ලොව අඩු ම උපත් අනුපාතය දකුණු කොරියාවේ - කොරියානුවන් දරුවන් නොහදන්නේ ඇයි?

Yejin and her friends in her apartment

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාව ලෝකයේ අඩුම උපත් අනුපාතය ඇති රට වන අතර එම වාර්තාව ඔවුන් විසින්ම අලුත් කරමින් සිටියි.
    • Author, ජීන් මැකන්සි
    • Role, සෝල් වාර්තාකරු

වැසි සහිත අඟහරුවාදා දිනයක දහවල් කාලයේ, යෙජින්, සෝල් නගරය ආසන්නයේ පිහිටි ඇය තනිකඩව සතුටින් වෙසෙන මහල් නිවාසයේ මිතුරන් වෙනුවෙන් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටින්නීය.

ආහාර ගන්නා අතරතුර, ඔවුන්ගෙන් එක් අයෙක් ඇගේ දුරකතනයෙන් කාටූන් ඩයිනසෝරයෙකුගේ මීම් නිර්මාණයකට යොමු වෙයි. "පරිස්සම් වෙන්න," ඩයිනසෝර් කියයි. "ඔයා අපි වගේ වඳ වෙන්න එපා".

එහි සිටි සියලු කාන්තාවෝ සිනාසෙති.

"ඒක හාස්‍යජනකයි, ඒත් ඒක බරපතළ කාරණයක්. මොක ද, අපි අපේ ම වඳවීමට හේතුවක් වෙන්න පුළුවන්," 30 හැවිරිදි රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක වන යෙජින් පවසයි.

ඇය හෝ, ඇගේ යෙහෙළියන් දරුවන් ලැබීමට සැලසුම් කරන්නේ නැත. ඔවුන් දරුවන්ගෙන් තොර ජීවිතයක් තෝරාගෙන සිටින ක්‍රමයෙන් වර්ධනය වන කාන්තා ප්‍රජාවක කොටසකි.

ලෝකයේ අඩු ම උපත් අනුපාතය ඇති රට දකුණු කොරියාවයි. එරට තමන්ගේ ම ඉතා අඩු අනුපාතය වසරින් වසර අභිබවා යමින් අඛණ්ඩව පහළට ගමන් කරමින් සිටී.

සංඛ්‍යා ලේඛන මගින් එම අනුපාතය 2023 වසරේදී තවත් 8% කින්, එනම්, 0.7 දක්වා පහත වැටී ඇතැයි පෙන්නුම් කරයි. මින් පෙන්නුම් කරන්නේ, එරට කාන්තාවක තම ජීවිත කාලය තුළ ලැබීමට අපේක්ෂා කරන දරුවන් සංඛ්‍යාවයි. ජනගහනය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා එම අගය 2.1ක් විය යුතුය.

මෙම ප්‍රවණතාව අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, 2100 වසර වන විට දකුණු කොරියාවේ ජනගහනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

'ජාතික හදිසි තත්ත්වයක්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

‌ගෝලීය වශයෙන්, සංවර්ධිත රටවල උපත් අනුපාතයේ පහළ යාමක් දක්නට ලැබුණ ද, දකුණු කොරියාවේ තරම් බරපතළ තත්ත්වයක් නැත.

එහි ප්‍රක්ෂේපණ භයානක ය.

වසර 50 ක් ගත වූ පසු, වැඩ කරන වයසේ පුද්ගලයින් සංඛ්‍යාව අඩකින් අඩු වනු ඇත, රටේ අනිවාර්ය හමුදා සේවයට සහභාගී වීමට සුදුසුකම් සපුරන සංචිතය 58% කින් හැකිලෙනු ඇත. එපමණක් නොව, ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 65ට වඩා වයස්ගත වූවන් වනු ඇත.

