොවැම්බර් මාසයේදී, අබ්දුල් ඔහුගේ මවගේ විවාහ මංගල්‍ය දිනයේදී තම සහෝදරිය සමග එක්ව පන්ජාබ්හි ලාහෝර් නගරයේ පිහිටි තම නිවසේ ආලින්දය සැරසීය. එමෙන් ම ඔවුහු, විවාහ මංගල්‍යයේ ආගමික කටයුතු සිදු කරන පුද්ගලයා ද ඇතුළුව ආරාධිතයින් සඳහා අවශ්‍ය දේ සූදානම් කළහ.
ඔහු මෙසේ පැවසීය, "ඒ තමයි මම වෙඩින් එකක සාක්ෂිකාරයෙක් වුණු පළවෙනි වතාව. ඒකත් මගේ අම්මගේ වෙඩින් එකේ."
ඇගේ පළමු සැමියාගෙන් වෙන්වීමෙන් පසු අබ්දුල්ගේ මව වන මදීහා කාස්මි ගත කළේ, මේ සමාජය තනිකඩ මවකගෙන් බලාපොරොත්තු වන ජීවිතය යි: එනම් තම දරුවන් වෙනුවෙන් සෑම ආශාවක් ම යටපත් කර ගනිමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම යි.
මවක ලෙස තමාට තමා ගැන සිතීමට ඉඩක් නොමැති බව මදීහාට ම දැනිණි. නැවත විවාහ වූ පසු තම දරුවන් තමා පිළි නොගනු ඇතැයි ඇය බිය වූවා ය.
බොහෝ විවාහ යෝජනා පැමිණි නමුත් ඇය ඒ ගැන නොතැකූ බව ඇය පවසයි.
පසුව ඇයගේ දරුවෝ ඔවුන් සිතන ආකාරය වෙනස් කළහ.
මදීහාගේ දියණිය වන ටූබා පෞද්ගලික පාසලක සේවය කළා ය. එහි සගයෙකු තම ඥාතියෙකු සඳහා විවාහ වීමට හොඳ ම තේරීම ටූබාගේ මව යැයි සිතීය.
මෙතැන් සිට ඇති වූ සංවාදය අවසානයේ විවාහය දක්වා ගමන් කළේ ය.
"සහෝදර සහෝදරියෝ ටික එකතු වෙලා අම්මාගේ ධෛර්යය ගොඩනගලා, ඇගේ ජීවිතය උපරිමයෙන් ගත කිරීමට ඇයට අයිතියක් ඇති බව නැවතත් මතක් කරලා දුන්නා."
ඔවුන් මව විවාහ වීමට සිටින 'තැනැත්තා' සමග කටයුතු කළේ පරිණත ආකාරයෙනි. ඔවුන් මුලින් ම තමන්ව සහ තම මව සනසවා, පසුව විවාහයෙන් පසු මාස කිහිපයකින් තම මව පිටත් කර හැරියහ.
අබ්දුල් විවාහ මංගල්‍යයේ වීඩියෝවක් සුන්දර පණිවිඩයක් සමග සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත් අතර මිලියන සංඛ්‍යාත ජනතාවක් එය නරඹා එය සුන්දර සම්ප්‍රදායක් ලෙස හැඳින්වූහ.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නමුත් ඔවුන්ට ඒ සියල්ල පහසු වූවා ද?
බොහෝ අවස්ථාවලදී තම මවගෙන් තමා දුරස් වූ බවක් දැනුණු බව අබ්දුල් පැවසීය.
"ඕනෑ ම ගැහැනු කෙනෙකුට සමු දෙද්දී එයාට පිටවෙලා යන්න උදව් කරන පුරුද්දක් මට තියෙනවා. විශේෂයෙන් මගේ අම්මාට. ඉතින් වෙඩින් එකෙන් පස්සේ, එළියට එද්දී, මාත් පුරුද්දට ඒත් එක්ක ම ගියා. ඒත් එයාගේ හස්බන්ඩ්, එයාට කාර් එකේ දොර ඇරලා දීලා, ලෙහෙන්ගා එක අල්ලාගෙන අම්මට වාඩි වෙන්න උදව් කළා. ඒ වෙලාවේ මට ඒක ගැන යපහත් විදිහට දැනුණා."
