මුණුපුරෙකු ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ යුවළක් පුත්‍රයාට එරෙහිව නඩු පවරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු ඉන්දියාවේ උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ වෙසෙන යුවළක් සිය එකම පුත්‍රයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඔවුන් විවාහ වී වසර සයක් ගෙවුන ද තමාට මුණුපුරෙකු හෝ මිණිපිරියක ලබානොදීම හේතුවෙනි.
සංජීව් (61) සහ සාධනා ප්‍රසාද් (57) යුවළ පවසන්නේ තමා සිය ඉතුරුම් සියල්ල පුත්‍රයා හදාවඩාගැනීමට, ඔහු ගුවන් නියමුවෙකු ලෙස පුහුණු කිරීමට, සහ ඔහුගේ උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවය සඳහා වියදම් කළබව යි.
පුත්‍රයා සහ ලේලියට වසරක් තුළ දරුවෙකු ඉපදුනේ නැතහොත්, ඩොලර් 650,000ක (රු. කෝටි 20කට ආසන්න) වන්දියක් ලබාදෙන්නැ යි ඔවුන් ඉල්ලා සිටියි.
ඔවුන්ගේ පුත්‍රයා සහ ලේලිය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශකර ඇතිබව පෙනෙන්නට නැත.
මෙම ඉතා අසාමාන්‍ය නඩුව ගොනුකර ඇත්තේ "මානසික හිරිහැර" සිදුකිරීම යන චෝදනාව මත ය.
සංජීව් ප්‍රසාද් පවසා සිටින්නේ ඔහු සිය පුත්‍රයා වෙනුවෙන් සිය ඉතුරුම් සියල්ල වියදම් කළබව යි. ඩොලර් 65,000ක වියදමක් දරමින් ගුවන් නියමු පුහුණුව සඳහා 2006 දී පුත්‍රයා එක්සත් ජනපදයට යැවූබව ඔහු ප්‍රකාශ කරයි.
2007 දී පුත්‍රයා නැවතත් ඉන්දියාව බලා පැමිණි නමුත් අනතුරුව ඔහුගේ රැකියාව අහිමිවී ඇති අතර, එනිසා වසර දෙකක් පුරාවට පුත්‍රයාට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට ප්‍රසාද්ට සිදුව ඇතැ යි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවක කියැවෙයි.
කලකට පසුව, තිස්පස් හැවිරිදි ශ්‍රෙයි සාගර් ගුවන් නියමු රැකියාවක් සොයාගැනීමට සමත්විය. 2016 දී ඔහුගේ දෙමාපියන් ශුභාංගි සිංහා (මේ වන විට තිස්එක් හැවිරිදි ය) සමග ඔහුගේ විවාහය තීන්දු කළේ, තමා විශ්‍රාම යන සමය වන විට ඔවුන් තමාට "සෙල්ලම් කිරීම සඳහා මුණුපුරෙකු" සපයනු ඇතැ යි යන බලාපොරොත්තුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
දෙමාපියන් පවසන්නේ තරු පහේ හෝටලයක විවාහ මංගලෝත්සවය පැවැත්වීමටත්, ඩොලර් 80,000ක් පමණ වටිනා සුඛෝපබෝගී මෝටර් රථයක් මිළට ගැනීමටත්, විදෙස් රටක දී මධුසමය ගෙවීමටත් තමා බරපැන දැරූබව යි.
"මගෙ පුතා බැඳලා දැන් අවුරුදු හයක් වෙනවා, ඒ වුණාට තවමත් දරුවෙක් හදන අදහසක් එයාලට නැහැ," ප්‍රසාද් කියා සිටියේ ය. "අඩුගාණේ අපට කාලෙ ගෙවාගන්න මුණුපුරෙක් ඉන්නවා නම්, අපේ වේදනාව දරාගන්න පුළුවන් වෙයි."
යුවළගේ නීතිඥවරයා වන ඒ. කේ. ශ්‍රීවාස්තව ද නැෂනල් හා ප්‍රකාශ කළේ, "මානසික කුරිරුකම් සිදුකිරීම මත" මෙම යුවල වන්දි ඉල්ලා සිටිනබවකි.
"හැම දෙමාපියෙක්ගේම හීනෙ සීයා කෙනෙක්, ආච්චි කෙනෙක් වෙන එක. මේ යුවළ ඒ බලාපොරොත්තුවෙන් අවුරුදු ගාණක් බලාගෙන හිටියා," ඔහු සඳහන් කළේ ය.