මෙය රටේ ආර්ථිකයට, විශ්‍රාම අරමුදලට සහ ආරක්ෂාවට අයහපත් ලෙස බලපානු ඇතැයි පෙර නිමිති පළ වී තිබේ. දේශපාලකයින් එය "ජාතික හදිසි තත්ත්වයක්" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 20කට ආසන්න කාලයක් තිස්සේ, අනුප්‍රාප්තිකව බලයට පත්වූ රජයයන් මෙම අර්බුදය වෙනුවෙන් මුදල් වැ‌ය කර තිබේ - එය නිශ්චිතව කිවහොත් කොරියානු වොන් (KRW) ට්‍රිලියන 379.8කි. (ඇමෙරිකානු ඩොලර් බිලියන 286)

දරුවන් සිටින අඹුසැමියන්ට මාසික දීමනාවක සිට සහනාධාර නිවාස සහ නොමිලේ කුලී රථ දක්වා මුදල් විශාල ලෙස ලැබේ. විවාහ වූවන්ට පමණක් වුව ද, රෝහල් ගාස්තු සහ කෘත්‍රිම දරු උපත් ප්‍රතිකාර සඳහා පවා ආවරණය කෙරේ.

එවැනි මූල්‍ය දිරිගැන්වීම් සාර්ථක වී නොමැති අතර, එහෙයින්, අග්නිදිග ආසියාවෙන් ආයාවරුන් බඳවා ගැනීම සහ ඔවුන්ට අවම වැටුපට වඩා අඩු වැටුපක් ගෙවීම සහ වයස අවුරුදු 30ට පෙර දරුවන් තිදෙනෙකු සිටී නම් එවැනි පිරිමි පුද්ගලයින් හමුදා සේවයේ යෙදීමෙන් නිදහස් කිරීම වැනි වඩාත් "නිර්මාණාත්මක" විසඳුම් කෙරෙහි යොමු වීමට දේශපාලඥයින්ට සිදුව තිබේ.

තරුණ තරුණියන්ගේ - විශේෂයෙන් ම කාන්තාවන්ගේ අවශ්‍යතාවලට ඇහුම්කන් නොදෙන බවට ප්‍රතිපත්ති සම්පාදකයින්ට චෝදනා එල්ල වී තිබීම පුදුමයට කරුණක් නොවේ. එහෙයින්, පසුගිය වසර පුරා අපි රට පුරා සංචාරය කරමින්, දරුවන් නොලැබීමට තමන් ගත් තීරණය පිටුපස ඇති හේතු තේරුම් ගැනීමට කාන්තාවන් සමග කතාබහ කළෙමු.

Yejin in her apartment

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, යීජින් පවසන්නේ ඇය 'සදාකාලික වැඩ චක්‍රයක' සිරවී සිටින බවයි

යෙජින් ඇගේ වයස අවුරුදු 20 ගණන්වල මැද භාගයේදී තනිකඩව ජීවත් වීමට ගත් තීරණය හරහා, ඇය සමාජ සම්මතය උල්ලංඝණය කළා ය. - කොරියාවේ, තනිකඩ ජීවිතය බොහෝ දුරට යමෙකුගේ ජීවිතයේ තාවකාලික අදියරක් ලෙස සැලකේ.

ඇය පස් වසරකට පෙර විවාහ නොවන බවට ද, ඒ අනුව, දරුවන් නොලබන බවට ද තීරණය කළා ය.

"කොරියාව තුළ ආලය කළ හැකි ගෙදර දොරේ වැඩ සහ ළමා රැකවරණය සමානව බෙදා ගන්නා පිරිමියෙකු සොයා ගන්න එක දුෂ්කර යි," ඇය මට පවසන්නී ය, "ඒ වගේ ම දරුවන් සිටින හුදෙකලා කාන්තාවන් දිහා කාරුණිකව බලන්නෙ නෑ."

2022 වසරේදී දකුණු කොරියාවේ විවාහ නොවී දරුවන් ලැබීමේ ප්‍රතිශතය 2%ක් පමණක් විය.

'සදාකාලික වැඩ චක්‍රයක්'

යෙජින් රූපවාහිනියේ ඇගේ වෘත්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති අතර, එහෙයින්, කිසිසේත් දරුවෙකු ඇති දැඩි කිරීමට ඇයට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බවට ඇය තර්ක කරයි. කොරියාවේ වැඩ කරන පැය ගණන් ඉතා නරක ලෙස දීර්ඝ ය.