ඒ හා සමානව, අබ්දුල්ට එදිනෙදා නිවසේ වැඩ කටයුතුවල නිරත වීමේදී තම මව නොමැති අඩුව දැනේ. ඔහු කිසිදු පැකිළීමකින් තොරව පවසන්නේ, "ගීසර් එක ඕන් කරන එකේ ඉඳලා ඇඳුම් මදින එක දක්වා හැම දෙයක් ම කළේ එයා. එතකොට මට තේරුණා එයා කරන පොඩි පොඩි වැඩ ගොඩක් තියෙනවා කියලා. ඒත් දැන් ඒ දේවල් මට තනියම කර ගන්න සිද්ධ වෙලා."
ඔවුන් ලබා දෙන පණිවිඩය නම්, මේ කාර්යභාරයන් නිසා විවාහය ගැන නොසිතීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව ය.
"ඕනෑ ම කාන්තාවක්, ඇය මවක්, සහෝදරියක් හෝ මිතුරියක් වුණත්, ජීවිතයේ දෙවන අවස්ථාවක් ගන්න දිරිමත් කළ යුතු යි."
තම මවගේ මංගල උත්සවයේ වීඩියෝව දැඩි ලෙස අවධානයට ලක්වනු ඇතැයි සිතා කිසිවක් සමාජ මාධ්‍යවල පළ කිරීම ගැන තමා දෙගිඩියාවෙන් පසුවූ බව ඔහු පවසයි.
වීඩියෝව අප්ලෝඩ් කිරීමෙන් පසුව ද, ෂෙයාර් බොත්තම එබුණේ නැත.
එබැවින් ඔහුගේ මිතුරෙක් ඔහු ඊට ප්‍රමාද වූ නිසා ෂෙයාර් බොත්තම එබීය. ඉන් පසුව ලැබුණු ප්‍රතිචාරය ඔහු බලාපොරොත්තු නොවූවැකි.
නමුත් එයින් මිනිසුන්ට හොඳ පණිවිඩයක් ලැබීම ගැන ඔහු සතුටට පත් විය. වැඩිහිටි වියේදී පවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම විවාහය පිළිගත හැකි බවට පණිවිඩය මෙම වීඩියෝව මගින් ජනතාවට ලබා දී ඇති බව ඔහුට හැඟේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැඩිහිටි වියේදී විවාහ වීම පකිස්ථානයේ වැසියන් පිළිකුල් කරන්නේ ඇයි?
ලොව බොහෝ රටවල වැඩිහිටියන් දෙදෙනෙකුගේ විවාහය ඔවුන් ප්‍රසිද්ධියක් නොඋසලයි නම් හෝ ඊට ප්‍රසිද්ධ පුද්ගලයෙකු සම්බන්ධ නොවන්නේ නම්, 'ප්‍රවෘත්තියක්' ලෙස නොසැලකේ.
නමුත් පකිස්ථානය වැනි සමාජයක වැඩිහිටි දරුවන් ඉදිරියේ කාන්තාවක සිය වැඩිහිටි වියේදී කරන විවාහය අසාමාන්‍ය දෙයක් ලෙස පමණක් නොව වරදක් ලෙස ද සැලකේ.
බොහෝ තනි මාපියන්ට විවාහ වීමට හෝ ඔවුන්ගේ නව ජීවිතය සඳහා නව සහකරුවෙකු සොයා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැත.
පකිස්ථානයේ බුෂ්රා අන්සාරි සහ සමීනා අහමඩ් යන නිළියන් පසුගිය දා විවාහ වූයේ ඔවුන් විවාහ විය යුතු වයස පසුකර ඇතැයි උපකල්පනය කරන වයසකදී ය.
ඒ ගැන සාමාන්‍ය කතාබහක් ඇති වූ නමුත් දැන් සමාජ මාධ්‍යවල එවැනි දේ වෙනුවෙන් පෙනී සිටින සිදුවීම් සහ දිරිගැන්වීම් ද තිබේ.
කවියෙකු සහ ලේඛකයෙකු වන වසී ෂා, එම කාරණය සම්බන්ධයෙන් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ, තම මව වැන්දඹුවක වන විට තමාට වයස අවුරුදු අටක් වූ බවත් ඇගේ තනිකම තමා දුටු බවත් ය.
ඔහුට හැඟෙන්නේ, "එවැනි සෑම කාන්තාවක් ම දිරිමත් කළ යුතු යි, ඇත්ත වශයෙන් ම, ඔවුන් විවාහ වීමට විධිමත් ලෙස ඉල්ලා සිටිය යුතු යි. අපි මෙම තහනම නතර කළ යුතුයි."
