දකුණු කොරියාවේ උපත්වලට වඩා මරණ සංඛ්‍යාව ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, AFP
දකුණු කොරියාවේ ප්‍රථම වතාවට උපත්වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මේ වන විටත් ලෝකයේ අඩුම උපත් අනුපාතය ඇති රට වන දකුණු කොරියාවට මෙය නව අනතුරු ඇඟවීමකි.
පසුගිය වසර තුළ උපත ලැබුවේ ළදරුවන් 275,800 ක් පමණක් වන අතර එය 2019 ට වඩා 10% කින් පහත වැටීමකි. එම වසරේ පුද්ගලයින් 307,764 ක් පමණ මිය ගොස් තිබේ.
මෙම නව දත්ත අනුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවල "මූලික වෙනස්කම්" සිදු කිරීමට ක්‍රියා කර ඇත.
ජනගහනය පහත වැටීම රටකට දැවැන්ත පීඩනයක් ඇති කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සෞඛ්‍ය සේවා හා විශ්‍රාම වැටුප් සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් සමඟ රාජ්‍ය වියදම් සඳහා වන පීඩනය වැඩිවීමට අමතරව, තරුණ ජනගහනය අඩුවීම ද ආර්ථිකයට සෘජුවම බලපාන ශ්‍රම හිඟයට හේතු වේ.
අඩු උපත් අනුපාතය ගැටළුවට විසදුම් ලෙස පසුගිය මාසයේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පවුල් සඳහා මූල්‍ය දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්ති කීපයක් දියත් කළේය.
මෙම යෝජනා ක්‍රමය යටතේ, 2022 සිට උපත ලබන සෑම දරුවෙකුගේම වියදම් පියවා ගැනීම සඳහා දෙමාපියන්ට වොන් මිලියන 2 ක (ඩොලර් 1,850) ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇත. ඊට අමතරව, දරුවාට වයස අවුරුදු එකක් දක්වා මාසිකව වොන් 300,000ක් ද ලබා දෙනු ඇත. එම දිරි දීමනාව 2025 සිට මසකට වොන් 500,000 දක්වා ඉහළ දැමීමට නියමිතය
දකුණු කොරියාවේ උපත් අනුපාතය පහත වැටීමට හේතුව කුමක්ද?
බීබීසී කොරියානු වාර්තාකාරිනී ජුලී යූන්

ඡායාරූප මූලාශ්‍රය, EPA
බොහෝ දුරට, දකුණු කොරියානු කාන්තාවන් රැකියාව සහ අනෙකුත් කාර්යයන් අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමට සිදු කරන අරගලය මෙයට හේතු විය හැකිය.
හියුන්-යූ කිම් ඉන් එක් අයෙකි. හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඇය තමාගේම විශාල පවුලක් ගොඩනගාගැනීමට සිහින මැව්වාය. නමුත් දකුණු කොරියාවේ පවුල් හිතකාමී නොවන පරිසරයට මුහුණ දී සිටින ඇය දැන් දරුවන් ලැබීමේ සැලසුම් නැවත සලකා බලමින් සිටියි.
ඇය මෑතකදී නව රැකියාවකට ගිය අතර එහිදී මාතෘ නිවාඩු ලබා ගැනීමට සිදු වෙතැයි කනස්සල්ලට පත්ව සිටියි.
"මගේ වෘත්තිය මුලින්ම ගොඩනඟා ගැනීම වඩා ආරක්ෂිත බව මිනිස්සු මට පවසනවා," ඇය බීබීසී සේවයට පැවසුවාය.
දේපොළ වෙළෙඳාම් මිල ඉහළ යාම තවත් ප්‍රධාන කාරණයකි. වේගයෙන් ඉහළ යන දේපල මිල ගණන් තරුණ යුවළ අධෛර්යමත් කරන බව ද හියුන්-යූ කිම් පෙන්වා දුන්නාය.
"දරුවන් ලැබීමට නම් ඔබට ඔබේම නිවසක් තිබිය යුතුයි. නමුත් මෙය කොරියාවේ සිදු කළ නොහැකි සිහිනයක් බවට පත්ව තිබෙනවා."
රජය ලබා දීමට නියමිත දිරි දීමනාවලට ද ඇයගේ මනාපයක් නැත.
"දරුවෙකු ඇති දැඩි කිරීම මිල අධිකයි. රජය වැඩිපුර වොන් ලක්ෂ ගණනක් ලබා දුන්නා කියලා අපේ ගැටලු විසඳන්නේ නැහැ."