යෙජින් සාම්ප්‍රදායික 9-6 රැකියාවක් කරයි. එහෙත්, ඇය සාමාන්‍යයෙන් රාත්‍රී 8 දක්වා කාර්යාලයෙන් පිටව නොයන බවත් ඊට අමතරව අතිකාල සේවා ඇති බවත් පවසයි. ඇය නිවසට ගිය විට, නින්දට යාමට පෙර ඇයට කාලය ඇත්තේ, නිවස පිරිසුදු කිරීමට හෝ ව්‍යායාම්වල නිරත වීමට පමණි.

"මම මගේ රැකියාවට ආදරෙයි, ඒකෙන් මට ලොකු තෘප්තියක් ලැබෙනවා," ඇය පවසයි. "ඒත් කොරියාවේ වැඩ කරන එක හරි ම දුෂ්කරයි. සදාකාලික වැඩ චක්‍රයක හිරවෙනවා."

යෙජින් පවසන්නේ, සිය රැකියාවෙන් ඉදිරියට යාම සඳහා වැඩිදුර ඉගෙනීමට ද පීඩනයක් පවතින බව ය. "ස්වයං-දියුණුවක් ලැබීම සඳහා අඛණ්ඩව වැඩ නොකරන්නේ නම්, ඔබ පසෙකට තල්ලු වී අසාර්ථක අයෙකු බවට පත්වන්නේ ය, යන මානසිකත්වය කොරියානුවන් තුළ පවතී. මෙම බිය නිසා අපි දෙගුණයක් වෙහෙස මහන්සි වී වැඩ කරනවා."

"සමහර වෙලාවට සති අන්තවල මම ගිහින් IV ඩ්‍රිප් එකක් ගන්නවා, සඳුදාට ආපහු වැඩට යන්න තරම් ශක්තියක් ලබාගන්න," ඇය සැහැල්ලුවෙන් පවසන්නේ, මෙය සාමාන්‍ය සති අන්ත ක්‍රියාකාරකමක් ලෙස හඟවමිනි.

මා කතාබහ කළ සියලු කාන්තාවන් තුළ පැවති බියක් වන දරුවෙකු ලැබීමට කාලය ගතහොත් නැවත රැකියාවට යා නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි යන බිය ඇය තුළ ද පවතී.

"අපට දරුවන් ඉන්නවා නම් රැකියාවෙන් ඉවත් විය යුතුයි කියන ව්‍යංග්‍ය පීඩනයක් සමාගම්වල තියෙනවා," ඇය පවසයි. එය තමන්ගේ සොහොයුරියට සහ ඇගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකුට සිදුවූ ආකාරය ඇය දැක තිබේ.

'මම හොඳින් ම දන්නවා'

මානව සම්පත් අංශයේ සේවය කළ 28 හැවිරිදි කාන්තාවක පැවසුවේ, රැකියාවෙන් ඉවත් වීමට බල කරන ලද හෝ මාතෘ නිවාඩු ලබා ගැනීමෙන් පසු උසස්වීම් අහිමි වූ පුද්ගලයින් තමා දුටු බවත්, එය කිසි දා දරුවෙකු නොහදන ලෙස තමන්ට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් වූ බවත් ය.

සිය දරුවාගේ පළමු වසර 8ක කාලය තුළ වසරක නිවාඩු ලබා ගැනීමට පිරිමින්ට සහ කාන්තාවන්ට අවස්ථාව හිමිවේ. එහෙත්, 2022 වසරේදී මව්වරුන් 70%ක් සිය නිවාඩු භාවිත කිරීමට සාපේක්ෂව පියවරුන් නිවාඩු ලබාගෙන තිබුණේ, 7%ක ප්‍රතිශතයක් පමණි.

Stella in her classroom

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටෙලා පවසන්නේ ඇගේ ජීවන රටාව හේතුවෙන් දරුවන් ලැබීමට නොහැකි බවයි

ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ සාමාජික රටවල් අතර ඉහළ ම අධ්‍යාපනයක් ලබා ඇත්තේ, කොරියානු කාන්තාවන් වන නමුත්, නරක ම ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය සහ පිරිමින්ට සාපේක්ෂව රැකියාවෙන් බැහැර කාන්තාවන්ගේ සාමාන්‍යයට වඩා ඉහළ අනුපාතයක් තවමත් රට තුළ පවතී.