තනි මවක හා පියෙකු වීම මානසික අභියෝගයකට නොඅඩු දෙයක් වන්නේ, දරුවන්ගේ එදිනෙදා කටයුතු, ගෙදරදොර වියදම්, පසුව ඔවුන් නිසි ලෙස ඇති දැඩි කිරීමේ වගකීම දෙගුණ වන බැවිනි.

දිගු කාලීන තනිකම තනි මවකට හෝ පියෙකුට මානසික ගැටලු ඇති කළ හැකි ය.
මනෝවිද්‍යාඥ වෛද්‍ය ජුනයිඩ් රසූල් පවසන්නේ, තම අඹුසැමි යුවළකගෙන් එක් අයෙකු හෝ අහිමිවීම හෝ වෙන් වීම ස්වභාවයෙන් ම කම්පනයක් වන අතර මෙම කම්පනය හා සම්බන්ධ පීඩනය හෝ පශ්චාත් කම්පන ආතතිය ඉන් පසුවත් පවතින බව ය.
ඉන්පසුව, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීමට මාපියන් දෙදෙනාට ම බොහෝ විට උර දීමට සිදු වූ විට, එය "සියලු ආකාරයේ දැඩි මානසික පීඩනයක් ලෙස පිටතට පැමිණේ."
පකිස්ථානයේ දික්කසාදයෙන් හෝ වෙන්වීමෙන් පසු නැවත විවාහ වීමේදී නීතිමය වශයෙන් ඇති ව්‍යාකූලතා මොනවා ද?
සමාජ පීඩනයට අමතරව, නීතිමය ව්‍යාකූලතා ද තනි මවකට හෝ පියෙකුට නැවත විවාහ වීම දුෂ්කර කරයි.
දික්කසාද සහ ඛුලා නඩු සම්බන්ධයෙන් දිනපතා කටයුතු කරන නීතීඥවරියක වන ෆාතිමා බට් බීබීසීයට පැවසුවේ, වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා පියාට රැකවරණය සැපයීම, භාරකාරත්වය සහ ඔවුන් බැලීම අයිතිය සඳහා ඉල්ලා සිටිය හැකි බව ය.
අධිකරණය පියාට දරුවන් දැකීමට දින සහ වේලාවන් නියම කරන්නේ නම්, මව දරුවන් සමග ඔහු සිටින නගරයේ ම රැඳී සිටිය යුතු බව ඇය පැහැදිලි කරයි. එවැනි තත්ත්වයක් තුළ, විවාහයෙන් පසු නගරය හෝ රට හැර යාමට නොහැකි වේ.
ඇය පවසන්නේ නැවත විවාහ වූ සබඳතාවලදී පවා පියාට එම අයිතිය තිබේ නම් දරුවන්ට මව දැකීමේ අයිතිය අහිමි වන බව ය. දරුවන්ගේ අයිතිය ඉල්ලන මවක හෝ පියෙකු නැවත විවාහ වීමේදී ඔවුන්ට එම භාරකාරත්ව නඩුවේදී අවාසි වීමට ඉඩ තිබේ.
තම දියණියගේ භාරකාරත්වය තිබූ කාන්තාවක නැවත විවාහ වූ පසු ඇගේ දෙවන සැමියාට දියණිය සමග ඥාති සබඳතාවක් නොමැති බැවින් ඇයගේ අයිතිය ඉල්ලා නඩුවක් ගොනු වුණු බව ද ෆාතිමා බට් පැවසීය.
මෙම සෑම ව්‍යාකූලතාවක් ම කාන්තාවක නැවත විවාහ වීමට තීරණය කිරීම වළක්වයි.
සමාජයේ ප්‍රශ්න සහ පිළිතුරු, අධිකරණය සහ වගකීම් බරින් ඔබ්බට, මදීහා කාස්මි වැනි මව්වරුන්ට තමන්ට රිසි සේ තම ජීවිතය ගත කළ හැකි ස්ථානයක් නිසැකව ම තිබේ.
තම මව මනුෂ්‍යයෙකු ලෙස දකින, ඇය වෙනුවෙන් සිතන අබ්දුල් අහාඩ් වැනි දරුවන්ගේ හදවත මෙම ස්ථානය යි.
එය 'වැඩිහිටි සහෝදරයෙකු' මෙන් නව සහකරුවෙකු තෝරා ගැනීමට සහ නව ජීවිතයකට යොමු වීමට ඔවුන් දිරිමත් කරයි.