පර්යේෂකයින් පවසන්නේ, රැකියාව හෝ පවුල යන දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කෙරෙන බව මෙමගින් තහවුරු වන බව ය. වැඩි වශයෙන්, ඔවුහු රැකියාව තෝරා ගනිති.

පාසල් කාලයෙන් පසු 5 හැවිරිදි දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ස්ටෙලා ෂින් මට හමුවිය.

"මේ දරුවන් දිහා බලන්න. ඔවුන් හරි ම සුන්දරයි," ඇය ආදරණීය ලෙස පවසයි. එහෙත්, 39 වන වියේ පසු වන ස්ටෙලාට තමන්ගේ ම දරුවන් නැත. ඒක ක්‍රියාකාරී තීරණයක් වුණේ නෑ, ඇය පවසයි.

ඇය විවාහ වී වසර 6ක් ගත වී තිබේ. ඇයට මෙන් ම ඇයගේ සැමියාට ද දරුවෙකු ලැබීමට අවශ්‍යතාවක් පැවතිය ද, ඔවුන් රැකියාවේ කාර්ය බහුලත්වයට පත්වීමත්, විනෝදය වෙනුවෙන් කාලය ගත කිරීමත් නිසා එම කාලය ඔවුන්ගෙන් ගිලිහිණි. සිය ජීවන රටාව අනුව එය "කළ නොහැකි" දෙයක් බව දැන් ඇය පිළිගෙන තිබේ.

"පළවෙනි අවුරුදු දෙකේදී අම්මලාට සිද්ධ වෙනවා, රැකියාවලින් ඉවත් වෙලා දරුවන් බලා ගන්න, එහෙම කළොත් මට මානසික අවපීඩනයක් ඇති වෙයි," ඇය පැවසීය. "මම මගේ රස්සාවට ආදරෙයි. ඒ වගේ ම මගේ ගැන හිතල වැඩ කරන්න කැමතියි."

සිය විවේක වේලාවන්හිදී ස්ටෙලා, වැඩිහිටි කාන්තාවන් පිරිසක් සමග K-pop නර්තන පන්තිවලට සහභාගි වෙයි.

දරුවකු ලැබුණු පසු කාන්තාවන් වසර දෙක තුනක් රැකියාවෙන් ඉවත් විය යුතු බවට මතයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. දෙමාපිය නිවාඩුව ඇගේ සැමියා සමග බෙදා ගත හැකි වූයේ ද? යනුවෙන් මා ස්ටෙලාගෙන් විමසූ විට, ඇය බැල්මකින් මගේ ප්‍රශ්නය මග හැරියා ය.

"ඒක හරියට එයාට මම පිඟන් හෝදන්න කිව්වා ම, හැම තිස්සෙ ම එයා ඒක මහ අරිනවා වගේ දෙයක්. මට එයා ගැන විශ්වාසයක් තියන්න පුළුවන්කමක් තිබුණෙ නෑ," ඇය පැවසීය.

රැකියාවෙන් ඉවත් වීමට හෝ රැකියාව සහ පවුල දෙක ම රැක ගැනීමට ඇයට අවශ්‍ය වුව ද, නිවාසය සඳහා වන පිරිවැය අධික බැවින් එය දරාගත නොහැකි බව ඇය වැඩිදුරටත් පවසයි.

Overhead shot of the South Korean capital Seoul

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවාස සඳහා වන වියදම හේතුවෙන් බොහෝ දෙනෙකුට දරුවන් ලැබීමට නොහැකි වී ඇත

ජනගහනයෙන් අඩකට වඩා පහසුකම් රැසක් ඇති සෝල් අගනුවර හෝ ඒ අවට වාසය කරන අතර, එය මහල් නිවාස සහ සෙසු සම්පත් මත විශාල ඉල්ලුමක් ඇති කරයි. ස්ටෙලා සහ ඇගේ සැමියා ක්‍රම ක්‍රමයෙන් අගනුවරින් ඈත් වෙමින් අසල්වැසි පළාත් කරා සංක්‍රමණය වෙමින් සිටින අතර, තවමත් තමන්ගේ ම නිවහනක් මිල දී ගැනීමට හැකියාවක් නැත.

සෝල් අගනුවර උපත් අනුපාතය 0.59 දක්වා පහළ ගොස් තිබේ. එය දකුණු කොරියාවේ අවම අනුපාතයයි.

නිවාස වියදම් පසෙක තැබුව ද, පෞද්ගලික අධ්‍යාපනය සඳහා ද මුදල් වැය කිරීමට සිදුවේ.

වයස අවුරුදු හතරේ සිට දරුවෝ, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාවේ සිට සංගීතය සහ ටයිකොන්ඩෝ දක්වා මිල අධික විෂය බාහිර පන්ති රාශියකට යවනු ලබෙති.

මෙම ප්‍රවණතාව කෙතරම් පුළුල්ව පැතිරී ඇත් ද යත්, ඉන් බැහැර වීම දරුවා අසමත් අයෙකු බවට පත් කිරීමට සූදානම් කිරීමක් ලෙස සලකනු ලැබේ, එය අධිතරගකාරී කොරියාවේ අදහාගත නොහැකි මතයකි. මෙම ක්‍රියාකාරකම් නිසා දරුවෙකු හදාවඩා ගැනීමට ලෝකයේ වැඩි ම වියදමක් දැරීමට සිදුවන රට බවට දකුණු කොරියාව පත්ව තිබේ.

2022 වසරේදී කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වූයේ, පෞද්ගලික උපකාරක පන්ති සඳහා ගෙවීමක් නොකරන දෙමාපියන් ඇත්තේ, 2%ක් පමණක් වන බවය. අධ්‍යයනයට සහභාගි වූවන්ගෙන් 94%ක් පවසා ඇත්තේ, උපකාරක පන්ති සඳහා වන වියදම මූල්‍යමය බරක් බවය.

එවැනි කටපාඩම් පාසලක ගුරුවරියක ලෙස, එම බර ස්ටෙලා හොඳින් දනී. දෙමාපියන් මසකට දරුවෙකු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 700ක අගයකින් මුදලක් වැය කරන බව ඇය දනී. ඉන් බහුතරයකට එම වියදම දරාගත නොහැකිය.

"මොනවා වුණත් මේ පන්තිවලට ගියෙ නැත්නම් දරුවො පහළට වැටෙනවා," ඇය පැවසීය. "දරුවොත් එක්ක ඉන්නකොට මට හිතෙනවා දරුවෙක් ඕනෙ කියලා. ඒත් මං හොඳට ම දන්නවා ඒක අසීරු වැඩක් කියලා."

A child in a cram school

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරියානු දරුවන් වයස අවුරුදු හතරේ සිට විෂය බාහිර පන්ති රාශියකට යවනු ලැබේ

ඇතැමෙකුට අනුව, මෙම සීමාවක් නොමැති පෞද්ගලික උපකාරක පන්ති සඳහා යන වියදම පෙනෙන්නට ඇති ප්‍රමාණයට වඩා අධිකය.

සිය අත්දැකීම් බෙදා ගැනීමට "මින්ජි"ට අවශ්‍ය වුව ද, එය ප්‍රසිද්ධ කිරීමට ඇය කැමති නැත. තමන්ට දරුවන් නැති බව සිය දෙමාපියන්ට දැන ගැනීමට සැලැස්වීමට ඇය සූදානම් නැත. "ඒගොල්ලො පුදුම වෙයි, කලකිරීමක් ඇති වෙයි," වෙරළාසන්න නගරයක් වන බූසාන්හි සිය සැමියා සමග වාසය කරන ඇය පැවසීය.

ඇය විශ්වාස කරන්නේ, ඇගේ ළමා කාලය සහ වයස 20 ගණන්වල ගෙවුණු ජීවිතය නොසතුටින් ගත වූ බවය.

"ම‌ගේ ජීවිත කාලය ම ගත වුණේ අධ්‍යාපනයත් එක්ක," ඇය පැවසීය. පළමුව ඇය හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට ඉගෙන ගත්තාය. ඉන්පසු, සිවිල් සේවා විභාග වෙනුවෙන් සහ පසුව වයස අවුරුදු 28දී රැකියාව ලබා ගැනීම සඳහා ඇය අධ්‍යාපන කටයුතු නිරත වූවාය.

චිත්‍ර ශිල්පිනියක වීමට සිහින මැවූ අතර, ඇය පිළිකුල් කළ හා ඉගෙනීමට දුර්වලතාවක් දැක්වූ ගණිතය පාඩම්වල නිරත වෙමින් රාත්‍රිය වන තුරු පන්ති කාමරවල ගත කළ ඇගේ ළමා කාලය ඇයට මතක තිබේ.

"මට සීමාවක් නැතිව තරග කරන්න වෙලා තියෙන්නේ, මගේ සිහින සැබෑ කර ගන්න නෙවේ, යන්තම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න විතරයි," ඇය පැවසීය. "ඒක හරි ම වෙහෙසකරයි."

වයස අවුරුදු 32ක පසු වන මින්ජිට සහනකාරී හැඟීමක් දැනෙන්නේ දැන් ය. ඇයට දැන් සතුටින් ජීවිතය ගත කළ හැකිය. ඇය සංචාරවල නිරත වීමට කැමැත්තක් දක්වන අතර කිමිදීමට ඉගෙන ගනිමින් සිටී.

එහෙත්, ඇය අත්විඳින තරගකාරී දුක්ඛිත තත්ත්වයට දරුවෙකු පත් නොකිරීමට ඇය වඩාත් සැලකිලිමත් වෙයි.

"කොරියාව කියන්නේ දරුවන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි," ඇය තීරණය කර හමාරය. ඇයගේ සැමියා දරුවෙකු ලැබීමට කැමැත්තෙන් සිටියේය. ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති විය. කෙසේ වෙතත්, ඔහු ඇයගේ කැමැත්ත පිළිගෙන තිබේ. ඉඳහිට ඇගේ හදවත ගැහෙයි, ඇය එය පිළිගන්නා නමුත් එය එසේ නොවන්නේ මන්දැයි ඇගේ මතකයට නැගෙයි.

මානසික පීඩා ඇති කරවන සමාජ සංසිද්ධියක්

ඩේජොන් නගරයේ වෙසෙන ජුන්ගියොන් චුන් තමන් හඳුන්වන්නේ, "තනි පුද්ගල විවාහයක්" ගත කරන කාන්තාවක ලෙසිනි. සිය 7 හැවිරිදි දියණිය සහ 4 හැවිරිදි පුත්‍රයා පාසලෙන් ගැනීමෙන් පසු, සිය සැමියා රැකියාව නිම වී නැවත පැමිණෙන තුරු අවට ඇති ක්‍රීඩා පිටිවල සංචාරය කරන්නීය. ඔහු නින්දට යන වේලාව වන විට නිවසට පැමිණෙන්නේ කලාතුරකිනි.

"මට දරුවන් ලබා ගන්න එක ප්‍රධාන කාරණයක් කියලා හිතුණේ නෑ, මම හිතුවේ මට ඉක්මනින් රැකියාවට යන්න පුළුවන් වෙයි කියලා," ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, වැඩි කල් නොගොස් සමාජ හා මූල්‍ය අර්බුදය ආරම්භ වූ අතර, ඇය පුදුමයට පත් කරමින් ඇය තනි විවාහක මවක ලෙස ක්‍රියා කරන්නට විය. වෘත්තීය සමිතිකරුවෙකු වූ ඇගේ සැමියා, දරුවන් ලබා ගැනීමට හෝ ගෙදරදොරේ වැඩවලට සහය වූයේ නැත.

"මට ලොකු තරහක් ඇති වුණා," ඇය පැවසීය. "මම හොඳට ඉගෙන ගත්තා, ඒ වගේ ම කාන්තාවන් සම තත්ත්වයේ සිටින බව ඉගැන්නුවා. ඒ නිසා මට ඒක ඉවසන්න බැරි වුණා."

Jungyeon and her child at a playrgound

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන් සිටින 'ඛේදනීය තත්ත්වය' හේතුවෙන් මාතෘත්වයේ ආශ්චර්යය අහිමි වීම ගැන තමා කණගාටු වන බව ජුන්ගියොන් පවසයි.

පසුගිය වසර 50 තුළ, කාන්තාවන් උසස් අධ්‍යාපනයට සහ ශ්‍රම බලකායට යොමු කරමින් සහ ඔවුන්ගේ අභිලාෂයන් පුළුල් කරමින් කොරියාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වී ඇති නමුත් බිරිඳ සහ මවගේ භූමිකාවන් සමාන වේගයකින් පරිණාමය වී නොමැත.

කලකිරීමට පත්වූ ජුන්ගියොන් අනෙකුත් මව්වරුන් නිරීක්ෂණය කිරීමට පටන් ගත්තේය. "දරුවෙක් හදන මගේ යෙහෙළිය මානසික අවපීඩනයෙන් සිටිනවා, මගේ ගෙදර තියෙන පාරේ පදිංචි වෙලා ඉන්න තවත් යෙහෙළියක් පීඩනයෙන්. මමත් ඒ වගේ. ඒ කියන්නේ මේක සමාජ සංසිද්ධියක්. අන්න ඒ වගේ හැඟීමක් තමයි මට තිබුණේ."

ඇය සිය අත්දැකීම් ගැන ලිවීමට පටන් ගත් අතර ඉන්ටර්නෙට් ඔස්සේ පළ කළාය. "මට කතා ගලාගෙන ආවා," ඇය පැවසීය. රට පුරා සිටින කාන්තාවන් ඇගේ කාර්යයට සම්බන්ධ වූ හෙයින් ඇයගේ වෙබ් කාටූන් (webtoon) බෙහෙවින් සාර්ථක විය. එපමණක් නොව, ජුන්ගියොන් මේ වන විට හාස්‍යෝත්පාදක ග්‍රන්ථ තුනක් පළ කළ කතුවරියකි.

Jungyeon in the playground with her two children

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුන්ගියොන් පවසන්නේ ඇය තනි මාපිය විවාහයක සිටින බවයි

දැන් ඇය පවසන්නේ, ඇය කෝපයේ සහ පසුතැවීමේ අවධිය පසු කර සිටින බවය. "දරුවන් ඇති දැඩි කිරීමේ යථාර්ථය සහ මව්වරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද? කියන එක ගැන මම මීට වඩා අවබෝධයකින් හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා."

එහෙත්, "කාන්තාවන්ට බලකෙරෙන ඛේදනීය තත්ත්වය" නිසා කාන්තාවන්ට මාතෘත්වයේ ආශ්චර්යය අහිමි වීම සම්බන්ධයෙන් ජුන්ගියොන් කනගාටු වෙයි.

එහෙත්, මින්ජි පවසන්නේ, තමන්ට ආත්ම විශ්වාසයක් පැවතීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. "තෝරා ගැනීමට අවස්ථාව හිමි වුණ පළවෙනි පරම්පරාව අපි. ඊට කලින්, අපට ළමයි හදන්න ම සිද්ධ වෙලා තිබුණා. ඒත් දැන් අපට තීරණයක් ගන්න පුළුවන් නිසා අපි දරුවන් නොහදන්න තීරණය කරනවා."

'මට පුළුවන් නම් දරුවන් 10 දෙනෙක් හදනවා'

යෙජින්‌‌ගේ මහල් නිවාසය දෙසට ආපසු හැරෙමු. දිවා ආහාරයෙන් පසු, ඇගේ යෙහෙළියෝ ඇගේ පොත් සහ අනෙක් බඩු බාහිරාදිය ගැන කතා කරමින් සිටිති.

කොරියාවේ ගත කරන ජීවිතයෙන් වෙහෙසට පත්ව සිටින යෙජින්, නවසීලන්තයට යාමට තීරණය කර තිබේ. ඇය දිනක උදෑසන අවදි වූයේ, තමන්ට කොරියාවේ රැඳී සිටින ලෙස බල කරන කිසිවෙකු නැති බවට ඇති වූ හදිසි අවබෝධයක් සමගිනි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම මට්ටමක පසු වන රටවල් මොනවා දැයි ඇය සොයා බැලුවාය. පැහැදිලිව ම ජය ගත්තේ, නවසීලන්තයයි. "ඒක පිරිමින්ට සහ කාන්තාවන්ට සම වැටුප් ගෙවන රටක්," ඇය පවසන්නේ, අතිශය පුදුමසහගත හැඟීමකිනි. "ඉතින් මම යනවා."

ඔබේ මනස වෙනස් කිරීමට යමක් ඇත්නම්, ඒ කුමක්ද?, මම යෙජින් සහ ඇගේ යෙහෙළියන්ගෙන් අසමි.

මින්සංගේ පිළිතුර මා පුදුමයට පත් කරයි. "මම කැමතියි දරුවන් හදන්න. මට පුළුවන් නම් දරුවෝ 10 දෙනෙක් හදනවා," එහෙනම්, මොකක් ද ඒකට තියෙන බාධාව?, මම අසමි.27 හැවිරිදි තරුණිය මට පැවසුවේ, ඇය ද්විත්ව ලිංගික කාන්තාවක වන අතර සමරිසි සහකාරියක සිටින බවය.

Minsung (extreme right) stands next to Yeijin and anotehr friend

ඡායාරූප මූලාශ්‍රය, Jean Chung

ඡායාරූප ශීර්ෂ වැකිය, මින්සුන්ග්ට (දකුණේ) සමලිංගික සහකරුවෙකු සිටින අතර දරුවන් ලැබීමට කැමත්තෙන් පසුවෙයි - නමුත් ගැබ් ගැනීම සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකුගේ සහය ලබා ගැනීමට නොහැකිය.

දකුණු කොරියාව තුළ සමරිසි විවාහ නීතිවිරෝධී වේ. අවිවාහක කාන්තාවන්ට ගැබ් ගැනීම සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් යොදා ගැනීමට සාමාන්‍යයෙන් අවසර නැත.

"දවසක මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ම මට විවාහ වෙන්න පුළුවන් වෙයි. මම ආදරය කරන කෙනාගෙන් දරුවන් ලබා ගන්නත් පුළුවන් වෙයි," ඇය පවසයි.

කොරියාවේ පවතින අවිනිශ්චිත ජන විකාශන තත්ත්වය අනුව මව්වරුන් වීමට කැමති සමහරුන්ට එසේ වීමට ඉඩ නොදීම උත්ප්‍රාසාත්මක බව මිතුරියෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, දේශපාලනඥයන් අර්බුදයේ ගැඹුර හා සංකීර්ණත්වය සෙමෙන් වටහා ගනිමින් සිටින බවක් දක්නට තිබේ.

ගැටලුවෙන් මිදීමට ගත් උත්සහයන් "සාර්ථක නොවූ" බවත්, දකුණු කොරියාව "අධික ලෙස හා අනවශ්‍ය ලෙස තරගකාරී" බවත් මෙම මාසයේදී, දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පිළිගත්තේය.

අඩු උපත් අනුපාතය "ව්‍යුහාත්මක ගැටලුවක්" ලෙස තම රජය දැන් සලකන බව ඔහු පැවසීය. - එහෙත්, මෙය ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වන්නේ කෙසේ දැයි තවමත් පැහැදිලි නැත.

මේ මස මුලදී, නවසීලන්තයේදී මම යෙජින් හමුවීමි. ඇය මාස තුනක් තිස්සේ ජීවත් වන්නේ එහි ය.

ඇය ඇගේ නව ජීවිතය සහ මිතුරන් ගැනත්, තානායමක මුළුතැන්ගෙහි කරන රැකියාව ගැනත් කතා කළාය. "මගේ රැකියාව සහ ජීවිතය ඉතා හොඳට සමබරව පවත්වාගෙන යනවා," ඇය පැවසීය. ඇයට සතියේ දිනයක සිය මිතුරු මිතුරියන් හමුවීමට ද හැකිය‍.

"රැකියාවේදී මට විශාල ගෞරවයක් ලැබෙනවා. මේ මිනිස්සු අපව එක එක විදිහට මනින්නේ නෑ," ඇය වැඩිදුරටත් පැවසුවාය.

"ඒ නිසා මට ගෙදර යන්න වුවමනාවක් ඇති වෙන්නෙ නෑ."

අතිරේක වාර්තාකරණය ලීහියන් චෝයි සහ හෝසු